මෑතක සිට නැවතත් අපේ සරසවි පද්ධතිය තුළ ගැටුම් මතු වෙමින් පවතින බව පෙනේ. උද්ඝෝෂණ අපේ සරසවි වලට අළුත් අතදැකීමක් නොවේ. උද්ඝෝෂණයකට සහභාගී නොවූ විශ්ව විද්‍යාල සිසුවෙකු සොයා ගැනීම ඉතාම දුර්ලභ වන අතර සිය විශ්ව විද්‍යාල ජීවිතයේ එවැන්නක් දැක නැති සිසුවෙකු සොයා ගැනීම කිසිවෙකු නොමළ ගෙයකින් අබ මිටක් සොයා ගැනීම වැනිම දුෂ්කර කාර්යයකි.
විශ්ව විද්‍යාල තුළ ගැටුම් ඇති වන ප්‍රධාන කාරණයක් වන්නේ නවක ශිෂ්‍ය කණ්ඩායම් පැමිණීමත් සමග ඔවුන් සිය දේශපාලන ව්‍යාපාරයන්ට බඳවා ගැනීම සඳහා ජ්‍යේෂ්ඨ සිසුන් අතර පවතින තරඟයයි. අතීතයේ නම් විශ්ව විද්‍යාල තුළ දේශපාලන මතවාදයන් කිහිපයක් පැවැතීමට අවශ්‍ය පරිසරය තිබුණද වර්තමානයේ එවැන්නක් තිබෙතැයි යමෙක් කියන්නේ නම් ඔහු චේතිය රජ පරපුරේ කෙනෙක්ම විය යුතුය. විශ්ව විද්‍යාල තුළ පැවැති බහුවිද දේශපාලන සංස්කෘතිය එයින් සම්පූර්ණයෙන්ම ඉවත්ව ගියේ කිනම් යුගයකදීදැ‘යි මම හරියටම නොදනිමි. එසේ වුවත් 1971 කැරැල්ලෙන් පසුව ඇති වූ යම් යම් වෙනස් කම් සහ 1977 විවෘත ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා සූක්ෂම ලෙස විරුද්ධ පක්ෂ දිය කර හැරීමේ ප්‍රවණතාවයත් සමග වාමාංශික හා ප්රගතිශීලී පක්ෂ දැක්වූ නිද්‍රාශීලී ප්රතිපත්තිද මේ සඳහා ඉතා සරු දේශපාලන කෙතක් නිර්මාණය කළ බව මගේ හැඟීමයි. විශ්ව විද්‍යාල වල පවතින නව අර්බූධ සම්බන්ධයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ එක්තරා ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙකු මාධ්‍ය ආයතනයක් සමග සිදු කළ සාකච්ඡාවක කොටසක් අහම්බෙන් අහන්නට ලැබීමෙන් මා තුළ වූ හැඟීම වඩාත් තහවුරු විය.
විශ්ව විද්‍යාල ශිෂ්‍යයා යනු රටේ ඉතාම වටිනා සම්පතකි. අපේ රටේ විශ්ව විද්‍යාල සඳහා තේරෙන්නේ ඒ සඳහා වන උසස් පෙළ විභාගයට පෙනී සිටින්නන්ගෙන් 2%ක් පමණි. මෙම තරුණ සිසු පිරිස එයට පෙර වසර 13ක පාසැල් අධ්‍යාපනයේ දී සිය පාසැල් වල දීප්තිමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ය. පාසැල් සමාජයේ පරමාදර්ශි නායකයන් වන්නේ ඔවුන්ය. පාසැල තුළ දී ඔවුන් ලබන මෙම වගකීම් සහිත තත්ත්වය විශ්ව විද්‍යාල ජීවිතයේදී වඩාත් යහපත් සමාජයක් හා රටක් වෙනුවෙන් පෙනී සිටීමට ඔවුන් වෙත යම් ආකාරය උත්තේජනයක් ලබා දෙයි. අනෙක් අතට පාසැල් යන වසර 13 දීම සිසුන් දෙමාපිය හා ගුරුවර රැකවරණයේ රැඳෙන අතර විශ්ව විද්‍යාලය යනු තමන්ව පාලනය කිරීමට කිසිවෙකු නොමැති සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින ජව සම්පන්න තරුණ පිරිසක් එක් කෙරෙන ස්ථානයෙකි. මෙම සිසුහු ස්වභාවයෙන්ම තමන් සාධාරණ යැයි සිතන පරමාදර්ශී මාර්ගයක ගමන් කරනු කැමැත්තෝය.
විශ්ව විද්‍යාල තුළ ඇති පරිසරය පාසැල් පරිසරයට වඩා බෙහෙවින් ලිහිල් වීමත්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයා තවදුරටත් ළමයෙකු නොවන වැඩිහිටියෙකු වීමත් විශ්ව විද්‍යාල වල ආචාර්යය වරුන් ද එම මතයේ සිට ශිෂ්‍යයා දෙස බැලීමත් පාසැල් සිසුවෙකුව සිට විශ්ව විද්‍යාල සිසුවෙකු බවට රූපාන්තරණය වන ශිෂ්‍යයා අත්දකින අළුත් අත් දැකීම්වේ. මෙම අත් දැකීම ශිෂ්‍යයින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් ඈත් වීමත් සම වයසේ සිසුන් සමග කල්ලි ගැසීමට පෙළඹවීමත් කරණ ප්‍රබල කාරණාය.
මේ රටේ වැඩි කාලයක් නිදහසින් පසුව රට පාලනය කර ඇති තනි පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂයයි. ඒ නිසා රටේ සිදු වූ යහපත් හා අයහපත් සිදුවීම් වල වැඩි බර හා වගකීම ඔවුන් පිට පැටැවීම සාමාන්‍ය සිදුවීමකි. එක්සත් ජාතික පක්ෂයේ නායකයන් සිය හැසිරීමෙන් හා ක්‍රියාවෙන් පෙන්වා දී ඇත්තේ ධනේශ්වර ක්‍රමයට පක්ෂපාතී සහ එහි වර්ධනය වෙනුවෙන් පෙනී සිටින පිරිසක් වශයෙනි. මෙම චිත්‍රය සමාජයේ වරප්‍රසාද ලත් බලවත් සහ ධනවත් කණ්ඩාම් ඉදිරියේ එම පක්ෂයේ ස්ථාවරය ශක්තිමත් කළද බහුතර සමාජයේ දී එම ස්ථාවරය ඔවුන් කෙරෙහි දක්වන්නේ එතරම් යහපත් හැඟිමක් නොවේ. මෙහිදී ඉහත ප්‍රකාශයේ වලංගු භාවය හා ඡන්ද ප්‍රතිඵල වලින් එය නොපෙන්වන්නේ ඇයි දැයි කෙනෙකුට සිතෙන්නට පිළිවන. නමුත් සාම්ප්‍රදායික නොවන සමාජයේ පිරිස් අතර එ.ජා.පයේ තත්ත්වය එය බව පසුගිය මැතිවරණ ප්‍රතිඵල වළින් හොඳින් පැහැදිළි වන බව පමණක් මෙහිදී සඳහන් කරන්නේ මෙම ලිපියේ අරමුණෙන් බැහැර යාම වළක්වා ගැනීමටය.
දේශීය රජයේ විශ්ව විද්‍යාල වලට ඇතුළු වන බහුතර සිසු පිරිසක් අයත් වන්නේ සමාජයේ මධ්‍යම හා පහළ මධ්‍යම පන්ති වලටය. සමාජය ගැන වඩාත් සංවේදී ව සිතන්නට අවශ්‍ය දැනුම ඇති පිරිසද මොවුන්ය. ධනපති පංතියට අයත් දරුවෝ දේශිය විශ්ව විද්‍යාල වල කාලය ගත නොකරති. ඔවුහු එක්කෝ විදේශීය විශ්ව විද්‍යාලයකට යන අතර එසේත් නැත්නම් විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොලබාම සිය ව්‍යාපාර වලට එක් වෙති. නිර්ධන පංතියට අයත් කම්කරුවන්ගේ සහ ගොවියන්ගේ දරුවන් යම් ප්‍රමාණයක් නිදහස් අධ්‍යාපනය නිසා විශ්ව විද්‍යාල වලට ඇතුළු වුවද සංඛ්‍යාත්මකව ඊට වඩා වැඩි දක්ෂ දරුවන් පිරිසක් උසස් අධ්‍යාපනයට යෑම පසෙක තබා ජීවන අරගලයට එක් වෙති.මධ්‍යම පන්තියේ විශේෂයෙන්ම පහළ මධ්‍යම පන්තියේ විශ්වාසය දිනා ගැනීමට එ.ජා.ප යේ ප්‍රතිපත්ති බෙහෙවින්ම අසමත් ය. විශේෂයෙන් 1977න් පසුව බිහිවූ සමාජ දේශපාලන ක්රමයේ ඇති පීඩනයට කෙළින්ම ලක් වූවෝ මෙම කණ්ඩායමය. 1977 සිට 1993-94 කාලය දක්වාම එක්සත් ජාතික පක්ෂය හැසිරුණේ බලය දිගටම තමන් සතු කර ගැනීමේ පූර්ණ අභිප්‍රායෙනි. මේ නිසා එම කාලය තුළ විරුද්ධ පක්ෂ දිය කර දැමීමේ ප්‍රතිපත්තියක් එ.ජා.ප ය විසින් පවත්වා ගෙන ගියේය. ප්රජාතන්ත්රවාදයට අතිශයින්ම හානි දායක වූ මෙම ප්‍රතිපත්තියේ කටුක ප්‍රතිපල නෙළා ගත්තෝ ද ඔවුහුය. ඒ 1987- 1989 භීෂණ සමයෙනි.
වාමාංශික හා ප්රගතිශීලී බලවේගයන් විශ්ව විද්‍යාල සිසුන් ව ආකර්ෂණය කළ දේශපාලන ව්‍යාපාරයන්ය. මේවාට සිසුන් ආකර්ෂණය වීමට බලපෑ ප්‍රධන හේතුවක් වන්නේ සමාජ සාධාරණත්වය වෙනුවෙන් හා පීඩනයට පත්වූ කොටස් වෙනුවෙන් මෙම දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් පෙනී සිටීමය. එසේ වුවත් 1977 මැතිවරණ පරාජයත් සමගම මේ දේශපාලන බලවේගයන්ගේ ජීව ගුණයේ පැහැදිළි බිඳ වැටීමක් දක්නට ලැබේ. රජය විසින් සංවිධානාත්මකව විපක්ෂය දුර්වල කිරීමේ ව්‍යාපාරයක් කරගෙන යන අතර තුර විපක්ෂ බලවේග වල වූ නිද්‍රාශීලී බව ද තත්ත්වය තවත් නරක අතට හරවන ලදි. අන්තගාමී නොවූ ප්රගතිශීලි කණ්ඩායම් සිය යුතුකම් පැහැර හරිමින් නිදා සිටින තත්ත්වයක සරසවි සිසුන් හට නායකත්වය දීමට අවශ්‍ය පැහැදිළි දේශපාලන කණ්ඩායමක් නැති වීම සමාජ සංවේදී බුද්ධිමත් සිසු පිරිසක් තුළ දේශපාලනමය රික්තකයක් ඇති කර තිබේ.
ජනතා විමුක්ති පෙරමුණ 1971 කැරැල්ල සඳහා සටන් මධ්‍යස්ථාන හා මානව සම්පත එකතු කර ගැනීමේ මධ්‍යස්ථාන ලෙස භාවිතා කරන ලද්දේ විශ්ව විද්‍යාලයි. මේ වන විට ලෝකය පුරා හමා ගිය වාමාංශික විප්ලව රැල්ල සමාජය තුළ රැඩිකල් වෙනස් කම් ඇති කළ යුතුය යන මතය සරසවි සිසුන් අතර ප්‍රචලිත කිරීමට හේතු වූවා විය යුතුය. කෙසේ වෙතත් දෛවයේ සරදමකට මෙන් කැරැල්ලේ දී අත්අඩංගුවට පත් ජ.වි.පෙ ක්‍රියාකාරීන් පුනරුත්ථාපනය සඳහා භාවිතා කරන ලද්දේ ද කැරැල්ලේ තිඹිරි ගෙවල් ලෙස සලකන ලද විද්‍යෝදය හා විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයන්ය.
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන භාවිතාව පිළිබඳව මා හට විශාල වශයෙන් විවේචන ඇතිමුත් ඒවා පළ කිරීම මේ ලිපියේ අරමුණ නොවේ. කෙසේ වුවද මා ඉහත දැක්වූ දේශපාලන රික්තය සාර්ථක ලෙස පුරවන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි. ජ.වි.පෙ ට ඒ සඳහා අවශ්‍ය සමාජීය වටපිටාව මැනවින් සකසා දුන්නේ එ.ජා.ප පාලනයයි. 1987-88 වන විට රට තුළ මෝරා එමින් තිබූ දේශපාලන අසහනයේ නොමද ආශීර්වාද ලැබූ ජ.වි.පෙ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ හොඳින් පළපැදියම් වූ අතර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නමැති ආයතනය හරහා රටේ සියළුම විශ්ව විද්‍යාල සිය පාලනයට නතු කර ගන්නා ලදි. නමුත් තමන් සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අතර සම්බන්ධතාවයක් ඇති බව ඔවුන් කිසි විටෙක ප්‍රසිද්ධියේ පිළි ගත්තේ නැත.
1994 දී පොදු ජන එක්සත් පෙරමුණ බලයට පැමිණීමත් සමගම ජ.වි.පෙ ද ප්රජාතන්ත්රවාදී ප්රවාහයට ඒක වන බව ප්‍රකාශ කළේය. ඇත්තෙන්ම ප්රජාතන්ත්රවාදයට එක්වීම හැර වෙනත් විකල්පයක් ජ.වි.පයට නොවීය. එසේ වුවද ජ.වි.පෙ යනු පූර්ණ වශයෙන් ප්රජාතන්ත්රවාදී සංවිධානයක් නොවේ. එහි අභ්‍යන්තරයේ කුමක් සිදුවන්නේ ද යන්න මා නොදන්නා නමුත් පසුගිය කාලය පුරා දිග හැරුණු සිදුවීම් දෙස හොඳින් නිරීක්ෂණය කරන විට ඉහත නිගමනයට එළඹෙන්නට පිළිවන. පූර්ණ වශයෙන් ප්රජාතන්ත්රවාදී නොවන සංවිධානයක් විශ්ව විද්‍යාල තුළ බලයේ සිටීම එම පද්ධතිය තුළ ප්රජාතන්ත්රවාදී සමාජයක පැවැත්ම අනතුරේ හෙළයි. දැන් විශ්ව විද්‍යාල වල සිදු වී ඇත්තේ එයයි. 1994 වන විට එ.ජා.ප ය බලයෙන් ඉවත්ව නව රජයක් බලයට පැමිණ ඇති තත්ත්වයක සිය දේශපාලන කටයුතු නිදහසේ කරගෙන යන අතරතුරේ එය පවත්වා ගෙන යාමේ අභියෝගයට ජ.විපෙ ය මුහුණ දුන්නේ අතිශය කපටි ආකාරයකටය.
1987-89 භීෂණ යුගයෙන් පසුව ජ.වි.පෙය සිය පැවැත්ම පිළිබඳව දැඩි අභියෝගයකට මුහුණ දුන්නේය. 1994 වන විට පැවැති සාමකාමී වාතාවරණය තුළ ප්‍රචණ්ඩකාරී දේශපාලන ව්‍යාපාරයකට දකුණේ කිසිදු පැවැත්මක් නොවීය. තම විශ්ව විද්‍යාල අංශය වන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය බහුතර සමාජය ඉදිරියේ ජ.වි.පෙ නොවන කණ්ඩායමක් බවට පත් කිරීමට ඔවුන්ට බල කළ ප්‍රධාන හේතුව එයය යන්න මගේ හැඟීමයි. ඊට අමතරව තවත් දේශපාලනික බලපෑමක් ඔවුන් හමුවේ විය. එනම් පොදු ජන එක්සත් පෙරමුණේ සහ ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ඒ වන විට වූ ජනප්රියත්වයයි. මේ ජනප්‍රියත්වය මගින් මධ්‍යම සහ පහළ මධ්‍යම පන්තියේ ජනයා අතර යම් සහන දායක හැඟීමක් වර්ධනය කොට තිබුණි. විශ්ව විද්‍යාල සිසුන්ගේ බහුතරය අයත්වූ මෙම පන්තීන් අතර රජයට තිබූ ජනප්‍රියතාවය හමුවේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හරහා සිය බලය පවත්වා ගෙන යාමට නම් අනිවාර්යයෙන්ම එය ජ.වි.පෙ සමග වන සබඳතා පිටතට නොපෙන්විය යුතුව තිබිණ. ඒ සඳහා ඔවුන් තවත් ව්‍යුහයක් ඉදිරිපත් කොට එය ජ.වි.පෙ හි නිල ශිෂ්‍ය ව්‍යාපාරය බවට ප්‍රසිද්ධ කරන ලදි. ඒ සමාජවාදී ශිෂ්‍ය සංගමයයි. ඒ අනුව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වනාහී ස්වාධීන විශ්ව විද්‍යාල ශිෂ්‍ය එකමුතුවක් බවත් සිය ශිෂ්‍ය සංගමය සමාජවාදී ශිෂ්‍ය සංගමය බවත් පමණක් නොව සමාජවාදී ශිෂ්‍ය සංගමයට විශ්ව විද්‍යාල පද්ධතියේ අතිවිශාල බලයක් නොමැති බවත් පෙන්වා දීමට ජ.වි.පෙ උත්සුක විය. මෙය මක්කල් පඩෙයි නමැති ග්රාමාරක්ෂක හමුදා ව තමන් හා සම්බන්ධ නැති ස්වාධීන සංවිධානයක් බව එල්.ටී.ටී.ඊ සංවිධානය කළ ප්‍රකාශය හා ඇති සාමාන්තර භාවය ද සිහි කරනු වටී. පසු කාලීනව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජයේ ජනප්‍රියතාවය බිඳ වැටීමත් සමග ජ.වි.පෙය වඩාත් විවෘත ලෙස අ.වි.වි.ශි.බ.ම සමග සබඳතා පැවැත් වීය. එතුමිය ජ.වි.පෙ සමග පරිවාස හා සන්ධාන රජයන් ඇති කර ගැනීමත් සමග අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ඉහල නිල තල දැරූ ශිෂ්‍යයන්ට මහපොළ භාරකාර මණ්ඩලයේ ද නිලතල ලැබුණු බව සිහි කිරීම වැදගත්ය.
මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වීමත් එහි දී ජ.වි.පෙ ඔහුට සහය දීමත් සමග විශ්ව විද්‍යාල වල ද පැහැදිළි වෙනස් කම් ඇති වූ බව කිව යුතුය. මහින්ද රාජපක්ෂ මහතාව යුද්ධයට පෙළඹ වූ එක් ප්‍රධාන බලවේගයක් වූයේ ජ.වි.ප යයි. යුධ ජයග්‍රහණ සමග රණ විරුවන්ට පක්ෂපාතී සටන් පාඨ සහිත බැනර් සහ පෝස්ටර් ප්‍රදර්ශනය කිරීමට අන්තරේ කටයුතු කළේය. යුද්ධය කාලයේ ඇතැම් විශ්ව විද්‍යාල තුළ ලේ දන් දීමේ කඳවුරු ද පැවැත්වින.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වඩාත් කැරලිකාර සිසු උද්ඝෝෂණ සඳහා මැදිහත් වන්නට පටන් ගත්තේ ජ.වි.පෙ ය දෙකඩ වී විකල්ප කණ්ඩායමක් ඇතිවීමත් සමගය. ජන අරගල කණ්ඩායමේ ප්‍රධාන නිලතල දරන බොහෝ දෙනා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නිලතල දැරූවන්ය.මෙම කණ්ඩායම තමන්ගෙන් පසුව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට පත් කරගන්නේ තමන්ට හැසිරවිය හැකි විශ්වාස වන්ත පිරිස්ය. දැන් විශ්ව විද්‍යාල පුරා පැතිර යන ශිෂ්‍ය උද්ඝෝෂණ සමග මොවුන්ගේ සම්බන්ධයක් නැතැයි පැවසීම 2001/2002 කාලයේ එක්තරා පෞද්ගලික රූපවාහිනී ආයතනයක පැවැත්වූ ප්‍රසිද්ධ විවාදයකදී ජ.වි.පෙ මන්ත්‍රී වරයෙකු විසින් තමන් හා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සමග කිසිදු සම්බන්ධයක් නොමැති බවත් තමන්ගේ එකම ශිෂ්‍ය සංගමය සමාජවාදී ශිෂ්‍ය සංගමය බවත් ප්‍රකාශ කිරීම තරම්ම ගල් පැළෙන බොරුවකි. දැන් අන්තරේ එදා රණවිරුවන් කියා සහය දුන් හමුදා මැර හමුදා ලෙස දකින්නේත් එදා සතුරන් ලෙස දුටු එල්.ටී.ටී.ඊ යේ අතුරුදන් වූවන් වෙනුවෙන් මහා ඝෝෂාවක් සිදු කරන්නේත් සිය නායකත්වයේ සිදු වූ වෙනස නිසා බව තේරුම් ගත යුතුය.අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සිය පැවැත්ම සඳහා විවිධ හේතූන් නිර්මාණය කර ගනියි. දැන් ඔවුන්ගේ ප්‍රධාන සටන් පාඨය වන්නේ ජ‘පුර සරසවියේ විරු සිසු ස්මාරකයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමයි. විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා එළවා දැමීමේ ව්‍යාපාරයක් බවට පත්ව ඇත්තේ එයයි. ස්මාරකය විනාශ කර දැමීමත් උද්ඝෝෂණ සංවිධානය කිරීමත් අතර ඇති කාල පරාසය සැලකිල්ලට ගැනීමේ දී මෙය සැළසුම් කර කරන ලද ප්‍රහාරයක් බව තේරුම් ගැනීමට ඕනෑම පුද්ගලයෙකුට හැකිය. ඒ සඳහා අපරාධ පරීක්ෂණ විද්‍යාව හදරා තිබීම අත්‍යාවශ්‍ය නොවේ. ජ‘පුර ගැටුමට සමගාමීව රජරට වෛද්‍ය පීඨයේත්, කැළණිය විශ්ව විද්‍යාලයේ හා සබරගමුව විශ්ව විද්‍යාලයේත් ගැටළු කාරී තත්ත්වයන් ඇති වී තිබේ. මේවා එකකට එකක් වෙනස් හේතූන් මත ඇති වූ බව පෙනෙන නමුත් සමස්ථ චිත්‍රයම පෙන්වන්නේ රජයේ විශ්ව විද්‍යාල පද්ධතිය අවුල් වී ඇති ආකාරයකි.
ශිෂ්‍ය උද්ඝෝෂණ මෙල්ල කිරීමට යාමේ දී ආණ්ඩුව සැලකිල්ලට ගතයුතු කරුණු බොහෝය. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට විකල්ප වශයෙන් ‘විශ්ව විද්‍යාල ස්වාධීන සිසු හැරවුම් ව්‍යාපාරය’ නමින් නව සංවිධානයක් නිර්මාණය කර ඇති බව පුවත් වෙබ් අඩවියක් වාර්තා කොට තිබුණි. මෙය ඇත්තෙන්ම අතිශයින් ප්‍රමාද වී සිදු කරන ලද කටයුත්තකි. මේ අවස්ථවේ මෙවැනි ශිෂ්‍ය ව්‍යාපාරයක් බිහිවීමත් සමග එය ආණ්ඩුවේ අතකොළුවක් ලෙස හඳුන්වාදීමට ඇති ඉඩ බොහෝය.
මෙම රජයට එ.ජා.ප රජයකට නැති වාසි සහගත තත්ත්වයන් රාශියක් ඇත. ප්‍රධානතම වාසිය වන්නේ විශ්ව විද්‍යාල වල බහුතර ශිෂ්‍ය පිරිසක් නියෝජනය කරන සමාජයේ පන්තීන් වල එයට තවමත් ඇති විශ්වාසයයි. විවිධ විවේචන මැද වුවද මහින්ද රාජපක්ෂ මහතාගේ රජය තවමත් ඉතා විශාල ජනප්‍රිය තාවයකින් යුක්තය. මේ නිසා සිය ජනප්‍රිය තාවය ආණ්ඩුවට භාවිතා කළ හැකි හොඳම අවිය වේ.
විශ්ව විද්‍යාල වසා දැමීම ප්‍රශ්ණයට පිළිතුර යැයි යමෙක් සිතන්නේ නම් එය මුලාවකි. විශ්ව විද්‍යාල වසා දැමෙන තරමට එය අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට වාසි සහගතය.එය ඔවුන් පසුපස සිටින බල වේගයන්ට පිරිස් බලය ලබාදෙන මූලික ක්රමයකි. විශ්ව විද්‍යාල වසා දැමූ පසු නිකරුණේ සිටින ශිෂ්‍යයින් උද්ඝෝෂණ ,කැට ව්‍යාපාර ආදියට ගෙන්වා ගැනීම පහසුය. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මේ කරුණු ගැන වඩාත් අවධානය යොමු කළ යුතුය. අනෙක් අතට විශ්ව විද්‍යාල වසා දැමීමෙන් විනාශ වන්නේ මේ රටේ ජාතික ධනයයි. ගොඩනැගිලි, උපකරණ නඩත්තු වියදම් පමණක් නොව සේවක පඩි නඩි ද ගෙවමින් වසා දැමූ විශ්ව විද්‍යාල නඩත්තු කළ යුතුය. ඒ සඳහා මුදල් ගෙවන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියන් බව තේරුම් ගත යුතුය.
දරදඬු තීරණ වළින් පමණක් මෙම ප්රශ්නය විසඳා ගත හැකියයි උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක මහතා කල්පනා කරන්නේ නම් එතුමාට ඒ ගැන නැවත සිතා බලන මෙන් මම යෝජනා කරමි. අමාත්‍යවරුන් සිය රාජකාරි කළ යුත්තේ පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව නොව රටේ පොදු න්‍යාය පත්‍රයට අනුවය. ශිෂ්‍ය භාවය තාවකාලිකව හෝ සදාකාලිකව ඉවත් කළ පමණින් ප්‍රශ්න විසඳෙන්නේ නැත. එවැන්නක් කිරීමෙන් සිදු වන්නේ ප්රජාතන්ත්රවාදී සංවිධාන හා සමාජ ඒකාධිපති වාදී පිරිස් අතට පත් වීමට අවශ්‍ය ගම්යතාවයක් ලබාදීම පමණි. අනෙක් අතට ශිෂ්‍ය භාවය අහෝසි වූ ශිෂ්‍යයා වැටෙන්නේ සමාජයටය. ඇත්තෙන්ම ඔහු සමාජ විරෝධී පුද්ගලයෙකු නම් එවන් පුද්ගලයෙකුගෙන් සමාජයට සිදු වන හානිය වළක්වා ගැනීමේ ක්‍රමයක් ක්‍රියාත්මක නොවේ. එවිට සමාජයට වෛර කරන කණ්ඩායම් වල නායකත්වයට නිතැතින්ම පත් වන්නේ මෙම පුද්ගලයින්ය.
රජයේ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ප්රජාතන්ත්රවාදී ශිෂ්‍ය ව්‍යාපාර නොමැති බව මේ දින වල නිතර අසන්නට ලැබෙන පැමිණිල්ලකි. එය 100% ක්ම සත්‍ය වේ. විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් ප්රජාතන්ත්රවාදී ව්‍යූහයන් නොවේ. ඒවා යේ ප්රජාතන්ත්රවාදී ස්වභාවය ඉවත් කිරීමට මුල් වූයේ දශක ගණනාවක් තිස්සේ සමාජය පුරා වූ ප්රජාතන්ත්ර විරෝධී හැසිරීම්ය. සරසවි සිසු ගැටුම් නිමා කිරීමට නම් ප්රජාතන්ත්රවාදී මූලධර්ම එය තුළට නැවත හඳුන්වා දිය යුතුය. එය සිදු කිරීමේ දී වැඩි වගකීම ඇත්තේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට සහ සරසවි ආචාර්යය මණ්ඩල වලටය. දඬුවම් සෑම විටම අමිහිරිය. එනිසා දඬුවම් දිය යුත්තේ නිශ්චිතවම දඬුවම් දිය යුතු තැනැත්තන්ට පමණි. දඬුවම් දීමේ දී සිදු වන එක් අත් වැරැද්දක් මුළු මහත් ක්රමයම අනතුරේ හෙළයි. එයින් පොහොර සැපයෙන්නේ වෛරය වගා කරන කණ්ඩායම් වලටය. ප්රජාතන්ත්රවාදය ප්‍රචණ්ඩත්වයෙන් ලබා දිය නොහැක. ප්රජාතන්ත්රවාදයේ මූලික පදනම අන්‍යෝන්‍ය ගෞරවයයි. එනිසා බහුතරයක් වූ සාමකාමී ශිෂ්‍ය පිරිස් දිනාගැනීමට කටයුතු කළ යුතුය. බලය පාවිච්චි කළ පමණින් අවනත භාවය ලැබෙන්නේ ප්‍රාථමික සමාජයන්හි පමණි. විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් යනු හුදෙක් බලය පාවිච්චි කොට පාලනය කළ හැකි පිරිසක් නොවේ.
අපේ විශ්ව විද්‍යාල පද්ධති තුළ නොයෙකුත් ගැටළු ඇති බව පළමුවෙන්ම පිළිගත යුතුය. විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් ගේ දුක් ගැනවිලි වලට අවංකය කන් දිය යුතුය. එමෙන්ම ප්රජාතන්ත්රවාදී ශිෂ්‍ය කණ්ඩායම් බල ගැන්විය යුතුය. එයින් මා අදහස් කළේ ඔවුන්ට මැර හමුදා සැපයිය යුතු බව නොවේ. ශිෂ්‍යයින් අතර බහුතරය සාමකාමී සහජීවනයට කැමැති පිරිස්ය. එනිසා ඔවුන් අදහස් වලින් හා දැනුමෙන් පෝෂණය කළ යුතුය. එකිනෙකා වෙත ගරු කිරීමට ඔවුන් පෙළඹ විය යුතුය. ජනතා විමුක්ති පෙරමුණේ හෝ එක්සත් ජාතික පක්ෂයේ හෝ නිදහස් සන්ධානයේ හෝ සාමාජිකත්වය දැරීම හෝ ඒ අනුව වැඩ කිරීමට යම් සිසුවෙකු හෝ කණ්ඩායමන් කැමැත්ත දක්වන්නේ නම් එයට ගරු කළ යුතුය. නමුත් අනෙකුත් දේශපාලන අදහස් දරන සිසුන් ගේ අදහස් වලටද ගරු කළ යුතු බව ඔවුනට ක්‍රියාවෙන්ම පැහැදිළි කළ යුතුය. විශ්ව විද්‍යාල ශිෂ්‍යයා නිර්දේශපාලනය කිරීම මෙම ගැටළුවට පිළිතුරක් ලෙස සමහරුන් දකිති. මම එයට එකඟ නොවෙමි. අපි ප්රජාතන්ත්රවාදී සමාජයක් දැකීමට කැමැත්තෝ නම් සෑම දේශපාලන මතවාදයක්ම අනෙක හා සමානවම වැදගත් බව උගත යුත්තෝ වෙමු. විශ්ව විද්‍යාල වලට පැමිණෙන ශිෂ්‍යයින් ගෙන් බහුතරය සුන්දර මනස් ඇත්තෝ වෙති. අපේ රටේ මී ලඟ නායකයෝ වන්නේ මොවුහුය. ඔවුන් තුළ ප්රජාතන්ත්රවාදයේ මූලික යහගුණ වගා කිරීමට අපි සැවොම උදවු කළ යුත්තෙමු. අන්‍ය මතයන්ට ගරු කරන විශ්ව විද්‍යාල ප්‍රජාවක් ඇති වන දින අපි දියුණු ප්රජාතන්ත්රවාදී සමාජයක මුල් පියවර තැබූ ජාතියත් වන්නෙමු.
No comments:
Post a Comment