Wednesday, September 14, 2011

අපේ මානව හිමිකම් උල්ලංඝනය කරණ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 18 වන සැසිවාරය මේ දිනවල ජිනීවා නගරයේ දී පැවැත්වෙමින් තිබේ. මෙම වාර්ෂික සැසිවාරය අර්ථ දැක්වීමට අනුව පවත්වනු ලබන්නේ ලොව පුරා රටවල මානව හිමිකම් ආරක්ෂා කිරීම වර්ධනය කිරීමටත් මානව හිමිකම් කඩවීම් පිළිබඳ විමර්ෂණය කොට ඒ පිළිබඳව අවශ්‍ය කරණ නිර්ණායකයන් සැපයීමටත් ය. මෙම සමුළුව පැවැත්වෙන සෑම වාරයක්ම මෙතෙක් කල් යොදා ගත්තේ ඇත්තෙන්ම ලෝකය පුරා මානව හිමිකම් රැකගැනීමට ම දැයි ප්‍රශ්නයක් ඇතිවන්නේ එය මෙතෙක් කල් ක්‍රියා කර ඇති ආකාරය දෙස බලන විටය. සෑම මානව හිමිකම් සමුළුවකටම ශ්‍රී ලංකාවෙන් නියෝජිතයින් පත් කිරීමේ දී නියෝජිතයින් තෝරා ගැනීමට සිදුවී ඇත්තේ බැරෑරුම් සටනකට සෙබළුන් තෝරා ගන්නා සේය.
මෙවර ජගත් මානව හිමිකම් සැසිය අප හට ඉතා අභියෝගාත්මක එකක් වන බවට සියළු පෙරනිමිති මේ වසර පුරාවටම දක්නට ලැබිණ. පසුගිය මාසයේ මුල සිටම අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විවිධ මට්ටමේ නිලධාරීන් විසින් සිදු කළ ප්‍රකාශ අනුව මෙම සැසිවාරයේදී ලංකාව ඉලක්ක කරගත් මහා සංග්‍රාමයකට ඔවුන සූදානම් වන බවක් පෙනෙන්නට තිබිණි. එනිසා රජය පැත්තෙන් ද රාජ්‍ය තාන්ත්‍රික හා රාජ්‍ය තාන්ත්‍රික නොවන වැඩපිළිවෙල ගණනාවක් ම ක්‍රියාත්මක වූ බව පෙනෙන්නට තිබුණි. ඇතැම් බටහිර රටවල් අපට අනියමින් තර්ජනය කරන විට කොටින් සමග එම රටවල් පැවැත්වූ නින්දිත ගණුදෙනු ලොවට හෙළි කරන බවට තර්ජනයන් ශ්‍රී ලංකාවෙන් ද මාධ්‍යයට නිකුත් විය.
ජගත් මානව හිමිකම් සැසිවාරය ආරම්භ කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලෛ මහත්මිය සිදු කළ කථාවේ දී ශ්‍රී ලංකාව ගැන සඳහන් කළ ආකාරය රටක් වශයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පක්ෂග්‍රාහී ව සිදු  කළ එකක් බව පැහැදිළි ය. එම ප්‍රකාශයේ දී ඇය කිසිදු වගකීමකින් තොරව ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයට එරෙහිව කළ සටනේ දී මානව හිමිකම් පිළිබඳව කිසිදු සැලකිල්ලකින් තොරව ක්‍රියා කල රටවල් පිළබඳ හොඳ නිදසුනක් බවයි.


ඇය එතැනින් ද නැවතුනේ නැත. ඉන් පසුව ශ්‍රී ලංකාවට උපදෙස් දෙන්නටද නොපැකිළුනාය. ඒ  ආරක්ෂාව සම්බන්ධයෙන් වන නීති සංශෝධනය කිරීමට වහා පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකාවෙන් තදින් ඉල්ලා සිටිමිනි. මෙම ප්‍රකාශයේ දී හදිසි නීති රෙගුලාසි ඉවත් කිරීමෙන් ශ්‍රී ලංකා රජය ගත් වැදගත් ධනාත්මක පියවර පිළිබඳව කිසිදු ආකාරයක ප්‍රශංසාත්මක වදනක් පළ නොකිරීමට ඇය පරෙස්සම් වූවාය. ඇයගේ මෙම පියවර ශ්‍රී ලංකාවේ ඇතැම් පිරිස් වල සතුටට හේතු වූ බව නොරහසකි. රාජපක්ෂ ආණ්ඩුව කෙරෙහි මහත් විරොධයක් සහ පිළිකුලක් දක්වන එක්තරා ඉංග්‍රීසි පුවත්පතක් එම සිදුවීම මහත් අභිරුචියෙන් වාර්තා කර තිබුණේ ශ්‍රී ලංකාව මානව හිමිකම් සමුළුවේදී විවේචනයට ලක්වූ බව පවසමිනි.


මෙම සමුළුවේදී තවත් වැදගත් දෙයක් සිදුවිය. එක්සත් ජාතීන්ගේ සියළු පිළිගත් රාජ්‍ය තාන්ත්‍රික පියවරයන්ට එරෙහිව යමින් මහ ලේකම් බෑන් කී මූන් මහතා විසින් “තමා වෙත උපදෙස් දීම සඳහා පමණක්“ යැයි කියමින් පත් කරගත් “විශේෂඥ කමිටුව“ හෙවත් දරුස්මාන් කමිටුව විසින් පිළියෙල කළාවූ අතිශය පක්ෂපාතී සහ කිසිදු නීතිමය වැදගත් කමක් නැති වාර්තාව මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කරන ලදි. මේ බව ශ්‍රී ලංකාවේ නියෝජිතයින් සහ ශ්‍රී ලංකා රජයට කිසිදුලෙසකින් දැනුම් දී නොතිබුනු අතර මේ බව ශ්‍රී ලාංකීය නියෝජිත පිරිස දැනගත්තේ ඇතැම් රටවල නියෝජිතයින් සමග පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයකදීය. මෙය ශ්‍රී ලංකා රජයේ කණ්ඩායම් නායක ගරු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ දැඩි විවේචනයට භාජනය විය.
මේ සිද්ධිය තවත් හුදෙකලා සිදුවීමක් නොවේ. මෙය ඉතා අපක්ෂපාතී යැයි කියා ගන්නා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ සහ ඒ ආශ්‍රිත සියලු ආයතන තුළ සිදුවී ඇති දැඩි දේශපාලනී කරණයේ නිරුවත ඉතා හොඳින් පැහැදිළි කළ තවත් එක් අවස්ථාවත් පමණි. මෙයට පෙර මෙම චෝදනාවට ලක්වූයේ ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන කිහිපයක් පමණි. නමුත් දැන් ප්‍රසිද්ධියේ ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සියලය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයම එවැනි ක්‍රියාවල නිරත වීම ජාත්‍යන්තර දේශපාලනයේ බල තුලනයක් නැති කම හා බලවත් ජාතීන් විසින් සාපේක්ෂව දුර්වල රාජ්‍යයන් හොඳින් හෝ නරකින් තමන්ට අවනත කර ගැනීමේ යෙදෙන බව නැවත නැවත ප්‍රදර්ශනය කිරීමකි.
මේ මානව හිමිකම් ගුරුන්ට අනුව අප වැනි කුඩා රට වල ජනයාගේ මානව හිමිකම් රැකිය යුත්තේ ඔවුන්ගේ සර්ව බලධාරී රාජ්‍යයන්ට අවශ්‍ය වන පරිදිය. ත්‍රස්ත සංවිධාන විසින් දහස් ගණන් සිවිල් ජනයා ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරත්දීත් ඔවුන් අපට කියන්නේ නිවට නියාලු ලෙස සාකච්ඡා සඳහා සහභාගී වන ලෙසයි. සැප්තැම්බර් 11 වෙනිදා අමෙරිකාවට ත්‍රස්ත ප්‍රහාර එල්ල වූ අවස්ථාවේ දී ඇෆ්ගනිස්ථානයේ සහ පාකිස්ථානයේ සිවිල් වැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරමින් අල්-කයිඩා සහ තලෙයිබාන් කණ්ඩායම් සමග සාකච්ඡා කරන්නැයි නවනීදන් පිල්ලෙයි මහත්මිය හෝ බැන් කී මූන් මහතා ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ් මහතාට උපදෙස් දුන්නේ නැත. බුෂ් මහතා අනෙකුත් රටවල් ආක්‍රමණය කළේ සිවිල් ජනයාගේ ජීවිත ආරක්ෂා කරමින් නොවේ. පකිස්ථානයේ දේශසීමා උල්ලංඝනය කරමින් අමෙරිකානු සීල් භටයන් ඔසාමා බින් ලාඩන් මරා දමන විට ඔහු අත් අඩංගුවට ගන්නැයි අණ දෙන්නට ජනාධිපති බැරැක් ඔබාමා මහතාට මෙන්ම රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මියටද හැකියාව තිබුණේ එම මෙහෙයුම සජීවීවම ඔවුන් බලා සිටි නිසායි. නිරායුධ ඔසාමා බින් ලාඩන් කිසිදු නඩු විභාගයකින් තොරව මරා දැමුණු අතර එයට අමෙරිකානු ජනාධිපති වරයා සෘජුවම අණ දුන්නේය. එසේ වුවත් එයට එරෙහිව වචනයක් හෝ කථා කිරීමට මේ පණ්ඩිතයින්ට හැකිවූයේ නැත.
ඉරාකයේ ඇතැයි කියූ සමූල ඝාතක යුධ අවි එකක් වත්හෝ අඩුම ගණනේ එකදු රසායනික අවියක් වත් සොයාගැනීමට නොහැකි වුවත් එම රටට එරෙහිව කල යුද්ධයේ දී මියගිය කාන්තාවන් හා ළමුන් ඇතුළු සිවිල් ජනයා ගැන කථා කරන්නටවත් නොකැමැති අමෙරිකාව සහ ඔවුන්ගේ මිතුරු රටවල් අප අපහසු තාවයට පත් කරන්නේ මන්දැයි සිතා ගැනීමට අපහසු නැත.
යුද්ධය පවතිද්දී ශ්‍රී ලංකාව අසාර්ථක රාජ්‍යයක් යැයි මහත් උජාරුවෙන් කී බටහිර මාධ්‍ය යුද්ධය සාර්ථකව ඉදිරියට ඇදී යද්දී හමුදාවන් විසින් මානව හිමිකම් කඩකරන බවට මොර දෙන්නට පටන් ගත්තේ සිය හාම්පුතුන්ට අවශ්‍ය පරිදි මහින්ද රාජපක්ෂ මහතාගේ රජය යුද්ධය තව දුරටක් හිඟන්නාගේ තුවාළයක් බවට පත් නොකර ගත් නිසාය. යුද්ධය ව්‍යාපාරයක් කරගත් බොහෝ දෙනාට යුද්ධය අවසන් වීම මහත් හිසරදයක් වීම කුඩා දරුවෙකුට වුවද තේරෙන දෙයකි. අමෙරිකාවේ, බ්‍රිතාන්‍ය යේ සහ ප්‍රංශයේ විදේශ ලේකම් වරුන්ගේ උපදෙස් අනුව කටයුතු කළා නම් අප මේ වන විට ඇත්තටම අසාර්ථක රාජ්‍යයකි. එදා මෙම බටහිර රටවල් අපට අතපෙවීම නතර කිරීමට සහය වූ ඉන්දියාව මේ වන විට හෙමින් සීරුවේ කර ඇර සිටීමට මාන බලන්නේ ද තමන්ට දකුණෙන් බිහිවන ශක්තිමත් රාජ්‍යය ශක්තිමත් වීම වැළැක් වීමට බව තේරුම් ගත යුතුය. එදා ඔවුන් අපට අත පෙවීමට බටහිරට ඉඩ නොදුන්නේ බටහිර බලවේග වලට ලංකාව නතු වුවහොත් එය ඔවුන්ට තර්ජනයක් වන නිසා මිස ඔවුන් අපේ “ළඟම ඥාතියා“ නිසා නම් නොවේ. දැන් ඔවුන්ටද අවශ්‍ය වන්නේ වේගයෙන් ස්වාධීනව නැගී සිටින අපේ ගමන අඩාල කිරීම බව මතක තබා ගැනීම වැදගත්වේ.
මේ අතර රටට එරෙහිව සිටින බලවේගයන් සමග අත්වැල් බැඳගෙන සිටින ශ්‍රී ලාංකිකයින් ද හඳුන් ගැනීම වැදගත්ය. ජනතාව ඉදිරියේ මහතුන් මෙන් පෙනී සිටින යුක්තිය වෙනුවෙන් කෑමොර දෙන්නන් ලෙස තමන්ව හඳුන්වා ගන්නා ඇතැම් ශ්‍රී ලාංකිකයින් සහ බංකොලොත් දේශපාලනඥයින්ද මෙම පිරිසට ඇතුළත්ය. මොවුන් සිදු කරන ක්‍රියා නිසා අපහසු තාවයට පත් වන්නේ මේ රටේ අහිංසක ජනයා බව ඔවුන් නොදන්නවා නොවේ. නමුත් දියුණු යැයි සම්මත බටහිර රටවල පවුල් පිටින් පදිංචි වීමට අවස්ථාව ලැබීමත් සිය සාක්කුවට වැටෙන විදෙස් මුදලුත් නිසා රට පාවා දෙන්නට මොවුන්ට කිසිදු ලජ්ජාවක් නැත.
වසර ගණනාවක් තිස්සේ අපේ රට පිටුපසට ගියේ යුද්ධය නිසාය. දැන් යුද්ධය නිමවී ඇත. දැන් දැන් අපහට මුහුණ දීමට සිදුවන අභියෝගයන්ට මුහුණ දීමට අවදියෙන් සිටීම වැදගත්ය. එදිනෙදා සිදුවීම් ගැන විමසිලිමත් වීමත් සත්‍ය ගරුකව සහ සදාචාරවත්ව ජීවත් වීමත් අවශ්‍ය අවස්ථිවේ දී රට වෙනුවෙන් සිය යුතුකම ඉටු කිරීමටත් සෑම ශ්‍රී ලාංකිකයෙකුම අදිටන් කරගත යුතුය.

Tuesday, September 6, 2011

දූෂණයට වැට බඳිමුද?

වංචා සහ දූෂණ වනාහී රටක විරුද්ධ පක්ෂයන් හි වැදගත්ම සටන් පාඨයි. සෑම පක්ෂයක්ම විපක්ෂයේ සිටිනා තාක් දූෂණ සහ වංචා වලට විරුද්ධව මහ හඬක් නැගීමත් ආණ්ඩු පිහිටවූ පසු ඒ ගැන අමතක කිරීමත් අපට දැන් සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇත. මේ අතර වංචා දූෂණ ගැන පළ වන වාර්තා වල විශ්වාසනීය භාවය ගැනද ඇතැම් විට ගැටළු මතු වන්නේ ඒවා දිය බුබුළු මෙන් මතු වී නැති වී යන නිසාය. එක්කෝ මෙම වාර්තා බොරු විය යුතුය එසේත් නැත්නම් ඉතා සූක්ෂ්ම ලෙස එම චෝදනා යට ගසා අමතක කරවීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වනවා විය යුතුය. සත්‍ය ලෙසම සිදුවන්නේ කුමක්දැයි කියා ජනතාවට දැන ගැනීමට ක්‍රමයක් නොමැති වීම කණගාටුවට කරුණෙකි.
අප රටේ පමණක් නොව ලෝකයේ සෑම අස්සක මුල්ලක් නෑරම දූෂණ හා වංචා ක්‍රියාත්මක වන බව තේරුම් ගැනීම දූෂණ වංචා පිටු දැකීම සඳහා වන ක්‍රියාකාරීත්වය වඩාත් කාර්යක්ෂම කිරීමට හේතු වනු ඇත. මේ යථාර්තය තේරුම් නොගැනීම මනෝරාජික සටනක යෙදීමටත් ඉන් ඉක්මනින්ම විඩාවට පත්වී කලකිරීමටත් හේතුවේ. මිනිසා තුළ නිසඟයෙන්ම පිහිටා ඇති රාග ද්වේශ මෝහ සිතුවිලි වංචා හා දූෂණ වල මුලය. එය එසේ කියා දූෂණ හා වංචා යනු පොදු මිනිස් හැසිරීමක්ය යන නිගමනයට එළඹීම මෙයින් සාධාරණීකරණය නොකෙරේ. නමුත් තමා දැනට භුක්ති විඳින සැපසම්පත් වලට වඩා යමක් ලඟා කර ගැනීමේ නො නවතින ආශාව වංචා දූෂණ වලට පහසු මඟක් විවර කරන බව දැන සිටීම වැදගත්ය.
අප වංචා හා දූෂණ වලට එරෙහිව සටන් කරන්නට යන්නේ පරමාදර්ශී රාජ්‍යයන් පිළිබඳව යම් පූර්ව ප්‍රමිතීන් ගෙන් යුතුවය. බොහෝ සටන්කාමීන් පසු කලෙක කළකිරවන පරම සත්‍යය නම් එවැනි පරමාදර්ශී රාජ්‍ය ව්‍යූහයක් කිසි කළෙක මේ මහ පොළොව මත නොවූ බවයි. සමාජවාදී වේවා ධනවාදී වේවා කිසිදු රටක් එවැනි පරමාදර්ශී රාජ්‍යයක් ලෙස නම් කළ නොහැක. එම නිසා කළ යුත්තේ ස්වකීය දේශපාලන දැක්මට කොටු වූ පරමාදර්ශ බවට ලංකාව පත් කර ගැනීම පසෙක ලා සියළු දෙනාට පිළිගත හැකි ක්‍රමයේ ව්‍යූහයක් තනා ගැනීමට කටයුතු කිරීමයි. එසේ නොමැතිව බටහිර යුරෝපා රටවල හෝ ආසියාවේ තමන් වඩා කැමැති රාජ්‍යයක හෝ ඇති ක්‍රමයක් මෙහි ආනයනය කිරීමට තැත් කිරීම දූෂණයට හා වංචාවට එරෙහි අරගලය ලත් තැනම ලොප් කිරීමට හේතු වනු ඇත.
මේ කාර්යයේදී ආගමික නායකයන්ට සහ ගුරුවරුන් හට පැවරෙන වගකීම අතිමහත්ය. අපේ රටේ දශක ගණනාවක් තිස්සේ පැවැතෙන දේශපාලන හා ආර්ථික ක්‍රමය වංචාව හා දූෂණය කෙතරම් මුල් බැසගැනීමට කෙතරම් දායක වී ඇත්ද යත් වංචාවේ මූලික අත්දැකීමට යමෙක් මුහුණ දෙන්නේ මවු කුස පිළිසිඳ ගත් දින පටන්ය. ඒ පාසැලක් සොයා ගැනීමට පවතින මාරාන්තික යුද්ධයට මුහුණ දීම පිණිස දරුවා කුස පිළිසිඳ ගත් දා පටන් දෙමාපියන් කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් යොදන උපක්‍රම වලට පින් සිදුවන්නටය. ඉදින් මෙසේ උපදින දරුවා පුරවැසියෙකුව වංචා දූෂණ වලට එරෙහි යුද්ධයක පතාක යෝධයෙකු වන්නේ යැයි සිතිය හැකිද? 
දරුවකුගේ උප්පැන්න සහතිකය සෑදීමේ සිට මහා පරිමාණ ව්‍යාපෘතියක සිදුවන වංචාවක් දක්වා මේ සියළු සිද්ධි දාමයන් සිදු වන්නේ සම්පත් වල විෂම බෙදීමත් එකෙකු පරයා තවත් එකෙකු නැගී සිටීමට දරන නොනිමි අරගලයේ ප්‍රතිඵලයක් නිසා නොවේද? සමාජය දූෂිතව ඇත්තේ යම් තරමකටද එතරමින්ම එම සමාජය සදාචාරාත්මකවද අධ්‍යාත්මිකවද පරිහානියට පත්ව ඇත. ආගමික නායකයන්ටත් ගුරුවරුන්ටත් වංචා දූෂණ මැඬලීමේ දී ප්‍රමුඛ කාර්යයක් හිමි වන්නේ යැයි මා කීවේ මේ නිසාය. අපි සමාජයක් වශයෙන් පරිහාණියට ලක් වී ඇත්තෙමු. විවිධ කාල වකවානු තුළ මෙරට හරහා හමා ගිය සැඩ සුළං ධාරා මේ පරිහාණිය වර්ධනය කළේය. මේ නිසා සමාජය සිය හෘද සාක්ෂිය අමතක කළේය.
හෘද සාක්ෂියක් නැති සමාජයක් විසින් පත් කරගන්නා නියෝජිතයන් සමාජයේ යහපැවැත්ම පිණිස නීති සාදතැයි සිතිය නොහැක. ඔවුන් උත්සාහ කරනු ඇත්තේ තමන් දැනට ලබා ඇති සැප සම්පත් වලට වඩා යමක් ලබා ගැනීමටත් ඒවා නොකඩවා තමන්ට ලැබෙන මාර්ග විවෘතව පවත්වාගෙන යාමටත්ය. ඇත්තෙන්ම පසුගිය කාලය මුළුල්ලෙම අප අත්දුටුවේ මෙම සත්‍යයයි. නිදහසින් පසු බිහිවූ සෑම රජයක්ම සිදු කළේ තමන් රැකෙනා ප්‍රතිසංස්කරණ විනා ජනයා ඉල්ලා සිටි ප්‍රතිසංස්කරණ නොවේ. මේ තත්ත්වය අපේ රටට පමණක් නොව අසල්වැසි ඉන්දියාව ඇතුළු ආසියාවටත් බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර යුරෝපයට හා අමෙරිකාවටත් පොදුය. ආසියානු අපට මෙම තත්ත්වය තදින් දැනෙන්නේ වංචා හා දූෂණ වල යෙදෙන කණ්ඩායම් වලට සාපේක්ෂව රටේ පොදු ජනයාට ලැබෙන දේ නොසලකා හැරිය හැකි තරම් කුඩා වන නිසා මිස පරමාදර්ශී රාජ්‍යයන් කේතුමතී රාජධානි වන නිසා නොවේ. දියුණු යැයි කියා ගන්නා රට වල පාලකයෝද අඩු වැඩි වශයෙන් දූෂිතය. ඔවුහුද විශාල සමාගම් වල කොමිස් වලට අපේ අය මෙන්ම කෑදරය. නමුත් අපේ රටවලින් රැගෙන ගිය මහා ධන සම්භාරයට පින්සිදු වන්නට සිය ජනයාට සාපේක්ෂව ඉහල ජීවන තත්ත්වයක් ලබා දීමට ඔවුන්ට හැකි වී තිබිණ. එනිසා ඔවුන්ට එරෙහි සටන් අපේ තරම් දරුණු ස්වරූපයක් නොගත්තේය. එසේ වුවද දැන් දැන් මෙම රටවල් මුහුණ දෙන ආර්ථික අර්බූධ හමුවේ මෙතෙක් කල් සුදු රෙදි පොරවා සිටි සිල්වතුන්ගේ තරම කෙමෙන් හෙලිවන්නට පටන් ගෙන ඇත. අමෙරිකානු ආර්ථික අර්බූධය හමුවේ ඇතැම් රාජ්‍ය නිලධාරීන් හා සමාගම් වල ඉහල නිලධාරීන් ක්‍රියාකල ආකාරය ලජ්ජා සහගතය. ලෝකයේ දූෂණයට එරෙහි පරමාදර්ශී රාජ්‍යයන් නැතැයි මා කීවේ එබැවිණි.
අප කළ යුතුවන්නේ පළමුව එක් එක් පුද්ගලයා වශයෙන් වංචා දූෂණ වළින් මිදීමය. වංචනිකයින් හා දූෂිතයින්ට ගල් ගැසීමට නම් එම පවු නොකලවුන් සිටිය යුතුය. එවැනි චරිත ලංකාවේ නැතැයි කීවොත් එය සිය දහස් ගණනක් අවංක ශ්‍රී ලාංකිකයින්ට කරනු ලබන අවමානයෙකි. අප අතර ඉතා සාධාරණ ලෙස ජීවත් වූ සහ ජීවත් වන මිනිස්සු බොහෝ ගණනක් ජීවත් වෙති. එවන් චරිත පරමාදර්ශ කර ගැනීමත් ඇගයීමත් කළ යුතුය. අපේ ප්‍රවෘත්ති පත්‍ර සහ මාධ්‍යය අපරාධ කරුවෙකුගේ ගඳ ගසන ජීවිත වෙනුවෙන් සිය පුවත්පත් හා ප්‍රවෘත්ති වල වෙන් කරන ඉඩ මේ මිනිසුන් වෙනුවෙන් වෙන් කොට ඇත්ද? නැත. ඒ වෙනුවට ඔවුන් කර ඇත්තේ සෘණාත්මක ප්‍රවෘත්ති හා වාර්තා වලට වැඩි ඉඩක් ලබා දීමය. අවංකව රැකියාව කොට නිහඬවම විශ්‍රාම ගිය අවංක මිනිසුන් ගැන අගයන්නේ නැතිව පරමාදර්ශී සමාජයක් බිහි කළ හැකිද? එසේ බිහිවන සමාජය පරමාදර්ශී නායකයින් බිහිකරනු ඇතිද?
දූෂණ වංචා නැති කිරීම සිතන තරම් පහසු නැති වුවත් මවා පෙන්වන තරම් අපහසු ද නැත. කළ යුත්තේ පුරවැසියන් වශයෙන් අප නිවැරදි අවස්ථාවේ නිවැරදි තීරණ ගැනීමයි. රජයේ කන්තෝරුවකින් තමන්ගේ වැඩේ කරගන්නට ගොස් හොරෙන්ම අල්ලස් දී එළියට බැස අල්ලස් විරෝධී පුවරු ඔසවාගෙන සිටීමෙන් පලක් නොවේ.
මා කලින් කී කරුණු නිසා රජය වංචා දූෂණ පිටු දැකීමේ වගකීමෙන් නිදහස් වන්නේ යැයි නොසිතිය යුතුය. මේ රජය වනාහී රටේ බහුතර ජනයාගේ කැමැත්තෙන් පත්වූ ප්‍රජාතන්ත්‍රවාදී රජයකි. බහුතර ජනයාගේ අභිලාෂයන් මුදුන් පත් කිරීමට රජය බැඳී සිටී. රටේ බහුතරයේ කැමැත්ත වංචා දූෂණ පවත්වාගෙන යාම නොවේ. එ නිසා සෑම අංශයකම දූෂණ වලට වැටබැඳීමට රජය ක්‍රියාකල යුතුය. අල්ලස් හා දූෂණ කොමිසම වැනි ආයතන වඩ වඩාත් ශක්තිමත් කිරීමත් අධිකරණය වඩාත් ස්වාධීන ආයතනයක් බවට පත් කිරීමත් අතිශය වැදගත් හා හදිසි අවශ්‍යතාවයකි. අපේ රටේ ව්‍යවස්ථාව අනුව රටේ ජනාධිපතිවරයාට මහත් වූ විධායක බලයක් පැවැරී ඇත. යුද්ධයේදී තීරණ ගැනීමට නොපැකිළුනාක් මෙන් දූෂණ වංචා වලට එරෙහිව ක්‍රියා කිරීමේදීද සෘජු තීරණ ගැනීම වැදගත්ය. වංචා හා දූෂණ සම්බන්ධයෙන් රජයේ නිලධාරියෙකුට හෝ ආණ්ඩුවේ ප්‍රබලයෙකුට හෝ විරුද්ධව කටයුතු කරන්නට කිසිසේත් මැලි වියයුතු නොවේ. ආණ්ඩුවේ ප්‍රබලයෙකු වේවා සාමාන්‍ය පුරවැසියෙකු වේවා ඕනෑම පුද්ගලයෙකුට එරෙහි දූෂණ හෝ වංචා චෝදනාවකදී තදින් නීතිය ක්‍රියාත්මක කිරීමෙන් රජය වඩාත් ජනප්‍රිය වනවා මිස අපහසුතාවයකට පත් නොවේ. අල්ලස් දූෂණ දැලෙන් තෝරුන් මෝරුන් පැන  තෙක් බලා සිට හාල් මැස්සන් හා සාලයන් ඇල්ලීමට තැත් කිරීමෙන් පලක් නොවේ.