Wednesday, September 14, 2011

අපේ මානව හිමිකම් උල්ලංඝනය කරණ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 18 වන සැසිවාරය මේ දිනවල ජිනීවා නගරයේ දී පැවැත්වෙමින් තිබේ. මෙම වාර්ෂික සැසිවාරය අර්ථ දැක්වීමට අනුව පවත්වනු ලබන්නේ ලොව පුරා රටවල මානව හිමිකම් ආරක්ෂා කිරීම වර්ධනය කිරීමටත් මානව හිමිකම් කඩවීම් පිළිබඳ විමර්ෂණය කොට ඒ පිළිබඳව අවශ්‍ය කරණ නිර්ණායකයන් සැපයීමටත් ය. මෙම සමුළුව පැවැත්වෙන සෑම වාරයක්ම මෙතෙක් කල් යොදා ගත්තේ ඇත්තෙන්ම ලෝකය පුරා මානව හිමිකම් රැකගැනීමට ම දැයි ප්‍රශ්නයක් ඇතිවන්නේ එය මෙතෙක් කල් ක්‍රියා කර ඇති ආකාරය දෙස බලන විටය. සෑම මානව හිමිකම් සමුළුවකටම ශ්‍රී ලංකාවෙන් නියෝජිතයින් පත් කිරීමේ දී නියෝජිතයින් තෝරා ගැනීමට සිදුවී ඇත්තේ බැරෑරුම් සටනකට සෙබළුන් තෝරා ගන්නා සේය.
මෙවර ජගත් මානව හිමිකම් සැසිය අප හට ඉතා අභියෝගාත්මක එකක් වන බවට සියළු පෙරනිමිති මේ වසර පුරාවටම දක්නට ලැබිණ. පසුගිය මාසයේ මුල සිටම අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විවිධ මට්ටමේ නිලධාරීන් විසින් සිදු කළ ප්‍රකාශ අනුව මෙම සැසිවාරයේදී ලංකාව ඉලක්ක කරගත් මහා සංග්‍රාමයකට ඔවුන සූදානම් වන බවක් පෙනෙන්නට තිබිණි. එනිසා රජය පැත්තෙන් ද රාජ්‍ය තාන්ත්‍රික හා රාජ්‍ය තාන්ත්‍රික නොවන වැඩපිළිවෙල ගණනාවක් ම ක්‍රියාත්මක වූ බව පෙනෙන්නට තිබුණි. ඇතැම් බටහිර රටවල් අපට අනියමින් තර්ජනය කරන විට කොටින් සමග එම රටවල් පැවැත්වූ නින්දිත ගණුදෙනු ලොවට හෙළි කරන බවට තර්ජනයන් ශ්‍රී ලංකාවෙන් ද මාධ්‍යයට නිකුත් විය.
ජගත් මානව හිමිකම් සැසිවාරය ආරම්භ කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලෛ මහත්මිය සිදු කළ කථාවේ දී ශ්‍රී ලංකාව ගැන සඳහන් කළ ආකාරය රටක් වශයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පක්ෂග්‍රාහී ව සිදු  කළ එකක් බව පැහැදිළි ය. එම ප්‍රකාශයේ දී ඇය කිසිදු වගකීමකින් තොරව ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයට එරෙහිව කළ සටනේ දී මානව හිමිකම් පිළිබඳව කිසිදු සැලකිල්ලකින් තොරව ක්‍රියා කල රටවල් පිළබඳ හොඳ නිදසුනක් බවයි.


ඇය එතැනින් ද නැවතුනේ නැත. ඉන් පසුව ශ්‍රී ලංකාවට උපදෙස් දෙන්නටද නොපැකිළුනාය. ඒ  ආරක්ෂාව සම්බන්ධයෙන් වන නීති සංශෝධනය කිරීමට වහා පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකාවෙන් තදින් ඉල්ලා සිටිමිනි. මෙම ප්‍රකාශයේ දී හදිසි නීති රෙගුලාසි ඉවත් කිරීමෙන් ශ්‍රී ලංකා රජය ගත් වැදගත් ධනාත්මක පියවර පිළිබඳව කිසිදු ආකාරයක ප්‍රශංසාත්මක වදනක් පළ නොකිරීමට ඇය පරෙස්සම් වූවාය. ඇයගේ මෙම පියවර ශ්‍රී ලංකාවේ ඇතැම් පිරිස් වල සතුටට හේතු වූ බව නොරහසකි. රාජපක්ෂ ආණ්ඩුව කෙරෙහි මහත් විරොධයක් සහ පිළිකුලක් දක්වන එක්තරා ඉංග්‍රීසි පුවත්පතක් එම සිදුවීම මහත් අභිරුචියෙන් වාර්තා කර තිබුණේ ශ්‍රී ලංකාව මානව හිමිකම් සමුළුවේදී විවේචනයට ලක්වූ බව පවසමිනි.


මෙම සමුළුවේදී තවත් වැදගත් දෙයක් සිදුවිය. එක්සත් ජාතීන්ගේ සියළු පිළිගත් රාජ්‍ය තාන්ත්‍රික පියවරයන්ට එරෙහිව යමින් මහ ලේකම් බෑන් කී මූන් මහතා විසින් “තමා වෙත උපදෙස් දීම සඳහා පමණක්“ යැයි කියමින් පත් කරගත් “විශේෂඥ කමිටුව“ හෙවත් දරුස්මාන් කමිටුව විසින් පිළියෙල කළාවූ අතිශය පක්ෂපාතී සහ කිසිදු නීතිමය වැදගත් කමක් නැති වාර්තාව මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කරන ලදි. මේ බව ශ්‍රී ලංකාවේ නියෝජිතයින් සහ ශ්‍රී ලංකා රජයට කිසිදුලෙසකින් දැනුම් දී නොතිබුනු අතර මේ බව ශ්‍රී ලාංකීය නියෝජිත පිරිස දැනගත්තේ ඇතැම් රටවල නියෝජිතයින් සමග පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයකදීය. මෙය ශ්‍රී ලංකා රජයේ කණ්ඩායම් නායක ගරු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ දැඩි විවේචනයට භාජනය විය.
මේ සිද්ධිය තවත් හුදෙකලා සිදුවීමක් නොවේ. මෙය ඉතා අපක්ෂපාතී යැයි කියා ගන්නා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ සහ ඒ ආශ්‍රිත සියලු ආයතන තුළ සිදුවී ඇති දැඩි දේශපාලනී කරණයේ නිරුවත ඉතා හොඳින් පැහැදිළි කළ තවත් එක් අවස්ථාවත් පමණි. මෙයට පෙර මෙම චෝදනාවට ලක්වූයේ ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන කිහිපයක් පමණි. නමුත් දැන් ප්‍රසිද්ධියේ ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සියලය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයම එවැනි ක්‍රියාවල නිරත වීම ජාත්‍යන්තර දේශපාලනයේ බල තුලනයක් නැති කම හා බලවත් ජාතීන් විසින් සාපේක්ෂව දුර්වල රාජ්‍යයන් හොඳින් හෝ නරකින් තමන්ට අවනත කර ගැනීමේ යෙදෙන බව නැවත නැවත ප්‍රදර්ශනය කිරීමකි.
මේ මානව හිමිකම් ගුරුන්ට අනුව අප වැනි කුඩා රට වල ජනයාගේ මානව හිමිකම් රැකිය යුත්තේ ඔවුන්ගේ සර්ව බලධාරී රාජ්‍යයන්ට අවශ්‍ය වන පරිදිය. ත්‍රස්ත සංවිධාන විසින් දහස් ගණන් සිවිල් ජනයා ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරත්දීත් ඔවුන් අපට කියන්නේ නිවට නියාලු ලෙස සාකච්ඡා සඳහා සහභාගී වන ලෙසයි. සැප්තැම්බර් 11 වෙනිදා අමෙරිකාවට ත්‍රස්ත ප්‍රහාර එල්ල වූ අවස්ථාවේ දී ඇෆ්ගනිස්ථානයේ සහ පාකිස්ථානයේ සිවිල් වැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරමින් අල්-කයිඩා සහ තලෙයිබාන් කණ්ඩායම් සමග සාකච්ඡා කරන්නැයි නවනීදන් පිල්ලෙයි මහත්මිය හෝ බැන් කී මූන් මහතා ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ් මහතාට උපදෙස් දුන්නේ නැත. බුෂ් මහතා අනෙකුත් රටවල් ආක්‍රමණය කළේ සිවිල් ජනයාගේ ජීවිත ආරක්ෂා කරමින් නොවේ. පකිස්ථානයේ දේශසීමා උල්ලංඝනය කරමින් අමෙරිකානු සීල් භටයන් ඔසාමා බින් ලාඩන් මරා දමන විට ඔහු අත් අඩංගුවට ගන්නැයි අණ දෙන්නට ජනාධිපති බැරැක් ඔබාමා මහතාට මෙන්ම රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මියටද හැකියාව තිබුණේ එම මෙහෙයුම සජීවීවම ඔවුන් බලා සිටි නිසායි. නිරායුධ ඔසාමා බින් ලාඩන් කිසිදු නඩු විභාගයකින් තොරව මරා දැමුණු අතර එයට අමෙරිකානු ජනාධිපති වරයා සෘජුවම අණ දුන්නේය. එසේ වුවත් එයට එරෙහිව වචනයක් හෝ කථා කිරීමට මේ පණ්ඩිතයින්ට හැකිවූයේ නැත.
ඉරාකයේ ඇතැයි කියූ සමූල ඝාතක යුධ අවි එකක් වත්හෝ අඩුම ගණනේ එකදු රසායනික අවියක් වත් සොයාගැනීමට නොහැකි වුවත් එම රටට එරෙහිව කල යුද්ධයේ දී මියගිය කාන්තාවන් හා ළමුන් ඇතුළු සිවිල් ජනයා ගැන කථා කරන්නටවත් නොකැමැති අමෙරිකාව සහ ඔවුන්ගේ මිතුරු රටවල් අප අපහසු තාවයට පත් කරන්නේ මන්දැයි සිතා ගැනීමට අපහසු නැත.
යුද්ධය පවතිද්දී ශ්‍රී ලංකාව අසාර්ථක රාජ්‍යයක් යැයි මහත් උජාරුවෙන් කී බටහිර මාධ්‍ය යුද්ධය සාර්ථකව ඉදිරියට ඇදී යද්දී හමුදාවන් විසින් මානව හිමිකම් කඩකරන බවට මොර දෙන්නට පටන් ගත්තේ සිය හාම්පුතුන්ට අවශ්‍ය පරිදි මහින්ද රාජපක්ෂ මහතාගේ රජය යුද්ධය තව දුරටක් හිඟන්නාගේ තුවාළයක් බවට පත් නොකර ගත් නිසාය. යුද්ධය ව්‍යාපාරයක් කරගත් බොහෝ දෙනාට යුද්ධය අවසන් වීම මහත් හිසරදයක් වීම කුඩා දරුවෙකුට වුවද තේරෙන දෙයකි. අමෙරිකාවේ, බ්‍රිතාන්‍ය යේ සහ ප්‍රංශයේ විදේශ ලේකම් වරුන්ගේ උපදෙස් අනුව කටයුතු කළා නම් අප මේ වන විට ඇත්තටම අසාර්ථක රාජ්‍යයකි. එදා මෙම බටහිර රටවල් අපට අතපෙවීම නතර කිරීමට සහය වූ ඉන්දියාව මේ වන විට හෙමින් සීරුවේ කර ඇර සිටීමට මාන බලන්නේ ද තමන්ට දකුණෙන් බිහිවන ශක්තිමත් රාජ්‍යය ශක්තිමත් වීම වැළැක් වීමට බව තේරුම් ගත යුතුය. එදා ඔවුන් අපට අත පෙවීමට බටහිරට ඉඩ නොදුන්නේ බටහිර බලවේග වලට ලංකාව නතු වුවහොත් එය ඔවුන්ට තර්ජනයක් වන නිසා මිස ඔවුන් අපේ “ළඟම ඥාතියා“ නිසා නම් නොවේ. දැන් ඔවුන්ටද අවශ්‍ය වන්නේ වේගයෙන් ස්වාධීනව නැගී සිටින අපේ ගමන අඩාල කිරීම බව මතක තබා ගැනීම වැදගත්වේ.
මේ අතර රටට එරෙහිව සිටින බලවේගයන් සමග අත්වැල් බැඳගෙන සිටින ශ්‍රී ලාංකිකයින් ද හඳුන් ගැනීම වැදගත්ය. ජනතාව ඉදිරියේ මහතුන් මෙන් පෙනී සිටින යුක්තිය වෙනුවෙන් කෑමොර දෙන්නන් ලෙස තමන්ව හඳුන්වා ගන්නා ඇතැම් ශ්‍රී ලාංකිකයින් සහ බංකොලොත් දේශපාලනඥයින්ද මෙම පිරිසට ඇතුළත්ය. මොවුන් සිදු කරන ක්‍රියා නිසා අපහසු තාවයට පත් වන්නේ මේ රටේ අහිංසක ජනයා බව ඔවුන් නොදන්නවා නොවේ. නමුත් දියුණු යැයි සම්මත බටහිර රටවල පවුල් පිටින් පදිංචි වීමට අවස්ථාව ලැබීමත් සිය සාක්කුවට වැටෙන විදෙස් මුදලුත් නිසා රට පාවා දෙන්නට මොවුන්ට කිසිදු ලජ්ජාවක් නැත.
වසර ගණනාවක් තිස්සේ අපේ රට පිටුපසට ගියේ යුද්ධය නිසාය. දැන් යුද්ධය නිමවී ඇත. දැන් දැන් අපහට මුහුණ දීමට සිදුවන අභියෝගයන්ට මුහුණ දීමට අවදියෙන් සිටීම වැදගත්ය. එදිනෙදා සිදුවීම් ගැන විමසිලිමත් වීමත් සත්‍ය ගරුකව සහ සදාචාරවත්ව ජීවත් වීමත් අවශ්‍ය අවස්ථිවේ දී රට වෙනුවෙන් සිය යුතුකම ඉටු කිරීමටත් සෑම ශ්‍රී ලාංකිකයෙකුම අදිටන් කරගත යුතුය.

4 comments:

  1. අනික්වා ගැන මා මොකුත් කියන්නෙ නැත , නමුත් අපී වෙගයෙන් ස්වාධීනව නැගිටිනවා යන්න නම් අමු කෙබ්බයකි .

    01) යම් ප්‍රගමනයක් තිබුනත් අප තවමත් අප සිටිය යුතු ස්ථානයේ හෝ මාවතේ පිය තබා නැත . වේගයෙන් දියුණුවූ රටවල් මුලින්ම නතර කලාවු දූෂණය වැලැක්වීමේ ක්‍රියා මාර්ගයක් පේන තෙක් මානයක නැත , ඒ වෙනුවට ඇසෙන්නේ බාල පෙට්‍රල් , බාල සිමෙන්ති වැනි දූෂනයන් ගැනය

    02) අපගේ නැගිටීම ස්වාධීන නැත . වර්ථමානයේ ස්වාධීනව නැගිටීමද ලේසි නැත . එකම වෙනස ජේ . ආර් , රනිල් සරන ගිය බටහිර වෙනුවන චීනය හා ඉන්දියාව මූලික කරගැනීමයි . ලංකාව පාගා දැමීමේ රජීව්ගේ මැටි මෝල් ක්‍රමයන් මන් මෝහන් කරාවී යැයි මා හිතන්නෙ නැත . අද ඔවුනගේ අවශ්‍යතාවය චීනය ලංකාවේ ලබන ආධිපත්‍යය ඉවත් කර , තමාගෙ ආධිපත්‍යය පතුරවා ගැනීමයි , එනම් අපේ නැගීටීම ඔවුනගේ කරගැනීමටයි


    චීනය ආර්ථික අතින් ඉන්දියාවට වඩා අතිශයින් බලවත් වුවත් ශ්‍රි ලංකාව කෙරේ ලෝක දේශපාලන බලපැම සඳහා තීරණාත්මක සාධකය ඉන්දියාවයි . සමස්ථ විදෙස් ප්‍රතිපත්තියම අවුල් ජාලාවක් කරගත් රාජපක්ෂ රජය රැකුනේ ඉන්දියානු සබඳතාවය නිසාය . මේ වන විට එය යම් තරමකට පලුදූ වී ඇතත් රජය ඉන්දියාව අතහරින්නට හෝ ඉන්දියාව අප අත්හරින්නට හෝ සූදානමක් නැත . ඉන්දියාව තමන්ගේ හෙට්ටු කිරීමේ බලය අප කෙරේ යොදමින් සිටිනා බැව් පෙනෙන්නට ඇත . අනවශ්‍ය අහංකාරයන් ඉවත තබා නිවැරදි දේශපාලන උපාය මාර්ගයන් ජාත්‍යන්තර දේශපාලනයේදී භාවිතා නොකලත් අනාගතය එතරම් සුභ වන්නේ නැත .


    ප.ලි - එක්තරා මාධ්‍ය වාර්ථාවකට අනුව ශ්‍රි ලංකාවට අභ්‍යන්තර පරීක්ෂනයක් සඳහා තව කල් ලබා දිය යුතු බවට ඇමරිකාව හා ඉන්දියාව එකඟ වී ඇත . මේ පුවතෙ සත්‍යතාව මා දන්නේ නැත . එය සත්‍යයක් නම් රටේ ඉදිරි අනාගතය තීරනය කරන්නාවූ තීරණාත්මකම කාලය එය වනවාට සැකයක් නැත

    ReplyDelete
  2. @ බුවා :

    සමාවෙයන්... ඒත් රටේ වැරදි මහ ලොකුවට පෙන්වා දෙන ඔබට ඇමරිකාවේ, බ්‍රිතාන්‍යයේ, ප්‍රංශයේ වැරදි නොපෙනේනේ ඇයි දැයි මට මහත් ප්‍රශ්ණයකි... අපක්ෂපාතී වීම යනු ප්‍රශ්ණය අන්ත දෙකෙන්ම විග්‍රහ කළ හැකි වීමයි... ලංකාවේ වැරදි වලට ලංකාවට බනින කටින්ම බටහිරට බනින්නට ඔබට නොහැක්කේ ඇයි... ?

    ReplyDelete
  3. ඇමරිකාවේ හෝ වෙනත් කාගේ හෝ අභ්‍යතර තත්වයන් විග්‍රහ කිරීමේ සමාජීය දැනුමක් මා හට නොමැත , එනිසා විවේචනයක් තිබේ නම් ඔවුනගේ ජාත්‍යතර දේශපාලනයේ හැසිරීම පිලිබඳවය . ඒ ගැන තිබෙනා විවේචනයන් ලිබියානු ආක්‍රමනයට පෙර ඒ ගැන විග්‍රහයේදී සටහන් කලෙමි , බටහිර උදේ සවස බැන වැදීමේ රෝගයක් නැති නිසා ඒවා නිරන්තරයෙන් ලියවෙන්නේ නැත . මා ජීවත් වන රටේ වැරදි , මා ජීවත්වන සමාජයේ වැරදි විවේචනය මාගේ බ්ලොග් කරණයේ අරමුණයි , එනිසා මා ලියන්නේ ඒ ගැනය . වැරදි කියන්නේ තරහට නොව දුකටය අද බොහෝ දෙනාට බටහිරයන් සමඟ අමුතු මලක් ඇති බැව් පෙනෙන්නට ඇතත් මට එවැන්නක් නැත . මට බටහිර විද්‍යාව, තාක්ෂනය කලාව සමඟ කිසිදු තරහක් නැත . බටහිරට පස්ස උඩ දාගෙන උඩුබුරලනා උන් සමහරකගේ ළමයින් ඉගන ගන්නේ එංගලන්තයේය , තවත් අය බටහිර රටවල පුරවැසියන්ය .බටහිරට සද්ද දමනින් චීනය ලෝක බලවතා වන තෙක් හීන බලනවාට වඩා ප්වතින යථාර්තය තුල බටහිර සමඟින් ශේප් න්‍යායක සිටීම කාගේ කාගේත් ඇඟට ගුණය . බටහිරින් එන සියලු දේ ට බනිමින් , ඒවාම භාවිතා කරමින් කරනා සමයම් මා හට නම් පිලිකුල්ය . එනිසා අමුතු විවේචනයන් බටහිරන් අරඹයා ලියවෙන්නේ නැත . නමුත් ලෝක දේශපාලනික සිදුවීමකදී අවස්ථාවක් ලද හොත් නොලියා ඉන්නේත් නැත

    ReplyDelete