Sunday, April 25, 2010

නව ඇමති මණ්ඩලය සහ එහි වගකීම්

නව රජයේ ඇමති මණ්ඩලය ‍මේ වන විට පත් කොට තිබේ. සියළුම හිටපු ඇමතිවරුන්ගේ අමාත්‍යාංශ මේ වන විට වෙනස් ‍වී ඇත. ජනතාව විසින් ඉල්ලා සිටි පරිදිම ඇමතිධූර සංඛ්‍යාව ද අඩු කොට ඇත. මෙම නව සාධනීය තත්ත්වය අගය නොකරන්නෙක්වේ නම් ඔහු හෝ ඇය දේශපාලන කුහකයෙක් ලෙස හඳුන්වා දීම වඩාත් තාර්කිකය.
ඇමති තනතුරු වලට පත් කළ යුත්තේ කවුරුන්ද යන්න ජනාධිපතිතුමාට කියාදීමට යමෙක් අවශ්‍ය නොවේ. වසර ගණනාවක දේශපාලන අත්දැකීම් අනුව තමන්ට අවශ්‍යයෙන්ම උවමනා කරන කණ්ඩායම එතුමා තෝරාගෙන ඇති බව පෙනේ. මගේ සිතේ තිබූ ඇමැති මණ්ඩලය මෙයට වඩා මඳක් වෙනස් වූවත් නැවත සිතා බැලීමේ දී මෙම ඇමති තනතුරු ලබා දීමේ හේතු සිතා ගත හැකිය.
රටට දැන් අවශ්‍ය වන්නේ සීග්‍ර සංවර්ධනයකි. මෙම සංවර්ධනයේදී කැපවීමෙන් වැඩ කරන අවංක ඇමති මණ්ඩලයක් තිබීම ඉතා වැදගත් වේ. ඇමති වරුන් පමණක් නොව අමාත්‍යාංශ ලේකම් වරුද තෝරාගැනීමේ දී ඉහත අභිමථාර්තයන් ඉටු කිරීමට කැපවූ නිලධාරීන් පත් කරගැනීම වැදගත්ය. අමාත්‍යාංශයක වැදගත්ම නිලය හොබවන්නේ එහි ලේකම් වරයා වන අතර අමාත්‍යවරයා ගන්නා තීරණ කෙරෙහි විශාල බලපෑමක් කිරීමට දක්ෂ ලේකම් වරයෙකුට හැකියාවක් ඇත. එනිසා සිට අමාත්‍යාංශය නිවැරදි සහ රටට හිතකර ගමනක මෙහෙයවීමට ඇවැසි සෘජු සහ අවංක එමෙන්ම කොන්ද පණ ඇති ලේකම්වරුන් ඒ ඒ අමාත්‍යාංශ වලට පත් කිරීම අත්‍යාවශ්‍යවේ. ඇමැතිතුමා කියන ඕනෑම වැඩක් කරගෙන දෙකට තුනට නැවෙන ලේකම් වරුන් අමාත්‍යාංශයක සිටින්නේ නම් ඒ අමාත්‍යාංශය නිසි මගක ගමන් ගනී යැයි සිතිය නොහැක.
ඇමතිවරුන් මෙහිදී නිහතමානීව දැනගත යුතු කරුණක් ඇත. අමාත්‍යාංශ වල සිටින ඇතැම් දක්ෂ නිලධාරීන්ගේ උපදෙස් රටේ ඉදිරි ගමනට ඉතා වැදගත් වන බවය. එමෙන්ම වඩාත් දෙකට තුනට නැමෙන්නේ සිය රාජකාරිය නිසි ලෙස නොකරන නිලධාරීන්ය. එනිසා අවංක හා දක්ෂ නිලධාරීන් හඳුනාගෙන ඔවුන් රාජ්‍ය සංවර්ධනයට වඩාත් ඵලදායී ලෙස යොදවා ගැනීමත්, කොන්ද කඩා දමා ඇති රාජ්‍ය අංශයේ නිලධාරීන්ට ආත්ම ගරුත්වයක් ඇති පිරිසක් ලෙස සිය අත්දැකීම් ප්‍රයෝජනයට ගැනීමට අවස්ථාව සලසා දීමත් ඉතා වැදගත්වේ. පසුගිය කාලයේ ඇතැම් අමාත්‍යාංශ වල බරපතල ප්‍රශ්න ඇති වීමට ප්‍රධානතම හේතුවක් වූයේ ඇමතිවරයා සමග කථාකිරීමට වත් බියවූ නිලධාරීන් ඒවායේ උසස් නිලතල හෙබවීමය.
අපේ රටේ වැඩියෙන්ම කථා බහට ලක්වූ අමාත්‍යාංශ දෙකක් වන සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශ මෙවර ලැබී ඇත්තේ වැඩියෙන්ම කථා බහට ලක්වූ ඇමැති වරුන් දෙදෙනෙකුටය.
ගරු මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යතුමා පසුගිය සමයේ වී මිළදී ගැනීම සහ රට ස්වයං පෝෂිත කිරීමේ වැඩසටහනට උර දීමෙනුත් ශ්‍රී ලංකා නිදහස් පක්ශයේ ලේකම් වරයා වශයෙනුත් කථා බහට ලක්වූවෙකි. සෞඛ්‍ය අමාත්‍යාංශය යනු මේ රටට වැඩියෙන්ම දැනෙන අමාත්‍යාංශ වලින් එකකි. මීට පෙර සිටි නිමල් සිරිපාල ද සිල්වා ගරු ඇමතිතුමා සෞඛ්‍ය අමාත්‍යාංශය පාලනය කිරීමේ දී විවේචනයට ලක්වූයේ කුමන අංශ වලින් ද යන්න ගැඹුරින් සලකා බලන්නේ නම් මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමාට ජනප්‍රිය සෞඛ්‍ය ඇමතිවරයෙක් වීම අසීරු නොවනු ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශය යනු අපේ රටේ වැදගත්ම අමාත්‍යාංශයයි. මම එසේ කියන්නේ මීළඟ පරපුර නිර්මාණය කිරීමේ දී අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්යය භාරය තරම් තීරණාත්මක වෙනත් සාධකයක් දක්නට නොලැ‍බෙන නිසාය. අපේ සාරධර්ම දැන් නැත්තටම නැතිවී යමින් පවතී. මම අද මට අහන්නට ලැබුනු කථාවක් කියන්නේමි. මගේ මිත්‍රයෙකුගේ පියා 1970 දශකයේ ලංගම  රියැදුරු මහතෙකු වශයෙන් සේවය කළේය. ඔහු සේවය කළ බසයේ මාර්ගය වැටී තිබුණේ ඔවුන්ගේ නිවස අසලිනි. මගේ මිත්‍රයාගේ මව දිනක් නගරයට පැමිණ නැවත නිවසට යාමට සැරසෙද්දී සිය සැමියා සේවය කළ බසය දැක එහි යාමට සිතා, පෝලිමේ නොයා බසයට නැගීමට සිටියාය. ඇයගේ සැමියා කළේ ඇය බසයට නංවා නොගෙන කුළී රථයක එන ලෙස පවසා ඇයට මුදල් දීමය. මින් උරණවූ මගේ මිතුරාගේ මව එසේ කළෙ මන්දැයි විමසූ විට ඔහුගේ පියා දුන් පිළිතුර වූයේ බස් රථය ලංගමයට අයිති බැවින් එහි ගමන් කරන්නේ නම් නීති ගරුකව පෝලිමේ පැමිණ බසයට නැංග යුතු බවත් ඇයට පෝලිමේ සිටිය නොහැකි නම් කළ යුත්තේ මුදල් වැඩිපුරගෙවා කුළී රථයක පැමිණීම බවත්ය. මම මේ කථාව ලිව්වේ ඒ කාලයේ අපේ පුරවැසියන් තුළ තිබූ නීතිගරුක භාවයත් ස්වකීය රැකියාව කෙරෙහි තිබූ භක්තියත් පෙන්වීමටය. ‍නීති ගරුක පුරවැසියන් බිහිකිරීමේ දී අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරෙන රාජකාරිය ඉතා වැදගත්ය. අපේ රටේ දැන් දැන් බෝවී ගෙන යන්නාවූ නාස්තික වාදී නරුම සංස්කෘතියෙන් අපේ ඉදිරි පරපුර ගලවා ගැනීම සඳහා අවශ්‍ය කරන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සෑදිය යුතුය. අපට වැරදුන මුල්ම තැන නම් ආණ්ඩු මාරු වන විට වෙනස් වන අධ්‍යාපන ක්‍රමයක් පැවැතීමය. බන්දුල ගුණවර්ධන ඇමැතිතුමාට පැවරී ඇති වගකීම භාරදූර එකක් වන්නේ මේ නිසාය.
අවසාන වශයෙන් පුරවැසියෙකු ලෙස නව ඇමති මණ්ඩලයෙන් ඉල්ලා සිටින වැදගත්ම දෙය නම් ඔබ දරා සිටින ඇමති මන්ත්‍රී ධූර වල තාවකාලික බව දැන, බලයෙන් මත් නොවී වඩත් නිහතමානීව රටට සේවය කරන ලෙසයි...

Tuesday, April 20, 2010

හොඳින් නරක කිරීම සහ නරකින් හොඳ කිරීම

ගරු හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ලංකාවේ ‍බොහෝ කථා බහට ලක්වූ ආන්දෝලනාත්මක චරිතයකි. ඔහු ගැන විශේෂයෙන් ලිවීමට සිත්වූයේ පුවත්පත් සිරස්තල වැඩසටහනකින් කියැවුනු අපූරු පුවතක් කන වැටීම නිසාය.
මර්වින් සිල්වා ගරු මන්ත්‍රීතුමාගේ නියෝගයක් පරිදි කැළණිය ආසනයේ සියළු සුරා සැල් ( අවසර ලත් ඒවාද ඇතුළුව) වසා දමන්නට සිදු වී ඇතැයි යන ප්‍රවෘත්තිය සමග ඒ ගැන අදහස් පළ කල "නීත්‍යානුකූල" සුරාසැල් හිමියන් පවසා ඇත්තේ බලපෑම් නිසා තමන්ට සුරා සැල් වසා දමන්නට සිදුවී ඇති බවයි. මෙය වාර්තා කළ ජනමාධ්‍ය ද අහිංසක සුරාසැල්හිමියන් මර්වින් සිල්වා මන්ත්‍රීතුමාගේ "හිතුවක්කාරී අණට" යටත් වී ඇති බවක් වාර්තා කොට තිබේ.
සුරා සැල් නීතිගත කොට අරක්කු වෙළඳා‍ම ආදායම් මාර්ගයක් බවට පත් කරන ලද්දේ බ්‍රිතාන්‍ය ජාතිකයින් විසිනි. සුරාව පිළිකුල් කළ සිංහලයා සුරා සොඬෙකු බවට පත්කිරීම, දිනා ගැනීමට අපහසු උඩරට රාජ්‍යය ඉංග්‍රීසීන් වෙතමැ රඳවා ගැනීමේ ඩොයිලි ගේ උපායේ ප්‍රධාන කොටසකි. ඒ නයින් බලන කල මත්පැන් විකුණන සුරාසැල් සඳහා බලපත් දීම නැවැත්වීම මහින්ද රාජපක්ෂ මහතා ගන්නා ලද ඉතා සාධනීය පියවරෙකි. ඇත්තෙන්ම දැන් කළයුත්තේ දැනට විවෘතව තිබෙන සුරා සැල් වසා දැමීමය. නමුත් සෑමවිටම සිදුවන පරිදි මර්වින් සිල්වා ගරු මන්ත්‍රීතුමා ඉක්මන් වී ඇති බවක් පෙනේ. මම මාතෘකාව ලෙස ඉහත වාක්‍යය යෙදුවේ එනිසාය.
දැන් අපි මාතෘකාවට බසිමු. අපේ රටේ ජාතික සෞඛ්‍ය වැය ශීර්ෂයෙන් ඉතා විශාල මුදලක් වෙන් වන්නේ මධ්‍යසාර භාවිතය නිසා ඇති වන රෝග සඳහා ප්‍රතිකාර කිරීමටත් මත්පැන් පානය කොට සිදු කරගන්නා රිය අනතුරු සහ ගැටුම් වලට මැදිවන්නන්ට ප්‍රතිකාර කිරීමටත්ය. නමුත් ශ්‍රී ලංකාවේ අයවැය සකස් කිරීමේ දී රජයට ආදායම් ලැබෙන ප්‍රධාන මාර්ගයක් වන්නේ ද මධ්‍යසාර සහ දුම්වැටි මත පනවනු ලබන බදුය. ඉදින් ශ්‍රී ලංකාවේ මත්පැන් පෙරීම සහ ඉස්කාගාර පවත්වාගෙන යාම නීත්‍යානුකූලවේ. නීති විරෝධී වන්නේ ඒවා රජයට හොරෙන් බලපත්‍ර නොගෙන මත්පැන් පෙරුවහොත් පමණි.ඒ අපේ රටේ හොඳින් සිදුවන නරක ක්‍රියා සඳහා හොඳම උදාහරණයකි.

ඔබ නැසීගිය මහාචාර්ය නන්දසේන රත්නපාලයන් ලියූ ශ්‍රී ලංකාවේ ගණිකාවෝ නම් කෘතිය කියවා ඇත්නම් ඔබට තවත් උදාහරණයක් එයින් කියවා ගත හැක. ශ්‍රී ලංකාවේ නීතියෙනුත් සංස්කෘතියෙනුත් ගණිකා වෘත්තිය හෝ ගණිකාවන් වෙත යාම හෝ අනුමත නොකරයි. සාමාන්‍ය බසින් කිවහොත් එය නරක වැඩකි. නමුත් ඉතා ඉහල පෙළේ හෝටල් වල සිට මහමග දක්වා ඕනෑම ස්ථානයකදී ඔබට ගණිකාවක සොයාගැනීම අසීරු නොවනු ඇත. ඉතා සංවිධානාත්මකව හොඳින් සිදුවන තවත් නරක වැඩකි ගණිකා වෘත්තිය.

අල්ලස් ගැනීම මෙන්ම දීම ද අපේ රටේ නීති විරෝධී ක්‍රියවකි. නමුත් රැකියාවක් ලබාගැනීමේ සිට මරණ සහතිකයක් ලබාගැනීම හෝ රෝහලේ දී මියගිය සිය ඥාතියාගේ මළ සිරුර ලබා ගැනීම දක්වාම අල්ලස් දීමට සිදුවන සහ සිය කාර්යය ඉක්මනින් ඉටු කරවා ගැනීම සඳහා අල්ලස් දීමට කැමැත්තෙන්ම ඉදිරිපත්වන අවස්ථා කීයක් නම් දිනකට සිදුවනු ඇතිද? එයත් හොඳින් සිදුවන නරක ක්‍රියාවකි.

අසත්‍ය ප්‍රකාශ කිරීම ඉතා නරක වැඩකි. ඒ ගැන කිසිවෙකුත් මා සමග උරණ නොවනු ඇත. නමුත් කුඩා දරුවකු රවටා බත් කටක් කැවීමේ තැන සිට ඔහු පාසැලට ඇතුළු කිරීම දක්වාත්, ග්‍රාමෝදය මණ්ඩලයක සභාපති ධූරයේ සිට පාර්ලිමේන්තුවට මන්ත්‍රී වරුන් පත් කර ගැනීම දක්වාත් අසත්‍ය ඉතා ශූර ලෙස යොදා නොගැනෙන්නේද? ඒ හොඳින් කරන තවත් නරක වැඩකි. ඒ ගැන ප්‍රශ්ණ කළ හොත් අසත්‍ය ප්‍රකාශ කරන්නා නොයෙකුත් හේතු කියමින් සිය ක්‍රියාව සාධාරණීකරණය කරනු ඇත.

සොරකම් කිරීම තවත් එවැනි ඉතා නරක දෙයකි. නමුත් අපටත් හොරා අපේ බොහෝ දේ සොරකම් කරගත් බටහිරයෝ ඒවා එසේ කළේ ‍හොඳ චේතනාවෙන් යැයි කියති. ඒ සඳහා හොඳම උදාහරණය පසුගියදා පුවත් පත් වල පල විය. ඊජිප්තුවෙන් සොරාගෙන (විද්‍යාත්මක පර්යේෂණ මුවාවෙන්) ගිය පුරා වස්තු සමූහයක් නැවත ලබා දීම ප්‍රතික්ෂේප කළ ජර්මනිය කීවේ තමන් ඒවා ලබාගත්තේ නීත්‍යානුකූලව යැයි කියාය!

හොඳ දේවල් කරන ජනතාව පිළිගත් ක්‍රම වේද තිබේ. ශිෂ්ඨ ලෝකයා අනුමත කරන්නේ එවැනි ක්‍රම අනුව සිදු කරන ක්‍රියා පමණි. මෙහිදී ශිෂ්ඨ ලෝකයා ලෙස මා හැඳින්වූයේ සාමාන්‍ය සිවිල් සමාජයයි.

සොරෙකු සොරකම් කරද්දීම අල්ලා ගත් විට ඔහු පොලිසියට භාර දීම හොඳ වැඩකි. නමුත් එසේ භාරදීමට පෙර සොරාට බඩකට පුරා හොඳ හැටි ගුටිබැට දීම හැඳින්විය යුත්තේ නරකලෙස සිදු කළ හොඳ වැඩක් බවයි.

මර්වින් සිල්වා ගරු මන්ත්‍රීතුමාගේ ක්‍රියාව ද මා හඳුන්වන්නේ හොඳ වැඩක් නරක ක්‍රමයකට කිරීමක් ලෙසයි. අපේ රටේ මිනිසුන් රෝගීන් බවට පත් කරන, අපේ පවුල් සංස්ථාව කඩා බිඳ දමන "මත්පැන්" හෙවත් මධ්‍යසාර ලංකාවෙන් තුරන් කළ යුතුය. නමුත් ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කළයුතුය. ඒ සඳහා මත්පැන් හල් හිමියන්ට තර්ජනාංගුලිය එසවීමට වඩා කළයුතුව ඇත්තේ පාර්ලිමේන්තු පනතකින් සියළුම ආකාරයේ මධ්‍යසාර විකිණීම තහනම් කිරීමයි . මත්පැන් ප්‍රශ්නයක්ව ඇත්තේ කැළණිය මැතිවරණ බලප්‍රදේශයේ පමණක් නොවේ. එට රටටම පිළිලයකි. එනිසා එය ශ්‍රී ලංකා භූමි තලයෙන්ම තුරන් කළ යුතුය. ඒ සඳහා කළ හැකි හොඳම දේ හොඳම පිළිවෙලින් කිරීම රටටත් ආණ්ඩුවටත් මර්වින් සිල්වා මහතා වැනි අනෙකුත් සෑම ගරු මන්ත්‍රී තුමෙකුටම ආශිර්වාදයක් වනු ඇත. එසේ නැතිව ‍හොඳදේ නරකින් කිරීමට යාම ඉක්මනින්ම ලබා ඇති ජනප්‍රසාදය නැති කරගැනීමට හේතුවක් වීම වැළැක්විය නොහැක....




Monday, April 19, 2010

අළුත් අවුරුද්දේ අළුත් ආණ්ඩුව

මහ මැතිවරණය නිමවී දින කිහිපයක් ගෙවී ගොස් ඇති නමුත් ශ්‍රී ලාංකික අපි තවමත් අවසන් ප්‍රතිඵලය නොදැන සිටින්නෙමු. එයට හේතුව වන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය මැතිවරණ බල ප්‍රදේශයේත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කඹුරුපිඩ්ඩි බල ප්‍රදේශයේත් ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම ඊට හේතුවයි.
දැනට ලැබී ඇති ප්‍රතිඵල මත එක්සත් ජනතා නිදහස් සන්ධානය විශිෂ්ඨ ලෙස ජය ලබා ඇත. හෙට දිනයේ පැවැත්වෙන මැතිවරණයෙන් අනතුරුව සමස්ථ ප්‍රතිඵලය නිකුත් වනු ඇත. කෙසේ වෙතත් මෙවර මැතිවරණයෙන් ජනතාව ඉතා පැහැදිළි තීන්දුවක් ප්‍රකාශ කොට ඇති බව පෙනේ. එනම් තවදුරටත් අකාර්යක්ෂම දේශපාලනඥයන්ට ඔවුන් රැවටිය නොහැකි බවයි. බොහෝ දේශපාලන නිරීක්ෂකයන් පෙන්වාදුන් පරිදි ජනතාව මෙවර වඩාත් නිවැරදි තීරණය ගෙන ඇත. එය රටක් වශයෙන් අප ලබන ජයකි. මන්ද යත් දේශපාලනිකව සවිඥාණක ජනතාවක් යම් රටක පහළ වීම එරට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වීම පිළිබඳ සුභ පෙරනිමිත්තක් වීම නිසාය.
දැන් අපට අවශ්‍ය වන්නේ වැඩක් කළහැකි, තමන්ට පෙර රට ගැන සිතන දක්ෂ අමාත්‍ය මණ්ඩලයකි. එවැනි ඇමති මණ්ඩලයක් පත් කර ගැනීම කියන තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවන නමුත් ඇමති තනතුරු නොදිය යුතු පිරිස තේරීම නම් කජු කන්නාක් මෙන් පහසු වැඩකි. දැනට අපට අසන්නට ලැඛෙන කරුණු අනුව නම් ඇමති තනතුරු සංඛ්‍යාවෙහි පැහැදිළි අඩුවීමක් බලාපොරොත්තු විය හැකිය. එය එසේම විය යුතුය. එයට හේතුව නම් පසුගිය මහ මැතිවරණ සමයේත් ඊට පෙරත් රජයට එරෙහිව ඉදිරිපත් වූ ප්‍රධාන චෝදනාවක් වූයේ එම කරුන වීමයි.


අපේ විශාල ඇමති මණ්ඩලයට විසුළු කිරීම ඒ කාලයේ විදේශිකයින්ට විනෝදාංශයක් විය.

මම මෙහිදී මගේ පෞද්ගලික අත්දැකීමක් කියන්නෙමි. දිනක් මම රාත්‍රී ආහාරය ගැනීම සඳහා අම්පාර නගරයේ එක්තරා ප්‍රසිද්ධ හෝටලයකට ගියෙමි. ඒ දින වල උතුරු පළාතේ මානුෂික මෙහෙයුම් පැවැති අතර කංචිකුඩි ආරු වැනි නැගෙනහිර ඇතැම් ප්‍රදේශ වල සැගවී කොටි ක්‍රියාකාරකම් සිදුවිය. මා ආහාරගත් හෝටලය අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධාන වල ස්වේච්ඡා ‍සේවකයින් යැයි කියාගත් විදේශිකයින් ආහාර ගැනීමට නිතර ආ ගිය තැනකි. මා සිටි ස්ථානයට යාබදව ආහාර ගනිමින් සිටි විදේශික කණ්ඩායමක කථා බහ මගේ කනට අහම්බයෙන් වැටුණි. එහි වූ විදේශීකයින් පැමිණියේ ජාත්‍යන්තර රතු කුරුස සංගමයට අයත් ඩිෆෙන්ඩර් රථයකිනි. එහි සිටි එක් අයෙක් ඉංග්‍රීසි බසින් පැවසූයේ අපේ ඇමති මණ්ඩලයේ කෙතරම් ඇමතිවරුන් සිටිත් ද යත් බයිසිකල් වලටත් මෝටර් රථ වලටත් වෙනවෙනම ඇමතිවරු සිටින බවයි. ඔවුන් අවඥාවෙන් අපේ රට ගැන කථා කරද්දී මම මැඩගත් කෝපයෙන් සිටියේ වෙන කළ හැකි කිසිවක් නොවූ නිසාය.
පසුගිය කාලයේ ඉතා අකාර්යක්ෂම ඇමති වරුන් ලෙස ක්‍රියා කලත් පූර්ව ජන්මයකදී කළ යම් කුසල කර්මයක මහිමයක් ලෙස මෙවරද පාර්ලිමෙන්තුවට පිවිස සිටින ඇතැම් වැඩ බැරිදාසලා මෙවර නම් ඉවත් කළ යුතුමය. එසේ නොවන්නේ නම් ලැබූ ජය ඉතා ඉක්මනින්ම ආණ්ඩුවෙන් ගිලිහී යනු ඇත.
නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීමෙන් පසු පත් වන ආණ්ඩුවට තවත් බොහෝදේ කිරීමට ඉතිරිව ඇති බව එම ඇමතිවරුන් නිතර මෙනෙහි කළ යුතුය. අපි වසර 30 ක බිහිසුණු යුද්ධයකින් ඇති තරම් බැට කෑවෙමු. ඒ නිසාම ද්‍රවිඩ හා මුස්ලිම් ජනතාවටත් නැගෙනහිර ඌව උතුරු මැද සහ උතුරු පළාත් වලත් සිංහල ජනයාටත් සිදුවූ හානිය ඉමහත්ය. ඔවුහු යුද්ධයේ කුරිරු ප්‍රහාර වලට ලක්ව ලැබූ දරුණු තුවාල වලට ලක්ව සිටිති. ඔවුන් සිටින තත්ත්වය තේරුම් ගැනීමට නම් ඔවුන් අතර ජීවත් ව සිටිය යුතුය. යුද්ධයට පෙර ඔවුන් තුළ වූ බොහෝ සාරධර්ම ඔවුන් ලැබූ කටුක අත්දැකීම් සමග විනාශව යමින් ඇත. මෙම තත්ත්වය වෛරය සහ පළිගැනීම යන භයානක විෂ බීජ වලට සාරවත් කෙත් වතුය. මෙවර මහ මැතිවරණයට පෙර නැගෙනහිර පළාතේ සිංහල බහුතරයක් වෙසෙන ප්‍රදේශ වල අලවා තිබූ පෝස්ටරයකින් කියැවුනේ සිංහල කෙනෙක් පාර්ලිමෙන්තුවට යවා ගැනීමට ඡන්දය භාවිතා කරන ලෙසයි. මෙය තවත් ජාතිවාදී පෙළගැස්මක මූලික අංකුරදැයි මට සිතේ. නව රජය මෙම නව ප්‍රවණතා ගැන වහා අවධානය යොමු කළයුතුය.


රට සීග්‍ර සංවර්ධනයක් කරා මෙහෙයවීම මීළග අවශ්‍යතාවයයි. ඒ සඳහා අවශ්‍යයෙන්ම කළ යුතු කාර්යයන් වන්නේ රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමත් ඉහළම තනතුරෙන් පටන්ගෙන පහළට පැතිරී ඇති දූෂණ හා නාස්ති අවම කිරීමත්ය.


අවසන් වශයෙන් ඇල්ලේ ගුණවංශ හිමි යුද්ධය අවසාන වූ වහා කී යමක් ලියා තබමි. උන් වහන්සේ එක්තරා රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට සහභාගී වෙමින් වදාළේ රට ගොඩ නැගීම ගැන ජනාධිපතිතුමාගේ කැපවීම කෙරෙහි තමන් වහන්සේට කිසිදු සැකයක් නොවූවත් ඔහුගේ ගෝල බාලයින් ගැන තමන්ට කිසිම පැහැදීමක් නැති බවයි.



මහින්ද රාජපක්ෂ මහතා තම මීළග කැබිනට්ටුව තෝරන විට ඇල්ලේ ගුණවංශ ස්වාමීන්වහන්සේ සඳහන් කළ කරුනත් සැලකිල්ලට ගන්නේ නම් ලංකා ඉතිහාසයේ මහා මහින්ද ලෙස ඔහු ඉතිහාසගතවීම කිසිවෙකුටත් වැලැක්විය නොහැක...

Tuesday, March 16, 2010

අප නියෝජනය කළ යුත්තේ කවුද?

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මීලඟ පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයින් පත් කරගැනීම සඳහා දැන් අපට කාලය එළඹී ඇත. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි මෙවරද මැතිවරණය සමානුපාතික නියෝජන ක්‍රමය අනුවම සිදුවනු ඇත.
පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව අ‍ප නියෝජනය කරනු පිණිස නියෝජිතයින් පත් කරගන්නා මෙම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් අරුත් ගැන්වීමට නම් ඡන්ද දායකයා වඩාත් බුද්ධිමත්ව සිය ඡන්දය පාවිච්චි කළ යුතුය. එසේ නොකිරීම නිසා අපට සිදුවූ විනාශයේ තරම පසුගිය වසර 60 කට ආසන්න කාලය තුළ අපි මොනවට අත් වින් දෙමු.
පාර්ලිමේන්තුව විසිරුවා හරින ලද දිනයේ සිටම නාම යෝජනා ලබාගැනීමේ පොරයක් සහ විවිධ පක්ෂ සන්ධාන ඇති කරගැනීමේ උනන්දුවක් දක්නට ලැබිණි. බොහෝ දේශපාලනඥයින්ගේ හැසිරීමෙන් පසුගිය කාලයේ අපට පැහැදිළිවූ කරුණ නම් ඔවුන් ජනතා සේවයට කෙසේ වෙතත් ස්වයං සේවාව ගැන උනන්දු වන බවයි. මෙම කරුණ බොහෝ දේශපාලනඥයින් හට සත්‍ය වුවද ඒ අතර ජනතා සේවයට කැපවූ කිහිප දෙනෙක් හෝ සිටින බව සඳහන් ‍‍නොකළ‍‍‍‍හොත් එය අවංකව ‍‍‍දේශපාලනයේ යෙදෙන කිහිප දෙනාට කරන අගෞරවයකි.
අපේ රටේ ක්‍රියාත්මක වන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ශ්‍රී ලාංකික ඉතිහාසය විසින් පරිණාමය වූ එකක් නොවේ. එය අපට නිදහස ලබා දීම යනුවෙන් බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දුන් එක්තරා සිද්ධි දාමයක ප්‍රතිඵලයකි. මෙම තත්ත්වය ලංකාවේ පමණක් නොව යටත් විජිත හාම්පුතුන්ගේ නාමික නිදහස ලැබූ බොහෝ රටවල දක්නය ලැබෙන තත්ත්වයකි. මේ නිසා පාර්ලිමේන්තු නියෝජිතයා සහ මහ ජනයා අතර පරතරයක් ඇතිවී තිබේ. 1978 ව්‍යවස්ථාව මගින් හඳුන්වාදුන් සමානුපාතික නියෝජන ක්‍රමය නිසා මෙම පරතරය තවදුරටත් වැඩිවී ඇති බව පෙනෙන්නට තිබේ.
අපව නියෝජනය කරනු පිණිස රටේ උත්තරීතර ව්‍යවස්ථාදායකය වෙත තෝරා පත් කර ගන්නේ කුමන ආකාරයේ පුද්ගලයෙක්ද යන්න ඉතා බුද්ධිමත්ව ගතයුතු තීරණයකි.
පසුගිය පාර්ලිමේන්තුවේ සිදුවූ සිදුවීම් ගැන නැවත ආවර්ජනය කරද්දී අප ඇත්තෙන්ම නිවැරදි පුද්ගලයින් තෝරා පත් කරගත්තා දැයි නැවත සිතා බැලිය යුතුය. පසුගිය දිනෙක රූපවාහිනී නාලිකාවකට අදහස් දැක්වූ එක්තරා පුද්ගලයෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ව තදින් විවේචනය කරනු අසා සිටි මට සිතුනේ එම මන්ත්‍රී වරුන් පත් කොට ඇත්තේද අපම නොවේදැයි කියාය. පොරොන්දු මලු රැගෙන එන දේශපාලනඥයින් සහ පක්ෂ ප්‍රතික්ෂේප කිරීමට දැන් කාලය එළඹ තිබේ.
පසුගිය සමය පුරාම අපි රැකියාවක් ලබා ගැනීමටත්, පරිප්පු සීනි ආදිය ලාභයට ගැනීමටත් ඡන්දය පාවිච්චි කළෙමු. මා නම් සිතන්නේ අපේ දේශපාලනඥයින්ව නරක් කරන්නේ අපමය. රැකියාවක් ලබාගැනීමය හෝ විරුද්ධවාදියෙකුගෙන් පළිගැනීමට හෝ පළාතේ මන්ත්‍රීවරයා ලඟට යන්නේ අපමය. මන්ත්‍රීවරයා දුටු වහාම නැගී සිට බිය පක්ෂ පාතී භාවය පෙන්වීමෙන් ඔහුට නැති බලයක් ලබාදෙන්නේත් අපම නොවේද? මේ මැතිවර‍ණ සමයේදී ඔවුන් සැම ඔබ දුටුවිට නැගී සිට ඔබේ මනාපය දිනාගැනිමට කටයුතු කරන අතර මැතිවරණය නිමවූ වහාම ඔබ ඔවුන් ඉදිරියේ දනින් වැටෙන්නේ නැත්ද?

ඡන්දය පාවිච්චි කිරීමට පෙර ඔබ නුවණින් සිතා බැලිය යුතු වැදගත් දේ බොහෝය

ඔබ ඡන්දය දෙන තැනැත්තා/තැනැත්තිය දිගටම ඔබේ මැතිවරණ කොට්ඨාසයේ රැඳී සිටීවිද?

ඔහු /ඇය පසුගිය වතාවේ දුන් ‍පොරොන්දු ඉටු කොට තිබේද?

ඔහු/ ඇය ස්වකීය ප්‍රතිපත්ති අවංකව ඉදිරිපත් කරන්නේද?

රටේ සුභ සිද්ධිය උදෙසා ඔහු/ ඇය සිදුකොට ඇති කාර්ය භාරය කුමක්ද?

ඔහු/ ඇය පිළිබඳ දූෂණ හෝ අපරාධ චෝදනා පසුගිය පාර්ලිමේන්තුවේ තිබු‍නේද?

පසුගිය පාර්ලිමේන්තුවේ දී ඔහු /ඇය එක් වරක් වත් කථා කොට ඇත්ද?

ඔහු/ ඇය පාර්ලිමේන්තුව තුළ ඔහුගේත් ඔහුව පත්කර එවූ ජනතාවගේත් පාර්ලිමේන්තුව නම්වූ උත්තරීතර ආයතනයේත් ගෞරවය ආරක්ෂා වන පරිදි හැසිරුණෙද? කථා කළේද?

ඔහු/ ඇය තමන් දැරූ තනතුරු නිසා බැබළුණේ ද? නැතිනම් තමන් නිසා එම තනතුර බැබළුවේද?

රට වෙනුවෙන් සහ ජනතාව වෙනුවෙන් ඔහු/ ඇය ඉටු කර ඇති මෙහෙය කුමක් ද?

ඔහු/ ඇය රටට සහ ඔබේ ප්‍රදේශයට සේවයක් කිරීමට දක්ෂතා ඇත්තෙක් ද?

ඔහු/ ඇයට ආධාරකරන පුද්ගලයින් සමාජයට වැඩ දායී පුද්ගලයන් ද?

ඡන්ද පොළට ‍ගොස් ඡන්දය ලකුණු කරන විට මේ සියළු දේ ගැන අපි සැලකිලිමත් විය යුත්තෙමු. මන්ද අප සලකුණු කරන කතිරය අපේ මාතෘභූමියේ අනාගතය තීරණය කරන තීරණය වන බැවිනි.

Tuesday, February 16, 2010

ප්‍රිය වදනින් ලිපි ලියමුද?

සිංහලෙන් අන්තර්ජාලය තුළ කටයුතු කළ හැකි වීම ඇත්තෙන්ම සතුටට කරුණකි. එක්තරා යුගයක මියෙමින් පවතින භාෂාවක් ලෙස අපේම අය හැඳින්වූ අපේ මවු බසින් යමක් ලියා තිබෙනු දැකීම නෙතට මිහිරි දසුනකි. සිංහලෙන් ලිවීමට යුනිකෝඩ් සෑදීමේදිත් ඒවා නැවත නැවත සැකසීමේදීත් අපමණ වෙහෙසක් දැරූ සියල්ලන්ටම ජාතියේ උපහාර හිමිවිය යුතුමය.
අන්තර්ජාලය වේගයෙන් ගම් දනව් සිසාරා පැතිර යද්දී ඈත ගම් වල දරුවන් හා වැඩිහිටියන් ද මේ අළුත් සයිබර් සංස්කෘතිය තුළ වඩ වඩාත් යහපත් ප්‍රතිඵල ලැබීම එසේ වෙහෙසුනු බොහෝ සත්පුරුෂයන් ගේ සද් කාර්යය වඩා අරුත් ගන්වනු ඇත.
සිංහලෙන් ලියැවී ඇති වෙබ් පිටු, බ්ලොග් කිහිපයක් කියවා මටත් එවැනි යමක් ලිවීමට ඇත් නම් කෙතරම් අගනේදැයි සිතුණි.
නමුත් පසුගිය දිනවල අන්තර්ජාලය තුළ සැරිසැරීමේදී මා දුටු යමක් උදහස් නොවූ අදහස් හි මුලින්ම ලිවිය යුතුයැයි සිතුවෙමි. මම සිංහල භාෂාවේ කෙළ පැමිණියෙකු නොවෙමි. එයට හේතුව අ.පො.ස (සා/පෙ) න් පසුව විධිමත් සිංහල උගැන්මක් කලා අංශයේ හැර අනෙකුත් අංශ වල සිසුන්ට නොලැබීමය. එසේ වුවත් මම මගේ මවු බසට බෙහෙවින් පෙම් කරමි. ඒනිසා මවු බස යොදා පළ වන වෙබ් ලිපි සහ ඒවාට ලැබෙන ප්‍රතිචාර ගැන යමක් ලියන්නට උත්සාහ කිරීමට මට සිතිනි.
මේ වසර පටන් ගත්තේ මැතිවරණ උණුසුමත් සමගය. අපේ රටේ ජනයා දේශපාලනය හා දේශපාලනඥයින් ගැන බෙහෙවින් සංවේදී පිරිසක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. දේශපාලන උණුසුම මෙවර අන් කවරදාටත් වඩා අන්තර්ජාලයටද දැනී තිබූ බව පැහිදිළිය. ඒ ඒ අපේක්ෂකයන්ගේ ආධාරකරුවන් අන්තර්ජාලය ඔස්සේ සිය අපේක්ෂකයාගේ ගුණත් ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයාගේ නුගුණත් ඇති තරම් ප්‍රචාරය කරණු දැකිය හැකිවිය. ඒ අතර ඔවුනොවුන් වෙත (අධාරකරුවන් අතර) ආවේගශීලීව අදහස් පළ කරණුද දැකිය හැකිවිය. මේවා කියවීමෙන් මම දැඩි සංවේගයට පත්වූයෙමි.
නිදහසින් පසුව අපේ ජාතියට (ලාංකික) සිදු කරන ලද දරුණුම අපරාධය නම් රටට පෙර තමාටත් තමාගේ දේශපාලන පක්ෂයටත් ආදරය කිරීමට අපේ මිනිසුන් පුරුදු කිරීමය. මේ අපරාධයට සියළුම දේශපාලන පක්ෂ වම දකුණ වශයෙන් හෝ උතුරු දකුණු වශයෙන් හෝ නොව සාමූහික වශයෙන් වගකිව යුතුය. ස්වකීය අපේක්ෂකයා වෙනුවෙන් ඔනෑම පහත් වචනයක් පාවිච්චි කොට අනෙකාට බැණ වැදීමට අන්තර්ජාලයේදීද අප පසුබට නොවූ බව ලියන්නේ ඉතා කණගාටුවෙනි. එහිදී පාවිච්චි කර තිබූ ඇතැම් වචන ලේඛනගත නොකළ යුතු කරම් පහත් ඒවා විය. පාඨකයා තුළ කෝපයත් වෛරයත් ඇති වන රළු පරළු වදන් වලින් එකිනෙකාට බැණ ගැනීමට නම් අප බ්ලොග් ලිවිය යුතු නැත.
ලේඛකයා යනු ස්වකීය මතය ශාස්ත්‍රීය ලෙස ඉදිරිපත් කරන්නාය. මා සතුව පරිගණකයක් සහ අන්තර්ජාල සබඳතාවය තිබූ පමණින්ම සිතට එන සියල්ල ලියාගෙන ලියාගෙන යාම එතරම් සුදුසු දෙයක් නොවන බව මගේ හැඟීමයි. ඔබට ඔබගේ දේශපාලන මතය දැරීමට අයිතියක් ඇත්තාක් මෙන්ම ඔබේ විරුද්ධවාදියාටද එම අයිතියම ඇති බව තේරුම් ගන්නේ නම් විරුද්ධ මත කියැවීමේදී කෝපයට පත්වී වෛරී භාෂාවකින් ලිවීම නතර කිරීමට ඔබට පහසුවනු ඇත.
මේ ලිපියේ අරමුණ දේශපාලන කරුණු සාකච්ඡා කිරීම නොවූවත් අන්තර්ජාලයේදී මා දුටු ඇතැම් දේ යන්තමින් හෝ සඳහන් කළ යුතුමය.
ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වූ ජනරාල් සරත් ‍‍ෆොන්සේකා මහතාටත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටත් පක්ෂව ඒඒ ආධාර කරුවන් තම අදහස් විවිධ වෙබ් අඩවි සහ බ්ලොග් වල ලියා තිබුනි. මෙහිදී තම අපේක්ෂකයාට විරුද්ධව ලියා තිබූ දේවලට තර්කානුකූලව පිළිතුරු දීම පසෙක තබා ඒ ඒ ලිපි ලියූ තැනැත්තා ෆොන්සේකා මහතාගේ හෝ රාජපක්ෂ මහතාගේ ???? ලෙවකන්නන් හෝ ඊට වඩා දරුණු දේ ද ප්‍රතිචාර ලෙස ලියා තිබෙන ආකාරය බහුල දර්ශනයක් විය. එවැනිදේ පුවත්පත් වල පල නොවන්නේ පුවත්පත් කර්තෘතුමන්ලා එවැනි දේට ඉඩ නොතබන නිසාය. නමුත් අන්තර්ජාලයේදී කර්තෘවරුන්ද අපම වන නිසා අපට ඕනෑදෙයක් පළ කළ හැකියැයි සිතීම වැරදි දෙයකි.
අපේ භාෂාව ලෝකයේ ඇති ඉතා විශිෂ්ඨ ගණයේ එකකි. ඒ ගැන අපි ආඩම්බර වියයුත්තෙමු. ඕනෑම කෙනෙකුගේ ඇසට සහ සිතට ප්‍රිය උපදවන ලෙස යමක් ලිවීමට ඕනෑ තරම් වචන වලින් එය පොහොසත්ය. ඉදින් අපගේ අරමුණ විය යුත්තේ අන්‍යයන්ට බැණ ‍නොවැදි නමුත් ඔවුන් සාධාරණ ලෙස විවේචනය කරන සයිබර් සංස්කෘතියක් නොවන්නේද? ඉදින් අපි අදහස් පළ කරමු, වාද විවාද කරමු, සයිබර් අවකාශයේදී ග්‍රාම්‍ය අසැබි බස් නොලියා සාරවත් විවාද තුළින් එකිනෙකාට ගරු කරන අන්‍ය මත ඉවසන වඩාත් දියුණු සංස්කෘතියක් නිර්මාණය කරමු...