Tuesday, April 20, 2010

හොඳින් නරක කිරීම සහ නරකින් හොඳ කිරීම

ගරු හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ලංකාවේ ‍බොහෝ කථා බහට ලක්වූ ආන්දෝලනාත්මක චරිතයකි. ඔහු ගැන විශේෂයෙන් ලිවීමට සිත්වූයේ පුවත්පත් සිරස්තල වැඩසටහනකින් කියැවුනු අපූරු පුවතක් කන වැටීම නිසාය.
මර්වින් සිල්වා ගරු මන්ත්‍රීතුමාගේ නියෝගයක් පරිදි කැළණිය ආසනයේ සියළු සුරා සැල් ( අවසර ලත් ඒවාද ඇතුළුව) වසා දමන්නට සිදු වී ඇතැයි යන ප්‍රවෘත්තිය සමග ඒ ගැන අදහස් පළ කල "නීත්‍යානුකූල" සුරාසැල් හිමියන් පවසා ඇත්තේ බලපෑම් නිසා තමන්ට සුරා සැල් වසා දමන්නට සිදුවී ඇති බවයි. මෙය වාර්තා කළ ජනමාධ්‍ය ද අහිංසක සුරාසැල්හිමියන් මර්වින් සිල්වා මන්ත්‍රීතුමාගේ "හිතුවක්කාරී අණට" යටත් වී ඇති බවක් වාර්තා කොට තිබේ.
සුරා සැල් නීතිගත කොට අරක්කු වෙළඳා‍ම ආදායම් මාර්ගයක් බවට පත් කරන ලද්දේ බ්‍රිතාන්‍ය ජාතිකයින් විසිනි. සුරාව පිළිකුල් කළ සිංහලයා සුරා සොඬෙකු බවට පත්කිරීම, දිනා ගැනීමට අපහසු උඩරට රාජ්‍යය ඉංග්‍රීසීන් වෙතමැ රඳවා ගැනීමේ ඩොයිලි ගේ උපායේ ප්‍රධාන කොටසකි. ඒ නයින් බලන කල මත්පැන් විකුණන සුරාසැල් සඳහා බලපත් දීම නැවැත්වීම මහින්ද රාජපක්ෂ මහතා ගන්නා ලද ඉතා සාධනීය පියවරෙකි. ඇත්තෙන්ම දැන් කළයුත්තේ දැනට විවෘතව තිබෙන සුරා සැල් වසා දැමීමය. නමුත් සෑමවිටම සිදුවන පරිදි මර්වින් සිල්වා ගරු මන්ත්‍රීතුමා ඉක්මන් වී ඇති බවක් පෙනේ. මම මාතෘකාව ලෙස ඉහත වාක්‍යය යෙදුවේ එනිසාය.
දැන් අපි මාතෘකාවට බසිමු. අපේ රටේ ජාතික සෞඛ්‍ය වැය ශීර්ෂයෙන් ඉතා විශාල මුදලක් වෙන් වන්නේ මධ්‍යසාර භාවිතය නිසා ඇති වන රෝග සඳහා ප්‍රතිකාර කිරීමටත් මත්පැන් පානය කොට සිදු කරගන්නා රිය අනතුරු සහ ගැටුම් වලට මැදිවන්නන්ට ප්‍රතිකාර කිරීමටත්ය. නමුත් ශ්‍රී ලංකාවේ අයවැය සකස් කිරීමේ දී රජයට ආදායම් ලැබෙන ප්‍රධාන මාර්ගයක් වන්නේ ද මධ්‍යසාර සහ දුම්වැටි මත පනවනු ලබන බදුය. ඉදින් ශ්‍රී ලංකාවේ මත්පැන් පෙරීම සහ ඉස්කාගාර පවත්වාගෙන යාම නීත්‍යානුකූලවේ. නීති විරෝධී වන්නේ ඒවා රජයට හොරෙන් බලපත්‍ර නොගෙන මත්පැන් පෙරුවහොත් පමණි.ඒ අපේ රටේ හොඳින් සිදුවන නරක ක්‍රියා සඳහා හොඳම උදාහරණයකි.

ඔබ නැසීගිය මහාචාර්ය නන්දසේන රත්නපාලයන් ලියූ ශ්‍රී ලංකාවේ ගණිකාවෝ නම් කෘතිය කියවා ඇත්නම් ඔබට තවත් උදාහරණයක් එයින් කියවා ගත හැක. ශ්‍රී ලංකාවේ නීතියෙනුත් සංස්කෘතියෙනුත් ගණිකා වෘත්තිය හෝ ගණිකාවන් වෙත යාම හෝ අනුමත නොකරයි. සාමාන්‍ය බසින් කිවහොත් එය නරක වැඩකි. නමුත් ඉතා ඉහල පෙළේ හෝටල් වල සිට මහමග දක්වා ඕනෑම ස්ථානයකදී ඔබට ගණිකාවක සොයාගැනීම අසීරු නොවනු ඇත. ඉතා සංවිධානාත්මකව හොඳින් සිදුවන තවත් නරක වැඩකි ගණිකා වෘත්තිය.

අල්ලස් ගැනීම මෙන්ම දීම ද අපේ රටේ නීති විරෝධී ක්‍රියවකි. නමුත් රැකියාවක් ලබාගැනීමේ සිට මරණ සහතිකයක් ලබාගැනීම හෝ රෝහලේ දී මියගිය සිය ඥාතියාගේ මළ සිරුර ලබා ගැනීම දක්වාම අල්ලස් දීමට සිදුවන සහ සිය කාර්යය ඉක්මනින් ඉටු කරවා ගැනීම සඳහා අල්ලස් දීමට කැමැත්තෙන්ම ඉදිරිපත්වන අවස්ථා කීයක් නම් දිනකට සිදුවනු ඇතිද? එයත් හොඳින් සිදුවන නරක ක්‍රියාවකි.

අසත්‍ය ප්‍රකාශ කිරීම ඉතා නරක වැඩකි. ඒ ගැන කිසිවෙකුත් මා සමග උරණ නොවනු ඇත. නමුත් කුඩා දරුවකු රවටා බත් කටක් කැවීමේ තැන සිට ඔහු පාසැලට ඇතුළු කිරීම දක්වාත්, ග්‍රාමෝදය මණ්ඩලයක සභාපති ධූරයේ සිට පාර්ලිමේන්තුවට මන්ත්‍රී වරුන් පත් කර ගැනීම දක්වාත් අසත්‍ය ඉතා ශූර ලෙස යොදා නොගැනෙන්නේද? ඒ හොඳින් කරන තවත් නරක වැඩකි. ඒ ගැන ප්‍රශ්ණ කළ හොත් අසත්‍ය ප්‍රකාශ කරන්නා නොයෙකුත් හේතු කියමින් සිය ක්‍රියාව සාධාරණීකරණය කරනු ඇත.

සොරකම් කිරීම තවත් එවැනි ඉතා නරක දෙයකි. නමුත් අපටත් හොරා අපේ බොහෝ දේ සොරකම් කරගත් බටහිරයෝ ඒවා එසේ කළේ ‍හොඳ චේතනාවෙන් යැයි කියති. ඒ සඳහා හොඳම උදාහරණය පසුගියදා පුවත් පත් වල පල විය. ඊජිප්තුවෙන් සොරාගෙන (විද්‍යාත්මක පර්යේෂණ මුවාවෙන්) ගිය පුරා වස්තු සමූහයක් නැවත ලබා දීම ප්‍රතික්ෂේප කළ ජර්මනිය කීවේ තමන් ඒවා ලබාගත්තේ නීත්‍යානුකූලව යැයි කියාය!

හොඳ දේවල් කරන ජනතාව පිළිගත් ක්‍රම වේද තිබේ. ශිෂ්ඨ ලෝකයා අනුමත කරන්නේ එවැනි ක්‍රම අනුව සිදු කරන ක්‍රියා පමණි. මෙහිදී ශිෂ්ඨ ලෝකයා ලෙස මා හැඳින්වූයේ සාමාන්‍ය සිවිල් සමාජයයි.

සොරෙකු සොරකම් කරද්දීම අල්ලා ගත් විට ඔහු පොලිසියට භාර දීම හොඳ වැඩකි. නමුත් එසේ භාරදීමට පෙර සොරාට බඩකට පුරා හොඳ හැටි ගුටිබැට දීම හැඳින්විය යුත්තේ නරකලෙස සිදු කළ හොඳ වැඩක් බවයි.

මර්වින් සිල්වා ගරු මන්ත්‍රීතුමාගේ ක්‍රියාව ද මා හඳුන්වන්නේ හොඳ වැඩක් නරක ක්‍රමයකට කිරීමක් ලෙසයි. අපේ රටේ මිනිසුන් රෝගීන් බවට පත් කරන, අපේ පවුල් සංස්ථාව කඩා බිඳ දමන "මත්පැන්" හෙවත් මධ්‍යසාර ලංකාවෙන් තුරන් කළ යුතුය. නමුත් ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කළයුතුය. ඒ සඳහා මත්පැන් හල් හිමියන්ට තර්ජනාංගුලිය එසවීමට වඩා කළයුතුව ඇත්තේ පාර්ලිමේන්තු පනතකින් සියළුම ආකාරයේ මධ්‍යසාර විකිණීම තහනම් කිරීමයි . මත්පැන් ප්‍රශ්නයක්ව ඇත්තේ කැළණිය මැතිවරණ බලප්‍රදේශයේ පමණක් නොවේ. එට රටටම පිළිලයකි. එනිසා එය ශ්‍රී ලංකා භූමි තලයෙන්ම තුරන් කළ යුතුය. ඒ සඳහා කළ හැකි හොඳම දේ හොඳම පිළිවෙලින් කිරීම රටටත් ආණ්ඩුවටත් මර්වින් සිල්වා මහතා වැනි අනෙකුත් සෑම ගරු මන්ත්‍රී තුමෙකුටම ආශිර්වාදයක් වනු ඇත. එසේ නැතිව ‍හොඳදේ නරකින් කිරීමට යාම ඉක්මනින්ම ලබා ඇති ජනප්‍රසාදය නැති කරගැනීමට හේතුවක් වීම වැළැක්විය නොහැක....




4 comments:

  1. ප්‍රිය උපදවන අාකාරයට කර අැති ඉදිරිපත් කිරීම හරිම ලස්සනයි.

    ReplyDelete
  2. ඇත්තටම මර්වින් මන්ත්‍රීවරයාගේ ක්‍රීයාවත් ඔබගේ ලිපියත් ඉතාමත් වටින බව කියන්නට කැමතියි.

    ReplyDelete
  3. මැරවින් ගේ මේ වැඩ හරි යැයි සිතනවනම් JVP විසින් 88-89 ගෙනගිය පාලනයත් හරි යයි යමෙකුට තර්ක කල හැක... රටක් වශයෙන් කල යුතු දෙවල් මැර බලයෙන් කරන්නට යාම නීතිය නොසලකා හරීමකි... මෙවැනි දේ තමන්ට පෞද්ගලිකව බලපාන්නට පෙර වැරදි බව තේරුම් ගැනීම අප කාගේත් හිත සුව පිනිසම වනු ඇත....

    ReplyDelete
  4. ඇත්තන්ම රසික මම ඔබ සමග එකඟයි. මර්වින් සිල්වා ඇමතිවරයා ගේ ක්‍රියාව අනුමත කිරීම මගේ අරමුණ නොවේ. යමෙක් එය අනුමත කරන්නේ නම් ඔබ කී පරිදිම ජවිපෙ සිදුකළ ක්‍රියාවනුත් අනුමත කළයුතුයි. මා අදහස් කළේ ඔහුට ඇත්තන්ම එවැනි සද් ක්‍රියාවක යෙදෙන්නට අවශ්‍ය නම් එය කළ හැකි නීත්‍යානුකූල ක්‍රමයක් ද තිබෙන බවයි. අපි දැන් සමාජයක් ලෙස ප්‍රචණ්ඩත්වයෙන් ඉවත් විය යුතුයි!

    ReplyDelete