Wednesday, October 12, 2011

වහා අවසන් කළ යුතු ප්‍රචණ්ඩ සංස්කෘතිය..


ප්‍රචණ්ඩත්වය අපේ පරම්පරාවේ කිසිවෙකුටත් අළුත් අත්දැකීමක් නොවේ. ශ්‍රී ලංකා ඉතිහාසයේ නිදහසින් පසු බිහි වූ සෑම රජයක්ම ප්‍රචණ්ඩත්වය අඩු වැඩි වශයෙන් භාවිතා කළ බව නොරහසකි. එපමණක් නොව ප්‍රචණ්ඩත්වය සාමාන්‍ය කරණය කිරීමටත්, එය විඳ දරාගෙනම ජීවත් වීමටත් සාමාන්‍ය ජනයාට බල කෙරෙන සමාජ දේශපාලන වාතාවරණයක් දීර්ඝ කාලයක් මුළුල්ලේ අත් විඳීමටත් තරම් අපි අවාසනාවන්ත වීමු. එකිනෙකා කෙරෙහි කිසිදු ගරුත්වයක් නැති මුග්ධ ජන කොට්ඨාසයක් බවට අපව ක්‍රමයෙන් පත් කර ඇත්තේ මේ දීර්ඝ කාලීන ප්‍රචණ්ඩත්වයයි.
ප්‍රචණ්ඩත්වය කාට එරෙහිව යොදා ගත්තද එය වැරදි පූර්වාදර්ශයකි. වඩාත් ඈත අතීතයට නොගොස් 70 දශකයෙන් මෙපිට ගැන පමණක් කථා කළත් ප්‍රචණ්ඩත්වයෙන් තොර දිනක් සොයා ගැනීම කිසිවෙකු නොමළ ගෙයකින් අබ මිටක් සොයා ගන්නාක් වැනි දුර්ලභ ක්‍රියාවකි. ජාතියක් වශයෙන් අප විසින් සිදු කළ නොසලකා හැරීම්, සමාව දීම්, සාධාරණීකරණය කිරීම් නිසා කෙමෙන් වැඩුනු ප්‍රචණ්ඩ සංස්කෘතිය දැන් ඇත්තේ සමාජයේ ඉහල ස්ථරයන් රිදවන මට්ටමේය. මෙයට මීට වඩා වර්ධනය විය හැක්කේ මට පෙනෙන හැටියට නම් රටේ නායකත්වයට එරෙහිව පමණි.
1970 වන විට පීඩනයට පත්ව සිටි උගත් ගැමි තරුණයන් සහ ගොවීන් ඇතුළු පීඩිත පන්තියේ කැකෑරෙමින් තිබූ ප්‍රශ්න සිය වාසියට හරවා ගත් ජනතා විමුක්ති පෙරමුණ මෑත ඉතිහාසයේ සමාජ හෘද සාක්ෂිය දැඩිව කම්පනයට පත් කළ ප්‍රචණ්ඩ දේශපාලන රැල්ලක් ආරම්භ කළ විට එවක රජය කළේ ඊට කිසිසේත් නොදෙවෙනි වන සේ එම ප්‍රචණ්ඩත්වය සමාජයට මුදා හැරීමයි. සමාජයේ කාලයක් තිස්සේ නොසලකා හරිමින් තිබූ ප්‍රශ්න ඔඩු දුවන ලද පිළිකාවක් බවට පත් වන තෙක් බලා සිටීම නිසාම මීලඟ ප්‍රචණ්ඩ කැරැල්ල ආරම්භ වූයේ උතුරු නැගෙනහිර දමිළ ජනයා අතරිනි. 71 කැරැල්ලේ දී එයට එක්වූවන්ට එරෙහිව මුදා හරින ලද ප්‍රචණ්ඩත්වය ඊය වඩා සිය දහස් ගුණයකින් වැඩි කොට දමිළ බෙදුම්වාදය විසින් සහ එයට එරෙහිව මුදා හරින ලදි. මේ ප්‍රචණ්ඩත්වය නිමවීමට වසර 30ක්ම ගත වෙත්දී ඒ හා සමාන තවත් ප්‍රචණ්ඩත්වයක් විවෘත ආර්ථිකයත් සමගම 1977 සිට සමාජය වෙළා ගෙන තිබේ.
71 කැරැල්ල ඇතිවෙද්දී කැරැල්ලට සහාය දුන් පිරිස් තමන් මුහුණ පා සිටින දුක්ඛිත තත්ත්වය හා අපේක්ෂා භංගත්වය ගැන හද සසළ වන සුළු කතාන්තර කියමින් ප්‍රචණ්ඩ දේශපාලන ගමන සාධාරණය කරන අතර තුරේ 2/3 ක බලයක් ඇති ආණ්ඩුවකට එරෙහිව කොල්ලන් කිහිප දෙනෙක් විසින් කළ නොපනත් කමට දඬුවම් දීම සාධාරණ යැයි කියමින් කැරැල්ලට එරෙහි ප්‍රචණ්ඩත්වය ද සාධාරණී කරණය කරනු ලැබිණ. 88-89 යුගයේ වූයේද මේ ටිකමය. 1970 දශකයේ අග භාගයේ සිට එල්.ටී.ටී.ඊ ය විසින් සිදු කළ ප්‍රචණ්ඩ ක්‍රියා දමිළ ජන සමාජය සහ ඇතැම් දකුණේ කොටස් සාධාරණීකරණය කළේ දමිළ ජනයාගේ සාධාරණ අයිතීන් ගැන සිංහල බහුතරයක් ඇති රජයන් නොසලකා හැර ඇති බව කියමිනි. 1983 දී කොළඹ සහ තවත් නගර කිහිපයක වූ ලජ්ජා සහගත ජාතිමාමකප්‍රචණ්ඩ ක්‍රියා සාධාරණී කරණය කරන ලද්දේ මිය ගිය හමුදා සෙබළුන්ටද නිග්‍රහ කරමිනි. 2009 දී යුද්ධය අවසන් වූයේ සාමයෙන් නොව යුද්ධයෙනි. යුද්ධයම ප්‍රචණඩත්වයකි. අඩු ගණනේ ඒ වන විට රට මුහුණ පා තිබූ අවදානම ගැන සලකා අපි සියල්ලෝම එම ප්‍රචණ්ඩ යුධ විසඳුම සාධාරණීකරණය කළෙමු.
1977 දී හඳුන්වා දුන් විවෘත ආර්ථිකයත් සමග එකිනෙකා මරා ගන්නා ආර්ථික යුද්ධයක් ඇති වූ බව අපි සැවොම දනිමු. මේ ආර්ථික අවස්ථා වල ඇති නීත්‍යානුකූල භාවය හෝ එයින් ඇති වන ප්‍රතිවිපාක ගැන නොසලකනු ලැබූ අතර තමතමන් ට ලැබුණු අවසථා ආරක්ෂා කර ගැනීම සඳහා එකිනෙකා පරයා ප්‍රචණ්ඩත්වය යොදා ගනු ලැබූයේ පාතාල,කප්පම් කල්ලි හරහාය. තමන්ට ලැබෙන ඡන්ද ගණන ගැන පමණක් සිතූ අවස්ථා වාදී දේශපාලඥයෝ වැඩෙමින් පවතින ප්‍රචණ්ඩත්වයට ආශිර්වාද කලහ. මේ මහා ප්‍රචණ්ඩතවය සෑම විටම පාවිච්චි කරණ ලද්දේ සමාජයේ බලයක් නැති, හඬක් නැති මිනිසුන්ට එරෙහිවය. ඒ නිසා නීතිය ආරක්ෂා කරන ඉහල නිලධාරීන්, දේශපාලනඥයන් හා ඔවුන් සමග යම් යම් සම්බන්ධ කම් පවත්වා ගැනීමට හැකියාව තිබූ සමාජයේ මධ්‍යම පන්තියට අයත් පිරිස් මේ ප්‍රචණඩත්වය දෙස බලා සිටියේ මන්දෝතසාහීවය.
මධ්‍යයම පන්තියට ඇහැරුණේ මෙම නව ප්‍රචණඩත්වය සිය නිවෙස් බලා පැමිණි පසුවයි. සමාජයේ මෙතෙක් වැදගත් තනතුරු දැරූ අධිකරණ විනිශචයකාරවරුන්, නීතීඥයන්, වෛද්‍යවරුන් ,ගුරුවරුන් වැනි විවිධ තරාතිරම් වල අයට එරෙහිව ප්‍රචණ්ඩත්වය එල්ල වන විට ඔවුන් මේ දේශපාලන රැල්ල වෙනස් කිරීම සඳහා ඉදිරිපත් වූහ. 94 දී සිදුවූයේ මෙයයි.
1994 දී මහ මැතිවරණයට ඉදිරිපත්වූ පොදු ජන එක්සත් පෙරමුණේ පොරොන්දුව වූයේ සාමය හා සමෘද්ධියයි. ජනයා රොද බැඳ ගෙන ඡන්දය පාවිච්චි කළේ සාමය හා සමෘද්ධිය වෙනුවෙනි. මෙතෙක් කල් ක්‍රියාත්මකවූ දූෂිත ක්‍රමය වෙනස් වනු ඇති බවත් සමාජය වඩාත් සාධාරණ හා ශිෂඨ සම්පන්න එකක් වනු ඇති බවත් පොදු ජනයා - විශේෂයෙන්ම මධ්‍යම පන්තිකයා විශ්වාස කළේය. නමුත් සිදු වූයේ කුමක්ද? එ.ජා.පයේ පාතාල හා කප්පම් කල්ලි වෙනුවට පොදු පෙරමුණට සම්බන්ධ පාතාල හා කප්පම් කල්ලි බිහිවීමයි. එ.ජා.ප යේ ජනාධිපතිවරණයකින් පත්වූ අවසන් ජනාධිපති වරයා වූ රණසිංහ ප්‍රේමදාස මහතාගේ පාතාල සබඳතා ගැන උදේ හවස රැස්වීම් වල කථා කළ පොදු පෙරමුණේ නායකයින් බොහෝ දෙනෙක් පාතාලය සමග සම්බන්ධතා පවත්වා ගත්තේ පවතින මැතිවරණ ක්‍රමය නිසා වෙන කරන්නට දෙයක් නැතැයි කියමිනි. වඩාත් ලජ්ජා සහගත කාරණය වන්නේ සෑම විටම මැර බලයට හා දූෂණයට එරෙහිව කථා කළ හා ඒවා නිසා වැඩියෙන්ම පීඩනයට ලක්වූ පොදු පෙරමුණේ ජනාධිපතිණිය ගේ ආරක්ෂක ඒකකයේ පාතාල සාමාජිකයින් සේවය කිරීමයි. එමෙන්ම ඇයගේ පාලන කාලය අවසන් වූ පසුව ඇයට එරෙහිව වංචා දූෂණ චෝදනා එල්ල කොට ඇය දඩයකටද යටත් කරනු ලැබුවාය.
පොදු පෙරමුණු රජය විසින් සිදු කළ යුතුව තිබූ කිසිදු ප්‍රතිසංසකරණයක් සිදු නොවීමට ප්‍රධාන හේතුවක් වූයේ රජය වෙනස් වීමත් සමග පාට මාරු කරන ලද දේශපාලනඥයන් නිසාය. එයට පෙර රජයයන් යටතේ විවිධ අපචාරයන් සම්බන්ධව හා පාතාලය සමග සබඳතා පැවැතිවීම පිළිබඳව චෝදනාවට ලක්වූ අවස්ථාවාදීන් රැසක්ම හෙමින් සීරුවේ එයට එක්වූ අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය තුළ වූ නිද්‍රාශීලී ප්‍රතිපත්තියත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලාක්ෂණිකවූ අළුත් කුණු ගොඩවල් දෝතින් බදා ගැනීමේ පුරුද්ද නිසාත් සාධාරණ අදහස් ඇති ජනයා බලාපොරොත්තුවූ දේට හාත්පසින්ම වෙනස් මගකට එම රජය යොමු විය. නිමා වේ යැයි සිතූ ප්‍රචණ්ඩ සංස්කෘතිය දළුලා වැඩෙමින් පෙර නොවූ විරූ ලෙස වර්ධනය වූ මේ අවධියේ සිදු වූ තවත් අතිශය ජුගුප්සාජනක සිදුවීමක් නම් එතෙක් මහත් ගෞරවයට හා පිළිගැනීමට ලක්ව තිබූ අධිකරණයද ප්‍රචණ්ඩත්වයේ හා දූෂිත හස්තයෙන් කිළිටි වී යාමයි. මෙතෙක් කල් මහජනයා අතර තිබූ මතය වූයේ තමන්ට යම් අසාධාරණයක් සිදු වේ නම් අධිකරණය ඉදිරියේ දී තමනට යම් සහනයක් ලැබේ ය යන්නයි. එසේ වුවද එවක රාජ්‍ය නායිකාවගේ සම්පූර්ණ ආශිර්වාදය යටතේ පත්වූ අගවිනිසුරුවරයා මෙරට ඉතිහායේ වැඩියෙන්ම චෝදනාවන්ට හා විවේචනයන්ට ලක්වූ අගවිනිසුරුවරයා බවට පත්විය. රටේ නායිකාව පමණක් නොව අධිකරණයේ නායකයාද ප්‍රචණ්ඩ කාරී දූෂිත පිරිස් වලට අනුබල දෙන තැනට වැටුණු කළ රට ගැන කුමන කථා ද?
2005 දී මහින්ද රාජපක්ෂ මහතා බලයට එන්නේ මෙවැනි පසුබිමක් රටේ තිබියදීය. ඉතා සුළු බහුතරයකින් ජනාධිපතිධූරයට පත්වූ එතුමාට තිබුණේද සුළු බහුතරයක් සහිත පාර්ලිමේන්තුවකි. මෙම කාලයේ රට මුහුණ දුන් අභියෝල හමුවේ එන ඕනෑම කෙනෙක්ගේ සහයෝගය ලබා ගැනීම පිළිබඳව අප තුළ විරුද්ධ තාවයක් නැත. නමුත් දැන් තත්ත්වය වෙනස් වී ඇත. මහින්ද රාජපක්ෂ මහතා දෙවන වර ජනාධිපති ධූරයට පත් වන්නේ ඉතා පැහැදිළි බහුතරයක් ද සමගය. දැන් පාර්ලිමේන්තුවේ පමණක් නොව පළාත් පාලන ආයතන වලද 2/3කට වැඩි බලයක් සහිත ශක්තිමත් රජයක් පවතී. ආරක්ෂාවට ගෙවල් වල සුනඛයන් ඇති කිරීම සාමාන්‍ය යෙන් කරන දෙයක් බව සැබෑය. නමුත් සුනඛයා සපා කයි නම් ඌ බැඳ තැබීම ගෙහිමියාගේ වගකීමයි. මහින්ද රාජපක්ෂ මහතාට ආරක්ෂාව සඳහා පාතාල නායකයින් හෝ චන්ඩින් අවශ්‍ය නොවේ. මේ වන විට එතුමාගේ ජනප්‍රියතාවය ඇත්තේ ඉහලම අගයකය. එසේ නම් දැන් සිදු කළ යුත්තේ පාතාලය මර්ධනය කිරීම සහ එය සමග සම්බන්ධතා ඇති පුද්ගලයින්ට දඬුවම් කිරීමය. මේ සඳහා ගත් කාලය නම් හොඳටම වැඩිය.  මා එසේ පවසන්නේ වෙන කිසිවක් නිසා නොව මේ ප්‍රචණ්ඩත්වය දැන් එයට එළඹිය හැකි උපරිමය කරා එළඹී තිබීම නිසාය.
අපි සැවොම සාමාන්‍ය ජනතාවෝ වෙමු. අපට යමක් සිදුවුව හොත් යන්නට වන්නේ ගමේ පොලිසියටය. එතැනින් යමක් සිදු නොවුව හොත් පළාතේ ඒ.ඇස්.පී මහතාටත් එතැනින් එහාට යන්නේ නම් පළාත භාර නියෝජ්‍ය පොලිස් පතිතුමා ලඟටත් යන්නට සිදු වන්නේ සාමාන්‍ය ජනයා වන අපටය. ඒ අතරින් මා පසුව කී නිලධාරීන් දෙදෙනා ලඟට යන්නේත් යමක් කමක් දන්නා යම් බලයක් ඇති අයෙකි. ජනාධිපතිතුමාගේ උපදේශක වරු සමාන්‍ය ප්‍රශ්නයකට යන්නේ ගමේ පොලිස් ස්ථානාධිපතිතුමා ලඟට නොවේ. බොහෝ විට ඔහු පටන් ගන්නේම නියෝජ්‍ය පොලිස්පතිතුමෙකුගෙන්ය. නවතින්නේ පොලිස්පතිතුමා ලඟින් නොව ජනාධිපතිතුමා ලඟිනි. එතරම් බලවත් පුද්ගලයෙකුටත් ප්‍රචණ්ඩත්වයෙන් බේරෙන්නට බැරිනම් අහිංසක අප ගැන කවර කථාද
දැන්වත් මේ ඝාතන සංස්කෘතිය හා පාතාලය හා බැඳුනු උප සංසකෘතීන් විනාශ කළ යුතුය. නැතිනම් ආසියාවේ චිකාගෝව කොළඹ නගරය වන දිනය වැඩි ඈතක නොවේ

Tuesday, October 11, 2011

ගිනි අවි සහ ගිනි කෙළි!... ජනාධිපතිතුමාට විවෘත ලිපියක්..

අතිගරු ජනාධිපතිතුමනි,
මෙවැනි ලිපියක් ඔබ අමතා ලිවීමට සිදුවෙතැයි මම කිසිවිටෙකත් බලාපොරොත්තු නොවූයෙමි. ඇත්තෙන්ම මෙයට වඩා බෙහෙවින් වෙනස් ලිපියක් ලියන්නට සිතා සිටියද පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේ දී සිදුවූ අවාසනාවන්ත සිදුවීම නිසා මෙවැන්නක් ලිවීමට සිදුවිය.
ඔබතුමා 2005 දී ජනාධිපති ධූරයට පත්වූ මොහොතේ රටේ පැවැති තත්ත්වය ගැන අමුතුවෙන් යළි යළිත් මතක් කිරීම අනවශ්‍ය කරුණක් වුවද එතැනින්ම මෙම ලිපිය පටන් ගැනීමට සිතුවේ එය වඩාත් යෝග්‍යය යැයි සිතූ නිසාය. එදා ඔබතුමාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට සිදු කරන්නට වූ සටන පක්ෂයක් තුළ දී මෙයට පෙර සිදු කළා නම් එසේ කළේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාට පමණි. එසේ වුවද එතුමාටවත් ඔබතුමාට තරම් කෙනෙහිලිකම් හා කුඩම්මාගේ සැළකිලි හිමිවූයේ යැයි මම නොසිතමි. එවැනි තත්ත්වයක් යටතේ පවා ඔබතුමා ජනාධිපති පුටුව කරා කැඳවාගෙන ගියේ මේ රටේ අහිංසක ජනතාවය. විශේෂයෙක් දකුණේ ජනතාවය. “මහින්ද මහත්තයා“ කිසි දිනෙක අපට පිටු පාන්නේ නැති බව දකුණේ ජනයා හද පතුලෙන්ම විශ්වාස කළේ 1970 සිට ඔබතුමා රටේ පොඩි මිනිසුන්ගේ පැත්ත ගෙන ක්‍රියාකල නිසා මිස ඔබතුමා රටේ නායකත්වයට  “ඔටුන්න හිමි කුමාරයෙකු“ වූ නිසා නොවේ. ඔටුන්න හිමි කුමාරවරු සහ කුමාරියන් තමන්ට බලය ලැබුණ විට කළ කී දෑ කෙතරම් දැයි මම ඔබට අමුතුවෙන් නොකියමි.  ඒ ඔබතුමා එම රජයන් හි තමන්ගේම අයගේ වෙනස්කම් වලට ලක්වෙමින් සිටි නිසාය. අනුන් ගේ ගෙවලදී වෙනස් කම් වලට ලක් වෙනවාට වඩා තමන්ගේම ගෙදරදී වෙනස් කම් වලට ලක්වීමේ දී හිතට කෙතරම් අමාරුදැයි ඔබතුමා විසින්ම විඳ දරාගෙන ඇත.
අතිගරු ජනාධිපතිතුමනි, 1994 දී පොදු ජන එක්සත් පෙරමුණ බලයට ගෙන ඒමට ක්‍රියා කළ ක්‍රියාකාරිකයෙකුගේ දරුවෙකු වන මම එකළ විපක්ෂ කණ්ඩායම් වල වූ උනන්දුව හොඳින්ම දුටුවෙමි. පොදු පෙරමුණ ජයගත් මොහොතේ සිට අප සිතා සිටියේ රටේ යහපාලනය ඇරඹී අවනීතියට යට වී තිබූ පොලිස් සේවයට අපක්ෂපාතීව සිය කටයුතු කරගෙන යාහැකි, රාජ්‍ය සේවකයා තවදුරටත් දේශපාලන පළිගැනීම් වලට ලක් නොවන සාධාරණ යුගයක ආරම්භය එය බවය. රටේ අහිංසක ජනයා තුළ වූ ඒ සියළු බලාපොරොත්තු ගලෙක ගැසූ පාත්‍රයක් සේ කුඩු පට්ටම් වී ගියේ හිටපු ජනාධිපතිනිය වටා රොක් වූ අළුත් පාක්ෂිකයන්ට ඕනෑ හැටියට එතුමිය රට පාලනය කිරීමට පටන් ගත් නිසාය. 94ට පෙර දූෂිත ක්‍රියා වල නිරත වූවන් ගාළු මුව දොර පිටියේ දී ජනතා අධිකරණයට පමුණුවන බව කී චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය අවසානයේ අධිකරණය විසින්ම වැරදි කාරියක කොට දඩයකට යටත් කෙරුණේ දූෂිත ගනුදෙනුවක් සම්බන්ධයෙන්ම වීම දෛවයේ සරදමක් ලෙස සිතමි. 94 ට පෙර පාතාල නායකයින්ට පොලිස් නිලධාරීන් ලවා සැලියුට් ගැස්සවීම ගැන කථා කළ එතුමියගේ ආරක්ෂකයා නම ගිය පාතාග නායකයෙකැයි පුවත්පත් වල සඳහන් වන වාර්තා මා කියැවූයේ ඉච්ඡා භංගත්වයෙන් යුතුවය. ස්ත්‍රී දූෂණ, වංචා හා හොරකම් මෙන්ම මිනීමැරුම් චෝදනාවන්ට ලක්වූවන්ට පවා පොදු පෙරමුණු ආණ්ඩුව හුදෙක් සිය දේශපාලන පක්ෂයට එකතුවීම නිසාම සහන ශීලී ලෙස සලකන අයුරු බලා සිටීම හැර වෙනයමක් කිරීමට අපි අපොහොසත් වූයෙමු.
2005 දී ඔබතුමා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ බොහෝ දෙනා කී දේ නම් මහින්ද මහත්තයා කෙළින් මිනිහෙක් වැරදි වැඩට එයා ලඟ ඉඩ නැහැ යනුවෙනි. දකුණේ අපට ඔබතුමා මහින්ද රාජපක්ෂ මහතා නොවේ. ඔබ අපට අපේ මහින්ද මහත්තයා ය. ඔබට එරෙහිව බොහො දෙනා මොනවා කීවත් දකුණේ මිනිසුන්ට 88/89 කාලයේ ඔබතුමා කළ කී දෑ අමතක නැත. 2009 වන විට ඔබතුමාගේ ජනප්‍රියතාවය තවත් ඉහළ ගියේ ඔබතුමා කරන දේ කියන කියන දේ කරන මිනිහෙක් ලෙස මේ රටේ අහිංසක මිනිසුන් දුටු නිසාය.
ගරු ජනාධිපතිතුමනි, ඔබතුමා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට උපන්ගෙයි සිටම වැළඳී ඇති රෝගයක් තිබේ. එනම් එන ඕනෑම කුණුගොඩක් ආදරයෙන් බදා ගැනීමත් බලයට එන්නට දරදිය ඇද දුන් නොවෙනස් පාක්ෂිකයින් අමතක කිරීමත්ය. මේ ව්‍යාධියට ඉක්මන් බෙහෙතක් නොකළොත් පක්ෂය ගොඩගැනීමට කෝඳුරු තෙල් පට්ටා 7කුත් තවත් ටිකක් තිබුණත් මදිය.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා මම කිසි දිනෙක හමු වී නැත. ඔහු‍ගේ ඡායාරූපයක් විනා කිසි දිනෙක මම ඔහුව දැක නැත. ඔහු කෙබඳු පුද්ගලයෙකු දැයි මම නොදනිමි. නමුත් පුවත්පත් වල හා වෙබ් අඩවි වල ඔහු ගැන ලියැවී ඇති දේ දුටු මට පෙනෙන පරිදි ඔහු ඔහුගේ මිනිසුන් අතර ජීවත් වූ තමන්ගේ මිනිසුන්ට ආදරය කළ මිනිසෙකි. බොහෝදෙනා ඔහු ගැන ප්‍රශංසාවෙන් කථා කරනු මම දැක ඇත්තෙමි. 94 දී පොදු පෙරමුණෙන් පාර්ලිමේන්තුවට ආ මේ මිනිසා පසුගිය කාලයේ දී දේශපාලයෙන් විශ්‍රාම ගෙන ඇත්දෝයි මට සිතුණු අවස්ථා බොහෝය. පසුගිය පළාත් පාලන ඡන්දයේ දී මේ දේශපාලනඥයා ඝාතනය වූයේ තමන්ගේම පිළට අළුතෙක් ආ අයෙකුගේ වෙඩි පහරින් වීම ඛේදයකි.
ගරු ජනාධිපතිතුමනි, 2009 මැයි මාසයෙන් පසුව මේ රටේ ආරක්ෂාව පිළිබඳව සහතිකයක් දී ඇති නිසා නැගෙනහිර හා උතුරු පළාතේ පවා මාර්ග බාධක ඉවත් කර ඇති අයුරු අපි දුටුවෙමු. එවැනි තත්ත්වයක් තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකුගේ ආරක්ෂාවට ටී 56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවි 7-8ක් අවශ්‍යවන්නේ ඇයි දැයි මට තේරෙන්නේ නැත. මම ආරක්ෂාව පිළිබඳව විශේෂඥයෙකු නොවේ. නමුත් එතරම් වෙඩි බලයක් සිවිල් පුද්ගලයෙකු සඳහා යෙදවීම මටනම් ප්‍රශ්නයකි. දැන් ප්‍රශ්නය එය නොවේ. එසේ සිය ආරක්ෂාවට ලබා දී තිබූ ගිනි අවිවලින් මිනීමරා ගැනීමය. එහිදී මිය ගොස් ඇත්තේ අප වැනි අහිංසකයෙකු පමණක් නොවේ. රටේ ඉහලම විධායක නිලධාරියා වන ඔබතුමාගේ උපදේශක වරයෙකි. පෙර ගමන් පසු ගමන් රථ පිරිවරා අප දෙසට ස්වයංක්‍රීය ගිනි අවි අමෝරාගෙන විදුලි වේගයෙන් පියඹා යන අපේම ජනතා නියෝජිතයින් දුටු විට තවමත් කානුවට බැස ඔවුන්ට ඉඩ දෙන්නට තරම් අපේ රටේ අහිංසක ඡන්දදායකයින් නිරහංකාරය.
අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමාගෙන් අපි ආශ්චර්යයන් නො ඉල්ලමු.
කරුණාකර නීතියට ඉහළින් සිටීමට වෑයම් කරන සියල්ලන්ම නීතියේ රැහැනින් බැඳ දමනු මැනැවි. මේ රටේ නීතිය සෑම පුරවැසියෙකුටම සමාන බව ක්‍රියාවෙන්ම ඔප්පු කරණු මැනැවි. ඔබතුමා තවමත් අපේ මහින්ද මහත්තයා ලෙස සලකන මේ රටේ නීති ගරුක පුරවැසියන්ගේ මේ ඉල්ලීම ඉටු කර දෙනු මැනැවි. ඔබතුමාගේ ආරක්ෂාවට කුඩ්ඩන්, පාතාල නායකයන්, හොරුන් නැතිවාට මේ රටේ අහිංසක පුරවැසියෝ සිටිති.
 කුඩ්ඩන්, පාතාල නායකයන්, හොරුන් ආරක්ෂා කිරීමට ගොස් මෙයට පෙර රට පාලනය කළ නායක නායිකාවන් කරගත් දේවල් ගැන ඔබතුමාට උපදෙස් දෙන්නට කිසිවෙකු අවශ්‍ය නොවේ. පෙර නායක නායිකාවන් ගිය පාරෙන් රට ගොඩගත හොත් මතු උපදින පරපුර ඔබතුමා තවත් දෙවියෙකු ලෙස සලකනු නොඅනු මානය. එසේ නොවුව හොත් ඔබතුමාට දෙවි පිහිටම පැතීම හැර වෙන යමක් අපට කිරීමට  නැත...
මෙයට,
විශ්වාසී,
අනෝජ්..

Wednesday, September 14, 2011

අපේ මානව හිමිකම් උල්ලංඝනය කරණ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 18 වන සැසිවාරය මේ දිනවල ජිනීවා නගරයේ දී පැවැත්වෙමින් තිබේ. මෙම වාර්ෂික සැසිවාරය අර්ථ දැක්වීමට අනුව පවත්වනු ලබන්නේ ලොව පුරා රටවල මානව හිමිකම් ආරක්ෂා කිරීම වර්ධනය කිරීමටත් මානව හිමිකම් කඩවීම් පිළිබඳ විමර්ෂණය කොට ඒ පිළිබඳව අවශ්‍ය කරණ නිර්ණායකයන් සැපයීමටත් ය. මෙම සමුළුව පැවැත්වෙන සෑම වාරයක්ම මෙතෙක් කල් යොදා ගත්තේ ඇත්තෙන්ම ලෝකය පුරා මානව හිමිකම් රැකගැනීමට ම දැයි ප්‍රශ්නයක් ඇතිවන්නේ එය මෙතෙක් කල් ක්‍රියා කර ඇති ආකාරය දෙස බලන විටය. සෑම මානව හිමිකම් සමුළුවකටම ශ්‍රී ලංකාවෙන් නියෝජිතයින් පත් කිරීමේ දී නියෝජිතයින් තෝරා ගැනීමට සිදුවී ඇත්තේ බැරෑරුම් සටනකට සෙබළුන් තෝරා ගන්නා සේය.
මෙවර ජගත් මානව හිමිකම් සැසිය අප හට ඉතා අභියෝගාත්මක එකක් වන බවට සියළු පෙරනිමිති මේ වසර පුරාවටම දක්නට ලැබිණ. පසුගිය මාසයේ මුල සිටම අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විවිධ මට්ටමේ නිලධාරීන් විසින් සිදු කළ ප්‍රකාශ අනුව මෙම සැසිවාරයේදී ලංකාව ඉලක්ක කරගත් මහා සංග්‍රාමයකට ඔවුන සූදානම් වන බවක් පෙනෙන්නට තිබිණි. එනිසා රජය පැත්තෙන් ද රාජ්‍ය තාන්ත්‍රික හා රාජ්‍ය තාන්ත්‍රික නොවන වැඩපිළිවෙල ගණනාවක් ම ක්‍රියාත්මක වූ බව පෙනෙන්නට තිබුණි. ඇතැම් බටහිර රටවල් අපට අනියමින් තර්ජනය කරන විට කොටින් සමග එම රටවල් පැවැත්වූ නින්දිත ගණුදෙනු ලොවට හෙළි කරන බවට තර්ජනයන් ශ්‍රී ලංකාවෙන් ද මාධ්‍යයට නිකුත් විය.
ජගත් මානව හිමිකම් සැසිවාරය ආරම්භ කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලෛ මහත්මිය සිදු කළ කථාවේ දී ශ්‍රී ලංකාව ගැන සඳහන් කළ ආකාරය රටක් වශයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පක්ෂග්‍රාහී ව සිදු  කළ එකක් බව පැහැදිළි ය. එම ප්‍රකාශයේ දී ඇය කිසිදු වගකීමකින් තොරව ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයට එරෙහිව කළ සටනේ දී මානව හිමිකම් පිළිබඳව කිසිදු සැලකිල්ලකින් තොරව ක්‍රියා කල රටවල් පිළබඳ හොඳ නිදසුනක් බවයි.


ඇය එතැනින් ද නැවතුනේ නැත. ඉන් පසුව ශ්‍රී ලංකාවට උපදෙස් දෙන්නටද නොපැකිළුනාය. ඒ  ආරක්ෂාව සම්බන්ධයෙන් වන නීති සංශෝධනය කිරීමට වහා පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකාවෙන් තදින් ඉල්ලා සිටිමිනි. මෙම ප්‍රකාශයේ දී හදිසි නීති රෙගුලාසි ඉවත් කිරීමෙන් ශ්‍රී ලංකා රජය ගත් වැදගත් ධනාත්මක පියවර පිළිබඳව කිසිදු ආකාරයක ප්‍රශංසාත්මක වදනක් පළ නොකිරීමට ඇය පරෙස්සම් වූවාය. ඇයගේ මෙම පියවර ශ්‍රී ලංකාවේ ඇතැම් පිරිස් වල සතුටට හේතු වූ බව නොරහසකි. රාජපක්ෂ ආණ්ඩුව කෙරෙහි මහත් විරොධයක් සහ පිළිකුලක් දක්වන එක්තරා ඉංග්‍රීසි පුවත්පතක් එම සිදුවීම මහත් අභිරුචියෙන් වාර්තා කර තිබුණේ ශ්‍රී ලංකාව මානව හිමිකම් සමුළුවේදී විවේචනයට ලක්වූ බව පවසමිනි.


මෙම සමුළුවේදී තවත් වැදගත් දෙයක් සිදුවිය. එක්සත් ජාතීන්ගේ සියළු පිළිගත් රාජ්‍ය තාන්ත්‍රික පියවරයන්ට එරෙහිව යමින් මහ ලේකම් බෑන් කී මූන් මහතා විසින් “තමා වෙත උපදෙස් දීම සඳහා පමණක්“ යැයි කියමින් පත් කරගත් “විශේෂඥ කමිටුව“ හෙවත් දරුස්මාන් කමිටුව විසින් පිළියෙල කළාවූ අතිශය පක්ෂපාතී සහ කිසිදු නීතිමය වැදගත් කමක් නැති වාර්තාව මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කරන ලදි. මේ බව ශ්‍රී ලංකාවේ නියෝජිතයින් සහ ශ්‍රී ලංකා රජයට කිසිදුලෙසකින් දැනුම් දී නොතිබුනු අතර මේ බව ශ්‍රී ලාංකීය නියෝජිත පිරිස දැනගත්තේ ඇතැම් රටවල නියෝජිතයින් සමග පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයකදීය. මෙය ශ්‍රී ලංකා රජයේ කණ්ඩායම් නායක ගරු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ දැඩි විවේචනයට භාජනය විය.
මේ සිද්ධිය තවත් හුදෙකලා සිදුවීමක් නොවේ. මෙය ඉතා අපක්ෂපාතී යැයි කියා ගන්නා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ සහ ඒ ආශ්‍රිත සියලු ආයතන තුළ සිදුවී ඇති දැඩි දේශපාලනී කරණයේ නිරුවත ඉතා හොඳින් පැහැදිළි කළ තවත් එක් අවස්ථාවත් පමණි. මෙයට පෙර මෙම චෝදනාවට ලක්වූයේ ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන කිහිපයක් පමණි. නමුත් දැන් ප්‍රසිද්ධියේ ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සියලය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයම එවැනි ක්‍රියාවල නිරත වීම ජාත්‍යන්තර දේශපාලනයේ බල තුලනයක් නැති කම හා බලවත් ජාතීන් විසින් සාපේක්ෂව දුර්වල රාජ්‍යයන් හොඳින් හෝ නරකින් තමන්ට අවනත කර ගැනීමේ යෙදෙන බව නැවත නැවත ප්‍රදර්ශනය කිරීමකි.
මේ මානව හිමිකම් ගුරුන්ට අනුව අප වැනි කුඩා රට වල ජනයාගේ මානව හිමිකම් රැකිය යුත්තේ ඔවුන්ගේ සර්ව බලධාරී රාජ්‍යයන්ට අවශ්‍ය වන පරිදිය. ත්‍රස්ත සංවිධාන විසින් දහස් ගණන් සිවිල් ජනයා ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරත්දීත් ඔවුන් අපට කියන්නේ නිවට නියාලු ලෙස සාකච්ඡා සඳහා සහභාගී වන ලෙසයි. සැප්තැම්බර් 11 වෙනිදා අමෙරිකාවට ත්‍රස්ත ප්‍රහාර එල්ල වූ අවස්ථාවේ දී ඇෆ්ගනිස්ථානයේ සහ පාකිස්ථානයේ සිවිල් වැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරමින් අල්-කයිඩා සහ තලෙයිබාන් කණ්ඩායම් සමග සාකච්ඡා කරන්නැයි නවනීදන් පිල්ලෙයි මහත්මිය හෝ බැන් කී මූන් මහතා ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ් මහතාට උපදෙස් දුන්නේ නැත. බුෂ් මහතා අනෙකුත් රටවල් ආක්‍රමණය කළේ සිවිල් ජනයාගේ ජීවිත ආරක්ෂා කරමින් නොවේ. පකිස්ථානයේ දේශසීමා උල්ලංඝනය කරමින් අමෙරිකානු සීල් භටයන් ඔසාමා බින් ලාඩන් මරා දමන විට ඔහු අත් අඩංගුවට ගන්නැයි අණ දෙන්නට ජනාධිපති බැරැක් ඔබාමා මහතාට මෙන්ම රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මියටද හැකියාව තිබුණේ එම මෙහෙයුම සජීවීවම ඔවුන් බලා සිටි නිසායි. නිරායුධ ඔසාමා බින් ලාඩන් කිසිදු නඩු විභාගයකින් තොරව මරා දැමුණු අතර එයට අමෙරිකානු ජනාධිපති වරයා සෘජුවම අණ දුන්නේය. එසේ වුවත් එයට එරෙහිව වචනයක් හෝ කථා කිරීමට මේ පණ්ඩිතයින්ට හැකිවූයේ නැත.
ඉරාකයේ ඇතැයි කියූ සමූල ඝාතක යුධ අවි එකක් වත්හෝ අඩුම ගණනේ එකදු රසායනික අවියක් වත් සොයාගැනීමට නොහැකි වුවත් එම රටට එරෙහිව කල යුද්ධයේ දී මියගිය කාන්තාවන් හා ළමුන් ඇතුළු සිවිල් ජනයා ගැන කථා කරන්නටවත් නොකැමැති අමෙරිකාව සහ ඔවුන්ගේ මිතුරු රටවල් අප අපහසු තාවයට පත් කරන්නේ මන්දැයි සිතා ගැනීමට අපහසු නැත.
යුද්ධය පවතිද්දී ශ්‍රී ලංකාව අසාර්ථක රාජ්‍යයක් යැයි මහත් උජාරුවෙන් කී බටහිර මාධ්‍ය යුද්ධය සාර්ථකව ඉදිරියට ඇදී යද්දී හමුදාවන් විසින් මානව හිමිකම් කඩකරන බවට මොර දෙන්නට පටන් ගත්තේ සිය හාම්පුතුන්ට අවශ්‍ය පරිදි මහින්ද රාජපක්ෂ මහතාගේ රජය යුද්ධය තව දුරටක් හිඟන්නාගේ තුවාළයක් බවට පත් නොකර ගත් නිසාය. යුද්ධය ව්‍යාපාරයක් කරගත් බොහෝ දෙනාට යුද්ධය අවසන් වීම මහත් හිසරදයක් වීම කුඩා දරුවෙකුට වුවද තේරෙන දෙයකි. අමෙරිකාවේ, බ්‍රිතාන්‍ය යේ සහ ප්‍රංශයේ විදේශ ලේකම් වරුන්ගේ උපදෙස් අනුව කටයුතු කළා නම් අප මේ වන විට ඇත්තටම අසාර්ථක රාජ්‍යයකි. එදා මෙම බටහිර රටවල් අපට අතපෙවීම නතර කිරීමට සහය වූ ඉන්දියාව මේ වන විට හෙමින් සීරුවේ කර ඇර සිටීමට මාන බලන්නේ ද තමන්ට දකුණෙන් බිහිවන ශක්තිමත් රාජ්‍යය ශක්තිමත් වීම වැළැක් වීමට බව තේරුම් ගත යුතුය. එදා ඔවුන් අපට අත පෙවීමට බටහිරට ඉඩ නොදුන්නේ බටහිර බලවේග වලට ලංකාව නතු වුවහොත් එය ඔවුන්ට තර්ජනයක් වන නිසා මිස ඔවුන් අපේ “ළඟම ඥාතියා“ නිසා නම් නොවේ. දැන් ඔවුන්ටද අවශ්‍ය වන්නේ වේගයෙන් ස්වාධීනව නැගී සිටින අපේ ගමන අඩාල කිරීම බව මතක තබා ගැනීම වැදගත්වේ.
මේ අතර රටට එරෙහිව සිටින බලවේගයන් සමග අත්වැල් බැඳගෙන සිටින ශ්‍රී ලාංකිකයින් ද හඳුන් ගැනීම වැදගත්ය. ජනතාව ඉදිරියේ මහතුන් මෙන් පෙනී සිටින යුක්තිය වෙනුවෙන් කෑමොර දෙන්නන් ලෙස තමන්ව හඳුන්වා ගන්නා ඇතැම් ශ්‍රී ලාංකිකයින් සහ බංකොලොත් දේශපාලනඥයින්ද මෙම පිරිසට ඇතුළත්ය. මොවුන් සිදු කරන ක්‍රියා නිසා අපහසු තාවයට පත් වන්නේ මේ රටේ අහිංසක ජනයා බව ඔවුන් නොදන්නවා නොවේ. නමුත් දියුණු යැයි සම්මත බටහිර රටවල පවුල් පිටින් පදිංචි වීමට අවස්ථාව ලැබීමත් සිය සාක්කුවට වැටෙන විදෙස් මුදලුත් නිසා රට පාවා දෙන්නට මොවුන්ට කිසිදු ලජ්ජාවක් නැත.
වසර ගණනාවක් තිස්සේ අපේ රට පිටුපසට ගියේ යුද්ධය නිසාය. දැන් යුද්ධය නිමවී ඇත. දැන් දැන් අපහට මුහුණ දීමට සිදුවන අභියෝගයන්ට මුහුණ දීමට අවදියෙන් සිටීම වැදගත්ය. එදිනෙදා සිදුවීම් ගැන විමසිලිමත් වීමත් සත්‍ය ගරුකව සහ සදාචාරවත්ව ජීවත් වීමත් අවශ්‍ය අවස්ථිවේ දී රට වෙනුවෙන් සිය යුතුකම ඉටු කිරීමටත් සෑම ශ්‍රී ලාංකිකයෙකුම අදිටන් කරගත යුතුය.

Tuesday, September 6, 2011

දූෂණයට වැට බඳිමුද?

වංචා සහ දූෂණ වනාහී රටක විරුද්ධ පක්ෂයන් හි වැදගත්ම සටන් පාඨයි. සෑම පක්ෂයක්ම විපක්ෂයේ සිටිනා තාක් දූෂණ සහ වංචා වලට විරුද්ධව මහ හඬක් නැගීමත් ආණ්ඩු පිහිටවූ පසු ඒ ගැන අමතක කිරීමත් අපට දැන් සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇත. මේ අතර වංචා දූෂණ ගැන පළ වන වාර්තා වල විශ්වාසනීය භාවය ගැනද ඇතැම් විට ගැටළු මතු වන්නේ ඒවා දිය බුබුළු මෙන් මතු වී නැති වී යන නිසාය. එක්කෝ මෙම වාර්තා බොරු විය යුතුය එසේත් නැත්නම් ඉතා සූක්ෂ්ම ලෙස එම චෝදනා යට ගසා අමතක කරවීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වනවා විය යුතුය. සත්‍ය ලෙසම සිදුවන්නේ කුමක්දැයි කියා ජනතාවට දැන ගැනීමට ක්‍රමයක් නොමැති වීම කණගාටුවට කරුණෙකි.
අප රටේ පමණක් නොව ලෝකයේ සෑම අස්සක මුල්ලක් නෑරම දූෂණ හා වංචා ක්‍රියාත්මක වන බව තේරුම් ගැනීම දූෂණ වංචා පිටු දැකීම සඳහා වන ක්‍රියාකාරීත්වය වඩාත් කාර්යක්ෂම කිරීමට හේතු වනු ඇත. මේ යථාර්තය තේරුම් නොගැනීම මනෝරාජික සටනක යෙදීමටත් ඉන් ඉක්මනින්ම විඩාවට පත්වී කලකිරීමටත් හේතුවේ. මිනිසා තුළ නිසඟයෙන්ම පිහිටා ඇති රාග ද්වේශ මෝහ සිතුවිලි වංචා හා දූෂණ වල මුලය. එය එසේ කියා දූෂණ හා වංචා යනු පොදු මිනිස් හැසිරීමක්ය යන නිගමනයට එළඹීම මෙයින් සාධාරණීකරණය නොකෙරේ. නමුත් තමා දැනට භුක්ති විඳින සැපසම්පත් වලට වඩා යමක් ලඟා කර ගැනීමේ නො නවතින ආශාව වංචා දූෂණ වලට පහසු මඟක් විවර කරන බව දැන සිටීම වැදගත්ය.
අප වංචා හා දූෂණ වලට එරෙහිව සටන් කරන්නට යන්නේ පරමාදර්ශී රාජ්‍යයන් පිළිබඳව යම් පූර්ව ප්‍රමිතීන් ගෙන් යුතුවය. බොහෝ සටන්කාමීන් පසු කලෙක කළකිරවන පරම සත්‍යය නම් එවැනි පරමාදර්ශී රාජ්‍ය ව්‍යූහයක් කිසි කළෙක මේ මහ පොළොව මත නොවූ බවයි. සමාජවාදී වේවා ධනවාදී වේවා කිසිදු රටක් එවැනි පරමාදර්ශී රාජ්‍යයක් ලෙස නම් කළ නොහැක. එම නිසා කළ යුත්තේ ස්වකීය දේශපාලන දැක්මට කොටු වූ පරමාදර්ශ බවට ලංකාව පත් කර ගැනීම පසෙක ලා සියළු දෙනාට පිළිගත හැකි ක්‍රමයේ ව්‍යූහයක් තනා ගැනීමට කටයුතු කිරීමයි. එසේ නොමැතිව බටහිර යුරෝපා රටවල හෝ ආසියාවේ තමන් වඩා කැමැති රාජ්‍යයක හෝ ඇති ක්‍රමයක් මෙහි ආනයනය කිරීමට තැත් කිරීම දූෂණයට හා වංචාවට එරෙහි අරගලය ලත් තැනම ලොප් කිරීමට හේතු වනු ඇත.
මේ කාර්යයේදී ආගමික නායකයන්ට සහ ගුරුවරුන් හට පැවරෙන වගකීම අතිමහත්ය. අපේ රටේ දශක ගණනාවක් තිස්සේ පැවැතෙන දේශපාලන හා ආර්ථික ක්‍රමය වංචාව හා දූෂණය කෙතරම් මුල් බැසගැනීමට කෙතරම් දායක වී ඇත්ද යත් වංචාවේ මූලික අත්දැකීමට යමෙක් මුහුණ දෙන්නේ මවු කුස පිළිසිඳ ගත් දින පටන්ය. ඒ පාසැලක් සොයා ගැනීමට පවතින මාරාන්තික යුද්ධයට මුහුණ දීම පිණිස දරුවා කුස පිළිසිඳ ගත් දා පටන් දෙමාපියන් කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් යොදන උපක්‍රම වලට පින් සිදුවන්නටය. ඉදින් මෙසේ උපදින දරුවා පුරවැසියෙකුව වංචා දූෂණ වලට එරෙහි යුද්ධයක පතාක යෝධයෙකු වන්නේ යැයි සිතිය හැකිද? 
දරුවකුගේ උප්පැන්න සහතිකය සෑදීමේ සිට මහා පරිමාණ ව්‍යාපෘතියක සිදුවන වංචාවක් දක්වා මේ සියළු සිද්ධි දාමයන් සිදු වන්නේ සම්පත් වල විෂම බෙදීමත් එකෙකු පරයා තවත් එකෙකු නැගී සිටීමට දරන නොනිමි අරගලයේ ප්‍රතිඵලයක් නිසා නොවේද? සමාජය දූෂිතව ඇත්තේ යම් තරමකටද එතරමින්ම එම සමාජය සදාචාරාත්මකවද අධ්‍යාත්මිකවද පරිහානියට පත්ව ඇත. ආගමික නායකයන්ටත් ගුරුවරුන්ටත් වංචා දූෂණ මැඬලීමේ දී ප්‍රමුඛ කාර්යයක් හිමි වන්නේ යැයි මා කීවේ මේ නිසාය. අපි සමාජයක් වශයෙන් පරිහාණියට ලක් වී ඇත්තෙමු. විවිධ කාල වකවානු තුළ මෙරට හරහා හමා ගිය සැඩ සුළං ධාරා මේ පරිහාණිය වර්ධනය කළේය. මේ නිසා සමාජය සිය හෘද සාක්ෂිය අමතක කළේය.
හෘද සාක්ෂියක් නැති සමාජයක් විසින් පත් කරගන්නා නියෝජිතයන් සමාජයේ යහපැවැත්ම පිණිස නීති සාදතැයි සිතිය නොහැක. ඔවුන් උත්සාහ කරනු ඇත්තේ තමන් දැනට ලබා ඇති සැප සම්පත් වලට වඩා යමක් ලබා ගැනීමටත් ඒවා නොකඩවා තමන්ට ලැබෙන මාර්ග විවෘතව පවත්වාගෙන යාමටත්ය. ඇත්තෙන්ම පසුගිය කාලය මුළුල්ලෙම අප අත්දුටුවේ මෙම සත්‍යයයි. නිදහසින් පසු බිහිවූ සෑම රජයක්ම සිදු කළේ තමන් රැකෙනා ප්‍රතිසංස්කරණ විනා ජනයා ඉල්ලා සිටි ප්‍රතිසංස්කරණ නොවේ. මේ තත්ත්වය අපේ රටට පමණක් නොව අසල්වැසි ඉන්දියාව ඇතුළු ආසියාවටත් බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර යුරෝපයට හා අමෙරිකාවටත් පොදුය. ආසියානු අපට මෙම තත්ත්වය තදින් දැනෙන්නේ වංචා හා දූෂණ වල යෙදෙන කණ්ඩායම් වලට සාපේක්ෂව රටේ පොදු ජනයාට ලැබෙන දේ නොසලකා හැරිය හැකි තරම් කුඩා වන නිසා මිස පරමාදර්ශී රාජ්‍යයන් කේතුමතී රාජධානි වන නිසා නොවේ. දියුණු යැයි කියා ගන්නා රට වල පාලකයෝද අඩු වැඩි වශයෙන් දූෂිතය. ඔවුහුද විශාල සමාගම් වල කොමිස් වලට අපේ අය මෙන්ම කෑදරය. නමුත් අපේ රටවලින් රැගෙන ගිය මහා ධන සම්භාරයට පින්සිදු වන්නට සිය ජනයාට සාපේක්ෂව ඉහල ජීවන තත්ත්වයක් ලබා දීමට ඔවුන්ට හැකි වී තිබිණ. එනිසා ඔවුන්ට එරෙහි සටන් අපේ තරම් දරුණු ස්වරූපයක් නොගත්තේය. එසේ වුවද දැන් දැන් මෙම රටවල් මුහුණ දෙන ආර්ථික අර්බූධ හමුවේ මෙතෙක් කල් සුදු රෙදි පොරවා සිටි සිල්වතුන්ගේ තරම කෙමෙන් හෙලිවන්නට පටන් ගෙන ඇත. අමෙරිකානු ආර්ථික අර්බූධය හමුවේ ඇතැම් රාජ්‍ය නිලධාරීන් හා සමාගම් වල ඉහල නිලධාරීන් ක්‍රියාකල ආකාරය ලජ්ජා සහගතය. ලෝකයේ දූෂණයට එරෙහි පරමාදර්ශී රාජ්‍යයන් නැතැයි මා කීවේ එබැවිණි.
අප කළ යුතුවන්නේ පළමුව එක් එක් පුද්ගලයා වශයෙන් වංචා දූෂණ වළින් මිදීමය. වංචනිකයින් හා දූෂිතයින්ට ගල් ගැසීමට නම් එම පවු නොකලවුන් සිටිය යුතුය. එවැනි චරිත ලංකාවේ නැතැයි කීවොත් එය සිය දහස් ගණනක් අවංක ශ්‍රී ලාංකිකයින්ට කරනු ලබන අවමානයෙකි. අප අතර ඉතා සාධාරණ ලෙස ජීවත් වූ සහ ජීවත් වන මිනිස්සු බොහෝ ගණනක් ජීවත් වෙති. එවන් චරිත පරමාදර්ශ කර ගැනීමත් ඇගයීමත් කළ යුතුය. අපේ ප්‍රවෘත්ති පත්‍ර සහ මාධ්‍යය අපරාධ කරුවෙකුගේ ගඳ ගසන ජීවිත වෙනුවෙන් සිය පුවත්පත් හා ප්‍රවෘත්ති වල වෙන් කරන ඉඩ මේ මිනිසුන් වෙනුවෙන් වෙන් කොට ඇත්ද? නැත. ඒ වෙනුවට ඔවුන් කර ඇත්තේ සෘණාත්මක ප්‍රවෘත්ති හා වාර්තා වලට වැඩි ඉඩක් ලබා දීමය. අවංකව රැකියාව කොට නිහඬවම විශ්‍රාම ගිය අවංක මිනිසුන් ගැන අගයන්නේ නැතිව පරමාදර්ශී සමාජයක් බිහි කළ හැකිද? එසේ බිහිවන සමාජය පරමාදර්ශී නායකයින් බිහිකරනු ඇතිද?
දූෂණ වංචා නැති කිරීම සිතන තරම් පහසු නැති වුවත් මවා පෙන්වන තරම් අපහසු ද නැත. කළ යුත්තේ පුරවැසියන් වශයෙන් අප නිවැරදි අවස්ථාවේ නිවැරදි තීරණ ගැනීමයි. රජයේ කන්තෝරුවකින් තමන්ගේ වැඩේ කරගන්නට ගොස් හොරෙන්ම අල්ලස් දී එළියට බැස අල්ලස් විරෝධී පුවරු ඔසවාගෙන සිටීමෙන් පලක් නොවේ.
මා කලින් කී කරුණු නිසා රජය වංචා දූෂණ පිටු දැකීමේ වගකීමෙන් නිදහස් වන්නේ යැයි නොසිතිය යුතුය. මේ රජය වනාහී රටේ බහුතර ජනයාගේ කැමැත්තෙන් පත්වූ ප්‍රජාතන්ත්‍රවාදී රජයකි. බහුතර ජනයාගේ අභිලාෂයන් මුදුන් පත් කිරීමට රජය බැඳී සිටී. රටේ බහුතරයේ කැමැත්ත වංචා දූෂණ පවත්වාගෙන යාම නොවේ. එ නිසා සෑම අංශයකම දූෂණ වලට වැටබැඳීමට රජය ක්‍රියාකල යුතුය. අල්ලස් හා දූෂණ කොමිසම වැනි ආයතන වඩ වඩාත් ශක්තිමත් කිරීමත් අධිකරණය වඩාත් ස්වාධීන ආයතනයක් බවට පත් කිරීමත් අතිශය වැදගත් හා හදිසි අවශ්‍යතාවයකි. අපේ රටේ ව්‍යවස්ථාව අනුව රටේ ජනාධිපතිවරයාට මහත් වූ විධායක බලයක් පැවැරී ඇත. යුද්ධයේදී තීරණ ගැනීමට නොපැකිළුනාක් මෙන් දූෂණ වංචා වලට එරෙහිව ක්‍රියා කිරීමේදීද සෘජු තීරණ ගැනීම වැදගත්ය. වංචා හා දූෂණ සම්බන්ධයෙන් රජයේ නිලධාරියෙකුට හෝ ආණ්ඩුවේ ප්‍රබලයෙකුට හෝ විරුද්ධව කටයුතු කරන්නට කිසිසේත් මැලි වියයුතු නොවේ. ආණ්ඩුවේ ප්‍රබලයෙකු වේවා සාමාන්‍ය පුරවැසියෙකු වේවා ඕනෑම පුද්ගලයෙකුට එරෙහි දූෂණ හෝ වංචා චෝදනාවකදී තදින් නීතිය ක්‍රියාත්මක කිරීමෙන් රජය වඩාත් ජනප්‍රිය වනවා මිස අපහසුතාවයකට පත් නොවේ. අල්ලස් දූෂණ දැලෙන් තෝරුන් මෝරුන් පැන  තෙක් බලා සිට හාල් මැස්සන් හා සාලයන් ඇල්ලීමට තැත් කිරීමෙන් පලක් නොවේ.

Sunday, August 28, 2011

ජවිපෙ, දෙමළ සන්ධානය, හියුමන් රයිට්ස් වොච්, ත්‍රස්තවාදය මැඬලීමේ පණත හා දූෂණයට එරෙහිව අන්නා ක්‍රමය..

ශ්‍රී ලංකාව වෙලා සිටි රුදුරු ත්‍රස්තවාදයට පින්සිදු වන්නට මගේ ජීවිත කාලයෙන් වැඩි කොටසක් ගෙවා දැමූයේ හදිසි නීති රෙගුලාසි යටතේ පාලනය වූ රටකය. හදිසි නීතිය වනාහී රටෙක අස්ථාවර භාවය පිළිබඳ නොනිල දර්ශකයකැයි කීවාට වරදක් නැත. අපේ රටේ ත්‍රස්තවාදී අර්බූධය යුධමය ක්‍රියාදාමයකින් අවසන් කොට දැන් වසර දෙකකට මඳක් වැඩිය. යුද්ධය අවසන් වූ වහාම වාගේ ප්‍රකාශයක් කළ එවකට හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා මහතා යුද්ධය පැවැති ප්‍රදේශ වල අවතැන් වූවන් පදිංචි කොට අවසන් කිරීමට වසර 5ක් පමණත් තවත් වසර 10ක් පමණ එම ප්‍රදේශවල ත්‍රස්ත මර්ධන මෙහෙයුම් (Counter insurgency operations) සිදුකිරීමටත් ගතවේ යැයි පැවැසූ බව අපට තවම මතකය.
පසුගිය 25 වනදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළ අතිගරු ජනාධිපතිතුමා රටේ ආරක්ෂක තත්වය ගැන තමා සෑහීමකට පත්වන බැවින් හදිසි නීති රෙගුලාසි සම්පූර්ණයෙන් ඉවත් කරන බව පැවැසීය. මෙම ප්‍රකාශයට මාධ්‍ය වලින් ලැබුණේ ඉතා ඉහල පිළිගැනීමකි. මෙම ප්‍රවෘත්තිය රජයේ මාධ්‍ය විසින් සජීවී ලෙස විකාශය කළ අතර සෑම දෙස් විදෙස් මාධ්‍යකම එයට ප්‍රමුඛතාවයක් ලැබී තිබුනි. ශ්‍රී ලංකා රජය දැඩි ලෙස විවේචනය කල ඇතැම් විදෙස් රටවල් මෙන්ම විදෙස් සංවිධානද මෙම පියවර අගය කොට තිබුණි.
ශ්‍රී ලංකාවේද බොහෝ දේශපාලන පක්ෂ මෙම පියවර අගය කළ අතර විපක්ෂ නායකවරයාද එම පියවර අගය කරමින් (වෙන කළ හැක්කක් නැතිවාක් මෙන් වුවද) ප්‍රකාශයක් නිකුත් කරණ ලදි. කිසිවිටෙකත් සතුටු කළ නොහැකි සර්ව අශුභවාදී පිළිවෙතක් අනුගමනය කරන ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ සංධානයට මේ පියවර සාධනීය එකක් බව නොපෙනේ. ජ.වි.පෙ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ හදිසි නීතිය ඉවත් කළ පමණින් තමන්ට සතුටු විය නොහැක්කේ ත්‍රස්තවාදය මර්ධනය කිරීමේ පණත තවමත් බලාත්මකව ඇති නිසා බවයි. දෙමළ සංධානයේ මතයද හරියටම එහි කාබන් කොපියක් වැනිය. මේ සමගම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වන (රාජ්‍ය නොවන) හියුමන් රයිට්ස් වොච් සංවිධානයද කීවේ මේ කථාවමය.
මෙය හුදෙක් සහසිද්ධියකැයි කියා සිටින්නට මීට පෙර හැකිව තිබුනි. එයට හේතුව වන්නේ මීට වසර 2කට පෙර ජ.වි.පෙ හා දෙමළ සංධානය යනු නයාට අඳුකොළ මෙන් එකිනෙකාට පෙන්නන්නට බැරි පක්ෂ දෙකක් වීමය. ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සහ දෙමළ ජාතික සංධානය ජ.වි.පෙ විසින් හඳුන්වන ලද්දේ එල්.ටී.ටී.ඊ යේ ජාත්‍යන්තර සහ පාර්ලිමේන්තු නියෝජනයන් වශයෙනි. නමුත් මෑත කාලයේ සිදුවී ඇති අංශක 180 ක දේශපාලන අපගමනයත් සමග ජ.වි.පෙට මේ  සංවිධාන අමෘතයක් වූ සැටියක් පෙනේ. මේ සිදුවීම “දේශපානයේ දී සදාකාලික සතුරන් නොමැත“ යන අවස්ථාවාදී කපටි වැකියෙන් වසා දැමිය හැකි සරල සිදුවීමක් නොවේ.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කොටි සංවිධානය තහනම් නොකොට සාකච්ඡා සඳහාද ඉඩක් තබාගෙන සිටියදී එය විවේචනය කළේ ජ.වි.පෙ.යයි. ඊට පෙර යුද්ධ කරන්නේ නැත්තේ ඇයිදැයි කෑගැසුවේ ද රට වටා ජනහමු තබමින් රජය යුද්ධයට තල්ලු කළේ ද ජ.වි.පෙ. යයි. ඒ කාලයේ ගහන්නේ මොකෙන්දැයි ජනාධිපතිවරයා ඇසූවිට ‘තියෙන එකෙන් හරි ගහන්නැ‘යි කීවේද ජ.වි.පෙ. යයි. ඔබේ මතකය හොඳ නම් යුධ මුක්ත කලාප පිහිටුවා ඒවාට බර අවි ප්‍රහාර එල්ල නොකිරීමට රජය තීරණය කළ අවස්ථාවේ ඉන්දියාවේ මැදිහත් වීමක් නිසා යුද්ධය නවත්වන්නට යනවා යැයි ජ.වි.පේ නායකයින් මොරදුන් හැටි මතක් වනු ඇත. යුද්ධය අවසන් වීමත් සමගම අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ කටයුතු ආරම්භ කරන විට එයට බාධා කළේ හිටපු හමුදාපතිවරයා බව සැවොම දන්නා කරුණකි. ඒ කාලයේ ඇතැම් ජාතික පුවත්පත් හරහා යුධ හමුදාව ජනරාල් වරයෙකු යටතට පත් කොට ශ්‍රී ලංකාව කලාප 3 කට බෙදා ලුතිනන් ජනරාල් වරුන් තිදෙනෙකු යටතේ දැඩි ආරක්ෂක වැඩපිළිවෙලක් විශෙෂයෙන්ම උතුරු නැගෙනහිරට යෙදවිය යුතු බව කී සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා බවට පත් කර ගත්තේ ද ජනාධිපතිවරණ ව්‍යාපාරයේ දී ඔහුගේ අයිතිකරුවන් ලෙස පෙනී සිටියේද මේ දැන් කථා කරන ජ.වි.පෙ යම හැර වෙන යමක් නොවේ.
දැන් චැනල් 4 නාලිකාවට එරෙහි වීඩියෝ පටය විවේචනය කරන්නේද රැඳවුම් භාරයේ සිටින කොටි සැකකරුවන් ගණන් කරන්නේද ජනතා විමුක්ති පෙරමුණයි. මේ දේවල් දෙමළ සංධානය සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන විසින් කිරීම අප හට එතරම් පුදුමයක් නොඑලවන නමුත් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ නිර්මාතෘන් වන ජනතා විමුක්ති පෙරමුණ එවැන්නක් සිදුකිරීම ....?
මෙම සිදුවීම් පෙළ දෙස නැවත නැවත බැලීමේ දී පැහැදිළි වන කරුණ නම් රජය යුධ අපරාධ චෝදනා වලට දක්කාගෙන යාමේ සියළු සැළසුම් පිටුපස මේ සියළු දෙනා සිටින බවයි. රජය විසින් කරනු ලබන සාධනීය දේවල් වල වාසි ලැබෙන්නේ මුළු රටටම බව නොසලකා මේ රඟපාන්නා වූ දේශපාලන නාටකය අප හට මොනවට පෙන්වා දෙන්නේ එම තිත්ත ඇත්තයි.
මේ අතර තවත් ඉතා වැදගත් සිදුවීමක් පසුගිය දින කිහිපයේ සිදුවිය. ඉන්දියාවේ මහත්මා ගාන්ධිතුමාගේ අනුගාමිකයෙකු වන අන්නා හසාරේ දූෂණයට එරෙහිව ගාන්ධි ක්‍රමයේ සටනකින් පසු සාර්ථක පළ නෙලමින් සිටින අතරේ ශ්‍රී ලංකාවේ ද දූෂණයට එරෙහි සංවිධානයක් ඇති කර ගන්නා ලදි. එහි ප්‍රධානත්වය ගන්නේ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා සහ ජනතා විමුක්ති පෙරමුණෙ නායකයින්ය. එහි ප්‍රධාන තැනක් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති මහතාට සහ අනුර කුමාර දිසානායකමහතාට ද ලැබී ඇති බව පෙනේ. අන්නා හසාරේ ක්‍රමයේ කොපියක් වන උද්ඝෝෂණ ව්‍යාපාරයක් ලංකාවේද ක්‍රියාත්මක කිරීමේ අරමුණක් මෙහි ඇති බව පෙනෙන අතරේ එයට අවශ්‍ය කරන දූෂණ චොදනාව එළියට පැන්නේ අද පළ වූ ඉරුරැස නම් පුවත්පතෙනි. එනම් චීන ආයෝජකයින්ට ආයෝජන අවස්ථා ලබාදීමේදී බරපතල දූෂණ සිදුවී ඇතියි විකි ලීක්ස් වෙබ් අඩවිය පවසන බව සඳහන් පුවතකිනි. මෙම පුවත් සිරස්තලය දුටු විට හැඟීයන්නේ චීන කොන්ත්‍රාත් සමාගම් වලට කොන්ත්‍රාත් සැපයීමේදී විශාල කොමිස් මුදල් ගෙන ඇති බවයි. නමුත් මේ විකිලීක්ස් තොරතුරේ මූලාශ්‍රය කුමක්දැයි බැලීමේ දී පෙනී යන්නේ චීන සමාගම් වලට ලංකාවේ ආයෝජන ඉඩ ප්‍රස්තා මෙතරම් වැඩිවන්නේ ඉහත හේතුව නිසා බවට විශ්වාස කරන්නේ අමෙරිකානු තානාපති කාර්යාලය බවයි.

චීනය ලංකාවේ සිදු කරන ආයෝජන බොහොමයක් සිදු කරන්නේ චීන රජයට අයත් සමාගම් හරහාය. ලංකාවේ චීන ආයෝජන ගැන අමෙරිකාව දුක්වීම අපට සිතාගත හැක. අපේ ආර්ථිකයට චීනයෙන් ඉන්දියාවෙන් හා රුසියාවෙන් ලැබෙන සහාය නොවන්නට ලංකාවට එරෙහිව ආර්ථිකමය පීඩනයක් ඇති කිරීමට අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලට පහසුය.

මෙම සියළු සිදුවීම් පෙළ ගැසෙන ආකාරය බුද්ධිමත්ව නිරීක්ෂණය කිරීම සෑම පුරවැසියෙකුගේම වගකීමකි. අප දැන් පසුකරමින් සිටින්නේ ඉතිහාසයේ ඉතා පරෙස්සමෙන් කටයුතු කළ යුතු අවධියකය. ගෝලීය ධනේශ්වර ක්‍රමය විසින් තමනට අවනත නොවන රජයන් ඉවත් කිරීම සඳහා යොදා ගන්නා විවිධ උපක්‍රම වන්නේ මේවාය. වඩාත් වැදගත් වන්නේ අප අතරම සිටින සතුරන් හඳුනා ගැනීමයි.
හදිසි නීතිය ඉවත් කිරීම ඉතා වැදගත් පියවරකි. රටේ ආරක්ෂාව පිළිබඳව සලකා බලා ත්‍රස්තවාදය වැළැක්වීමේ පණතද ක්‍රමයෙන් ඉවත් කළ යුතුය. නමුත් ඊට පෙර ඒ සඳහා අවශ්‍ය කරණ ආරක්ෂක සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කළ යුතුය. දැන් කළ යුතුවන්නේ එය විනා බටහිර න්‍යාය පත්‍ර වලට අනුව ප්‍රකාශ නිකුත් කිරීම හෝ උද්ඝෝෂණ කිරීම නොවේ.


විකිලීක්ස් හි පළ වූ අදාල කේබල් පණිවිඩය සම්පූර්ණයෙන්
http://www.divshare.com/download/15626378-4cb

Sunday, July 31, 2011

චැනල් 4 , සරත් ෆොන්සේකා,චන්ද්‍රිකා,විමුක්ති, සහ ශවේන්ද්‍ර ..

සති කිහිපයකට පෙර මහා ඝෝෂාවක් කොට නිහඬවූ චැනල් 4 එසේ නිහඬවූයේ ඉතා කෙටි කලකට පමණක් බව පෙන්වමින් පසුගිය 28 වන දා තවත් වීඩියෝවක් හෙවත් වාර්තාමය රඟපෑමක් විකාශය කළේය. ඒ යුධ අපරාධ සඳහා වගකිව යුත්තන් හඳුනා ගන්නා ලද බවට මහා මොර දීමකින් පසුවය. අදාල වාර්තාමය වීඩියෝ පටය නැරඹූ වහා මට මතක් වූයේ 2009 වසරේ දෙසැම්බර් 13 වන දා The Sunday Leader පුවත් පත සිදු කළ වාර්තා කරණයයි.
සරත් ෆොන්සේකා මහතා ඒ වන විට සිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වල නියැලී සිටි අතර කුමක් හෝ හේතුවක් නිසා ඔහු එම ප්‍රකාශය සිදු කළත් එය ආරක්ෂක ලේකම් වරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි වූ වෛරයෙන් කළ බව පැහැදිළිය. මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වන බැවින් දීර්ඝ වශයෙන් ඒ ගැන සාකච්ඡා නොකළත් සිද්ධිය මඳක් හෝ මතක් කිරීම වටිනා නිසා පහත ඡායාරූපය එක් කළෙමි.
මේ ප්‍රකාශය ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වලට පමණක් නොව ජනාධිපතිවරණයෙන් පසුව ද ඔහුගේ සහ රටේ ප්‍රතිරූපය කෙරෙහි ඇති කළේ මකාලිය නොහැකි කළු පැල්ලමකි. සරත් ෆොන්සේකා මහතා ගැන සාකච්ඡා කිරීමට මම එතරම් කැමැත්තක් නොදැක්වූයෙමි. ඊට හේතුව වූයේ යුධ හමුදාපතිවරයා වශයෙන් ඔහු කෙරෙහි වූ මගේ හැඟීම දේශපාලනඥ සරත් ෆොන්සේකා කෙරෙහි වූ මාගේ හැඟීමට අංශක 180ක් විරුද්ධ දිශාවේ වීමය. මගේ ලිපි වලින් යමෙකුට පෞද්ගලිකව පහර ගැසීම මගේ ප්‍රතිපත්තිය නොවූ නිසා අදාල කාලයේ දී ජනාධිපතිවරණයේ දී කිසිවෙකු ගැන සඳහන් නොකර සිටීමට මම වඩාත් කැමැති වූයෙමි. එසේ වුවද ඉහත පුවත්පත් වාර්තාව දුටු වහාම මගේ සිතට නැඟුනු දෙය නම් වඩාත් බැරෑරුම් අභියෝග ගණනාවක ආරම්භය මෙය වන බවයි. මේ පුවත්පත් වාර්තාවේ සාරාංශය වන්නේ එවකට බ්‍රිගේඩියර් වරයෙකු වූ ශවේන්ද්‍ර සිල්වා මහතා තමන්ට ආරක්ෂක ලේකම් වරයාගෙන් ලැබුණු උපදෙස් මත ආරක්ෂක අංශ වලට භාරවූ සහ භාරවීමට පැමිණි එල්.ටී.ටී.ඊ සමාජිකයින්ව ඝාතනය කරන ලෙස 58 වන සේනාංකයේ සෙබළුන්ට අණ දුන් බවයි. දේශපාලන හේතූන් මත සිය ප්‍රකාශය සිදු නොකළ එකක් බව කීවත් මෙම ප්‍රකාශයෙන් සරත් ෆොන්සේකා මහතා සිදු කල හානිය ඉතා විශාලය.


මේ සිදුවීම ස්වාධීන රූපවාහිනී සේවය ස්වකීය ප්‍රවෘත්ති ප්‍රකාශ තුළින් විකාශය කළේ ඉහත ආකාරයටයි.

එම සිදුවීමෙන් කලකට පසු විටින් විට බ්‍රිතාන්‍ය චැනල් 4 ආයතනය ජේ.ඩී.එස් නම් මාධ්‍ය සංවිධානයක සහාය ද ඇතිව විවිධ වීඩියෝ පට නිකුත් කළ අතර රජය ඒවා ව්‍යාජ වීඩියෝ පට බව පවසමින් ප්‍රතික්ෂේප කරණ ලදි. කෙසේ වෙතත් මෙම ප්‍රකාශයන් එතරම් කාර්යක්ෂම ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක වන තානාපති සේවා විසින් ප්‍රචාරය නොකරන ලද බවට විශාල වශයෙන් විවේචන එල්ල වූ අතර එම විවේචන සාධාරණ බව ඔප්පු වන්නේ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ සිදුවූයේ යැයි කියන යුධ අපරාධ සම්බන්ධයෙන් තමන්ට උපදෙස් දීමට යැයි කියා කමිටුවක් පත් කිරීමත් සමගය. මේ කමිටුව ශ්‍රී ලංකාවට නොපැමිණි අතර තහවුරු නොකරන ලද මූලාශ්‍ර මත යැපෙමින් ශ්‍රී ලංකාවට ඉතා අහිතකර ඒක පාර්ශවීය වාර්තාවක් ඉදිරිපත් කළේය.  මේ වාර්තාව ලංකා රජය ප්‍රතික්ෂේප කළ නමුත් චීනය සහ රුසියාවේ සහය ශ්‍රී ලංකාවට නොලැබුණේ නම් අද අප හට අත් විඳින්නට වන්නේ ලිබියාවේ ජනයා අත්විඳින ඉරණමට නොදෙවෙනි ඉරණමකි. තවමත් චැනල් 4 වැනි කණ්ඩායම් උත්සාහ කරන්නේ අපහට එවැනි ඉරණමක් අත් කර දීමට බව තේරුම් ගත යුතුය.
මේ අතර වාරයේ Sri Lanka's Killing Fields නමින් නිකුත් කළ වීඩියෝ වාර්තාමය වැඩසටහන විකාශය කෙරුණු අතර මෙවර  එයට එරෙහිව ඉතා සාර්ථක පිළිතුරු දීමක් සිදු කිරීමට එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමත් විය. මෙයට පෙර බොස්ටන් නගරයේදී ද එතුමා සාර්ථක දේශනයක් මගින් එල්.ටී.ටී.ඊ හිතවාදීන්ගේ තර්ක බිඳ දැමූ අතර එය අවසන් වූයේ සුහදත්වයෙන් එකිනෙකාට අත දීමෙනි. මෙවර චැනල් 4 ට පිළිතුරු දීමේ දී ශවේන්ද්‍ර සිල්වා මහතාට එම අත්දැකීම රුකුලක් වන්නට ඇත.


නමුත් මෙම දෙවන කරුණු දැක්වීමෙන් අපහසුතාවයට පත් වූයේ චැනල් 4 හි කුප්‍රකට වාර්තා වැඩසටහන් කරුය.


ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මෙම නොනවතින ප්‍රතිචාරයන් චැනල් 4 සහ ඔවුන් පිටුපස සිටින ශ්‍රී ලංකාවෙන් පළා ගොස් සිටින ජේ.ඩී.එස් නම් මාධ්‍ය කරුවන්ට පමණක් නොව එල්.ටී.ටී.ඊ යට සහය දක්වන විදෙස්ගත ඇතැම් ශ්‍රී ලාංකික කණ්ඩායම් වලටද මහත් හිසරදයකි. මෙතෙක් කල් කිසිදු කාර්යක්ෂම භාවයක් නොපෙන්වූ ශ්‍රී ලංකා තානාපති අංශ මෙසේ හමුදා නිලධාරීන් මගින් හෝ කාර්යක්ෂම වීම රටට එරෙහි බලවේගයන් වලට යහපත් වාතාවරණයක් නොවේ. මේ නිසා මෙම කණ්ඩායම් වලට අවශ්‍ය වන්නේ තමන්ට මහත් හිසරදයක් බවට පත්ව ඇති මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයෙන් සහ නියෝජ්‍ය තානාපතිධූරයෙන් ඉවත් කර ගැනීමයි. මෙවර චැනල් 4 මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා හසු කරගැනීමට උත්සාහ කළේ යම් උගුලකට බව පැහැදිලිය. එක්කෝ ඔහුගේ මුවින් යම් වැරදි වචනයක් කියවා ගැනීම හෝ ඔහු කෝපයට පත් කර එයින් තමන්ට යම් වාසි දායක තත්ත්වයක් ඇතිකර ගැනීම ඔවුන්ගේ අරමුණ විය. එය වැරදුන තැන මුහුණ වසාගත් හඬක් නැති රූප දෙකක් යොදා ගෙන 2009 දෙසැම්බරයේදී සරත් ෆොන්සේකා මහතා කී දේම නැවත කීමෙන් සිය මුහුණ බේරා ගැනීම සඳහා ගත් අසාර්ථක උත්සාහයක් ලෙස මෙම නවතම වීඩියෝව හඳුන්වා දිය හැක.

මෙම වීඩියෝවෙන් ද චැනල් 4 මාධ්‍ය සදාචාරය කෙරෙහි දක්වන ආකල්පය ගැන හොඳින් පෙන්වා දෙන ලදි. සිය කාර්යාලයේදී විනාඩි 40කට පමණ ආසන්න කාලයක් ශවේන්ද්‍ර සිල්වා මහතා ලබාදුන් සාකච්ඡාව කිසිසේත් ඇතුළත් නොකොට කාර්යාලය ඉදිරිපිටදී කළ කථාව පමණක් ඉදිරිපත් කළේ සම්පූර්ණ කථාව පළ කිරීමෙන් තමන් සිදු කරන්නට ගිය කාර්යය සිදු නොවන නිසාය.
මෙම වීඩියෝව සමගම තවත් වීඩියෝවක් චැනල් 4 විසින් විකාශය කරන ලදි. එනම් හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කළ කථාවකි.
මෙම කථාවේදී ශ්‍රී ලංකාවේ රජය දැඩිලෙස විවේචනය කළ ඇය තවදුරටත් කියා සිටියේ ඇයගේ 28 හැවිරිදි පුත්‍රයා එනම් විමුක්ති කුමාරතුංග මහතා Sri Lanka's Killing Fields වාර්තා රංගනය නරඹා ඉකි බිඳිමින් ඇය අමතා කියා සිටියේ තමා ශ්‍රී ලාංකිකයෙක් යැයි කීමට කෙතරම් ලජ්ජා වන්නේ ද යන්න බවයි. මෙය දුටු මට චන්ද්‍රිකා ගැන ඇති වූයේ කෝපයක් නොව ශෝකයකි. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය 1994 දී බලයට ගෙන ඒමට උදව් කළ බොහෝ දෙනෙක් දැන් ඇය අසල නැත. ඇයගේ ඝාතකයට ලක්වූ සැමියා, විජය කුමාරතුංග මෙරට බිහිවූ අග්‍රගණ්‍ය මානව හිතවාදී දේශපලනඥයෙකි. විජය තමන් විශ්වාස කළ මතය වෙනුවෙන් ජීවිතය පූජා කළ අසාමාන්‍ය නායකයෙකි. ශ්‍රී ලංකාවේ පළමු ජනාධිපතිවරණයේ දී විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ හෙක්ටර් කොබ්බෑකඩුව මහතාට අවංකව අධාර කළ විජය ශ්‍රී.ල.නි.ප.ය හැර ගියේ එම මැතිවරණයේදී කොබ්බෑකඩුව මහතාට ශ්‍රී.ල.නි.ප.ය කළ දේශපාලන කුහක කම් නිසාය. බලය විසින් විනාශ කරන ලද දේශපාලන නායකත්වය පිළිබඳව ජීවමාන ප්‍රතිමූර්තියක් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය 2005 දී ධූරයෙන් ඉවත් වූයේ 1994 දී ඇය ලැබූ ජන ප්‍රසායට සමාන ජන අප්‍රසාදයක් ද සහිතවය. සිය සැමියා පක්ෂය හැරදා යාමට හේතු වූ දේශපාලන කුහක ප්‍රතිපත්තියම ඇයද 2005 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා ගේ ජනාධිපතිවරණයට කෙරෙහිද දැක්වූ බව නොරහසකි. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වීම වැළැක්වීම වෙනුවෙන් ඇය රහසේ උදව් කළේ ඇයම වරෙක ප්‍රසිද්ධියේ කී පරිදි සිය ආදරණීය පුත් විමුක්ති රාජකීය විද්‍යාලයට ඇතුළත් කරගැනීම වැළැක්වූ රනිල් වික්‍රමසිංහ මහතාටය. ඉදින් ඇයගේ රාජපක්ෂ විරෝධය ගැන තවත් කවර කථාද?
විමුක්ති කුමාරතුංග මහතා ගැන මම කිසිවක් නොදනිමි. එයට හේතුව එතුමා ශ්‍රී ලංකා දේශපාලනයේ දක්නට නොලැබෙන චරිතයක් වීමයි. මා සිතනා පරිදි විමුක්ති සිය පියාගේ අඩි පාරේ යන්නෙක් නම් ඔහු චැනල් 4 නාලිකාවේ පක්ෂාග්‍රාහීත්වය ගැන ලැජ්ජාවනු විනා සිය ජාතිකත්වය ගැන ලජ්ජා නොවිය යුතුය. විමුක්ති ඩිස්කවරි චැනලය ආශාවෙන් නැරඹූ බව ඔහුගේ මව ප්‍රසිද්ධ වේදිකාවල කියනු මම අසා ඇත්තෙමි. එනිසා ඔහු රූපවාහිනිය නරඹන්නෙක් යැයි මම සිතමි. මානුෂීය මෙහෙයුම පැවැති සමයේ රජයේ හමුදා වල සොල්දාදුවන් තමන්ගේ බත් පත අවතැන්වූ දමිළ වැසියන්ට දුන් හැටි සහ ඔවුන් ගලවා ගැනීම සඳහා සිය දිවි පරදුවට තැබූ අයුරු රූපවාහිනියේ චැනල් මාරු කරන විටවත් දුටුවා නම් විමුක්ති කුමාරතුංග මහතාගේ ඇස් වල අපේ සෙබළුන් වෙනුවෙන් කඳුළක් හෝ වැටෙන්නට ඉඩ තිබිණි. ඔහු එම දර්ශන නැරඹුවා දැයි දැන ගැනීමට අපට දීර්ඝ චක්ඛු ඥාණය නැතිවීම නම් මහත් අඩු පාඩුවෙකි.

ශවේන්ද්‍ර සිල්වා මහතා මෙම සිදුවීම පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හඩ්සන් සමරසිංහ මහතා සමග දැක්වූ අදහස් අසන්නට ලැබුණ නිසා මම එය පටිගත කරගත්තෙමි. ඒ එවැනි හඬ පට කැමැති විටෙක අන්තර් ජාලය හරහා ඇසීමට ක්‍රමයක් නොමැති බැවිනි. පහත ඇති එම හඬ පටය ට සවන් දෙන්න.



චැනල් 4 සමග තරඟ කිරීමට අපේ විදෙස් තානාපති අංශ තවමත් සමත් නැත. එසේ වුවද ශවේන්ද්‍ර සිල්වා වැනි දක්ෂ නිලධාරීන් ඔවුන් සමග තනිව සටන් කර ජය ගන්නා සැටි දකින විට මට සිතෙන්නේ අවශ්‍ය කැපවීම සහ ඉදිරිපත්වීම ඇති නිලධාරීන් සිටින තාක් ශක්තිමත් විදේශ සේවයක් නිර්මාණය කිරීම අභියෝගයක් නොවන බවයි. දැන් වහාම කළ යුතුවන්නේ විදේශ සේවා නිලධාරීන්ගේ පුහුණුව ගැන විස්තරාත්මක සමාලෝචනයක් කිරීමය. විදේශ සේවා නිලධාරීන් රටේ න්‍යාය පත්‍රයට විනා සිය පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව කටයුතු කිරීම නවතා දැමිය යුතුය. විදේශ සේවා පුහුණුවේ දී දීන නිලධාරීන් ඇතිකිරීමට තුඩුදෙන යම් පුහුණු ක්‍රමවේදයක් ඇත් දැයි සොයා බැලිය යුතුය. දිගු කලක් විදේශ රට වල සිට පැමිණෙන බහුතරයකගේ අදහස නම් අපේ තානාපති අංශ වලින් කෙරෙන දෙයක් නැති බවයි.
කෙසේ වුවද රට මුහුණ දෙන අභියෝල වලදී පටු දේශපාලන අරමුණු වල රැඳී සිටිමින් රටට ද්‍රෝහී වන්නන්ගෙන් අපි ප්‍රවේසම් විය යුත්තෙමු. මොවුහු අප අතරම රැඳී සිටිමින් විවිධ බොරු ප්‍රචාර ඇති කරමින් අවංක නිලධාරීන් අවතක්සේරුවට ලක් කිරීමටත් මහජනයා මුලා කොට රට අසමගි කිරීමේත් නියැළී සිටිත්. මේ බලවේග පරාජය කිරීමට නම් ජනතාවගේ එකමුතු බව සහ අවදියෙන් සිටීම අත්‍යාවශ්‍යයවේ.

විශේෂ ස්තූතිය - ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ස්වාධීන රූපවාහිනිය, බොස්ටන් ලංකා නිවුස්

Saturday, July 16, 2011

ලැබූ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට නම්..

වසර 30 කට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව මුහුණ දුන් යුධමය වාතාවරණය නිමවී දැන් වසර 2කට මඳක් වැඩි කාලයක් ගතවී ඇත. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ අප රට පාලනය කිරීම පහසු කරගැනීම සඳහා රටේ පුරවැසියන් එකිනෙකා ගෙන් ඈත් කර බෙදා පාලනය කිරීමේ ක්‍රමයක් අධිරාජ්‍යවාදීන් විසින් ක්‍රියාත්මක කරන ලද බව නොරහසකි. මේ ක්‍රමය බ්‍රිතාන්‍යයන් විසින් පවත්වාගෙන යන ලද්දේ ශ්‍රී ලාංකික අපගේ යහපත වෙනුවෙන් නොවන බව කුඩා දරුවකුට වුවද පැහැදිළි වන කරුණකි. බෙදා වෙන් කරනු ලැබූ ජාතියක් පාලනය කිරීම අධිරාජ්‍යයට අතිශය ලාභදායීය. ඔවුන් මෙහිදී සිදු කළ අදූරදර්ශී ආත්මාර්ථකාමී වැඩපිළිවෙල ශ්‍රී ලාංකීය ජාතියේ ප්‍රධාන සංස්කෘතීන් දෙකට අයත්වූ සිංහල සහ දෙමළ ජනවර්ග අතර සැකය සහ දුරස්ථභාවය ඇතිකළ අතර ඔවුනොවුන් එකිනෙකාගෙන් ඈත්වූ දෙපිරිසක් බවට පත්වූයේ ප්‍රධාන වශයෙන්ම වෛරයේ මූල බීජයන් බ්‍රිතාන්‍යයන් විසින් ඇති කළ අසමාන ලෙස සැළකීමේ කෙතේ සරුවට පැළ වූ නිසාය.
නිදහසින් පසු සිංහල අප අපේම රටේ උපන් දමිළයන් වෙත දැක්වූ ආකල්පයට හේතුවූයේ ප්‍රධාන කොටම අධිරාජ්‍යවාදීන් ස්වකීය පාලන කාලය තුළ දී දමිළයන්ට වැඩිපුර සැළකුවාය යන අත්දැකීමයි. නිදහසින් වසර 60 කට මඳක් වැඩිකාලයක් ම මේ නිසා ඇතිවූ විවිධ ගැටුම් අවසන් වූයේ සිංහල සහ දමිළ යන ජාතීන් දෙකට පමණක් නොව සමස්ථ ශ්‍රී ලාංකික ජාතියටම මහත් හානි ගෙන දෙමින් බව මැදහත්ව බලන ඕනෑම නිරීක්ෂකයෙකුට පෙනී යයි.
එල්.ටී.ටී.ඊ සංවිධානය ශ්‍රී ලංකාව තුළ යුධමය වශයෙන් සම්පූර්ණයෙන්ම පරාජය වී ඇති වාතාවරණයක දකුණේ අප සැවොම දැන් සියල්ල අවසන් යැයි සිතා සැනසුම් සුසුම් හෙලා සියල්ල අමතක කර දමන්නේ නම් අපි තරම් අනුවණයෝ තවත් නොවන්නෙමු. මා එසේ කියන්නේ අප දැන් හැසිරෙන්නේ එසේය යන හැඟීමක් මා තුළ විටින් විට ඇති වන නිසාය.
යුද්ධයක් යනු සුන්දර අත්දැකීමක් නොවේ. යුද්ධය ජයග්‍රාහකයාට මෙන්ම පරාජිතයාටද ගෙන එන්නේ වේදනාවෙකි. එසේ නොවන්නේ නම්, යමෙක් යුද්ධය රස විඳිය හැකි අත්දැකීමක් සේ සිතන්නේ නම්, එම තැනැත්තා පරපීඩක කාමුකත්වය නමැති දරුණු මානසික ව්‍යාධියෙන් පෙළෙන්නෙකි. යුද්ධය අවසන් වූ දිනයේ අපි සතුටුවූයෙමු. කිරිබත් පිස එකිනෙකාට බෙදා ගත්තෙමු. මුළු මහත් රට පුරා මඟුල් සිරි ගත්තේ තවදුරටත් මේ රටේ ලේ නොහැලෙතැයි යන බලාපොරොත්තුවෙනි. සිංහල,දෙමළ මුස්ලිම් අපට ප්‍රභාකරන් ගේ මරණය මඟුලක් වූයේ නැවතත් බස් බෝම්බ, ගම්මානවලට වැදී කරන ජන සංහාර ආදී දරුණු ආරංචි නැවතත් නො ඇසෙන බවට එය පෙරවදනක් වූ නිසා මිස දමිළයෙක් මිය ගිය නිසා නොවේ.
අපි වසර ගණනාවකට පෙර සංවේදී ජාතියක්ව සිටියෙමු. ලොකු කුඩා ඕනෑම සතෙකුගේ මරණයකදී අපි අනේ! අපොයි! කියන්නට හැකි තරම් සංවේදී වූයෙමු. දශක 3ක් මුළුල්ලේ පැවැති අඳුරු බිහිසුණු යුද්ධය අපගේ ජාතික සංවේදී තාවය මොට කොට ඇත.
යුධ ජයග්‍රහණයෙන් ඔද වැටී සිටින අපි දැන් යථාර්තය දෙස නැවත හැරී බැලිය යුත්තෙමු. වසර දහස් ගණනක් එකට සිටි සමාන්තර සංස්කෘතීන් දෙකකට අයත් සිංහල සහ දමිළ ජාතීන් එකිනෙකාගේ පරම සතුරන් බවට පත් කළ ඓතිහාසික සාධක දෙස අපි දැන් අවධානය යොමු කළ යුත්තෙමු. සිංහල රජයයන් දිගින් දිගටම දමිළ ජාතිකයන්ට වෙනස් කම් කළේය යන බරපතල චෝදනාව මින් ඉදිරියට කිසිදු රජයකට අසන්නට නොලැබෙන සේ කටයුතු කිරීමට නම් අපේ දමිළ සොයුරන්ට එසේ වෙනස් කම් කරන්නා සේ හැඟෙන ලෙස අප හැසිරී ඇත්දැයි අපි විසින්ම ස්වයං විවේචනයක යෙදිය යුතුය. දමිළයනට බ්‍රිතාන්‍යයන් වැඩිපුර සැළකුම් දැක්වීම දමිළයන්ගේ වරදක් නොව අප එකිනෙකාගෙන් ඈත් කිරීමට බ්‍රිතාන්‍යයන් පාවිච්චි කළ උපායක් බව අප විසින් තේරුම් ගත යුතුව ඇත. එමෙන්ම විවිධ අවස්ථා වලදී අඩුවැඩි වශයෙන් සෑම රජයක්ම ජනප්‍රිය වීමේ උපක්‍රමයක් ලෙස ජාතිවාදී ආකල්ප ජනයා අතර වගාකල බවද තේරුම් ගත යුතුය. මේ චෝදනාව සිංහල දේශපාලනඥයින්ගෙන් බහුතරයකට මෙන්ම දමිළ දේශපාලනඥයින්ගෙන් ද බහුතරයකට සාධාරණය. එනිසා අප සියළු දෙනා අතින් යම් යම් වැරදි සිදුවූ බව පිළිගැනීම අනාගත ශක්තිමත් රාජ්‍යයක පදනම දැමීමක් වනු ඇත.
අතීතයේ වූ යම් යම් අඩුපාඩු විග්‍රහ කොට හඳුනා ගැනීමත් වර්තමානයේ සහ අනාගතයේදී එම වැරදිම නැවත නැවත සිදු නොකිරීමත් ඉතා වැදගත්වේ.
යුද්ධය අවසන් වීමත් සමග වසර ගණනා වක් තිස්සේ ප්‍රමාද වූ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන් උතුර නැගෙනහිර මෙන්ම දකුණේද වහ වහා ක්‍රියාත්මක වන බව පෙනේ.යුද්ධයේ අවසන් භාගයේ සිට වසර එකහමාරක් පමණ නැගෙනහිර පළාතේ සිටි මම නැගෙනහිර පළාතේ සිදුවූ වේගවත් සංවර්ධනය සියැසින් දුටුවෙමි. ඒවා ඉතා සිත්ගන්නා සුළු ඒවා වූ අතර ඒ ගැන ප්‍රශංසා නොකර සිටීම දේශපාලන කුහක කමකි. මේ විශාල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වන අතරම ඒවායේ ගුණාත්මක භාවය ගැනද නිරන්තර අවධානයෙන් සිටීම වැදගත්වේ. මන්ද යත් මේ සංවර්ධන ව්‍යාපෘතීන් බොහෝමයක් සිදුවන්නේ විදේශයන්ගෙන් ලබා ගන්නා ණය ආධාර වලින් වීමයි. අප විසින් ආයෝජනය කරන මුදල් උපරීම ඵලදායකතාවකින් යුතුව වියදම් කෙරෙන බවට රජය සෑමවිටම වගබලා ගතයුතුය.

මෙවැනි දැවැන්ත සංවර්ධන යෝජනාක්‍රම ක්‍රියාත්මක වීමේ සැබෑ අරුත රටට ලැබෙන්නේ යොදන මුදලට  ලබාගත හැකි උපරිම ආර්ථික වාසි ජනයා වෙත ලබාදීමෙන් පමණි. මේ අතර ජනතාව අතරින් නැගෙන මැසිවිලි දෙසත් අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ.
උතුරු පළාත තුළ නැගෙනහිරට වඩා සංකීර්ණ තත්ත්වයක් ඇති බව අප සියළු දෙනා වටහා ගත යුතුය. නැගෙනහිර පළාතේ පාලනය එල්.ටී.ටී.ඊ යට තනිව බොහෝ කාලයක් පවත්වා ගැනීමට නොහැකි වුවද උතුර පසුගිය දශක 3දී වැඩි කාලයක් ඔවුන්ට නතුව තිබිණ. මේ වන විට බිම් බෝම්බ ඉවත් කිරීම සහ නැවත පදිංචි කිරීම් කරගෙන යනු ලැබේ. උතුරේ මේ දින වල ඡන්ද උණුසුමක් ද පවතින බැවින් මේ ටික නොලියාම බැරිය. රජය තමන් විශාල කාර්යයක් උතුරේ ජනයා වෙනුවෙන් කර ඇති බවට හැඟීමකින් පසුවන අතර විරුද්ධ මතධාරීන් රජයෙන් කිසිවක් සිදුවී නැතැයි ඔප්පු කිරීමට පසුබට නොවන බව ජනමාධ්‍ය හරහා නිකුත් වන විවිධ වාර්තා වළින් පෙනී යයි.
උතුර සම්බන්ධයෙන් රජය වඩාත් සංවේදීව කටයුතු කළයුතු බව මගේ හැඟීමයි. පළමු කොටම එහි වෙසෙන ජනයා දීර්ඝ කාලයක් එල්.ටී.ටී.ඊ ය  යටතේ ජීවත් වූ ජනතාවකි. ඔවුන් ට අළුත් දේශපාලන වට පිටාවට හුරු වීමට යම් කාලයක් ගතවනු ඇත. ඒ අතරම මෙම ප්‍රදේශ වල ජීවත් වන ජනයා යුද්ධය නිසා දැඩි පීඩාවට පත්වූ පිරිසකි. ඔවුහු කොටින්ගේ බලපෑම් මත බොහෝ දුරක් අවතැන් වූ වන් ලෙස ගමන් කලහ. මේ කාලයේදී කොටින් විසින් ඔවුන් පළිහක් ලෙස යොදාගත් අතර යුද්ධයේ ප්‍රචණ්ඩකාරී මතකයන් තවමත් ඔවුන් තුළ නැත්තේ නොවේ. මේ ජනයාට සහන සැලසීමේ දී තමන් බලෙන් යටත් කරගන්නා ලද පරාජිත ජන කොටසකැයි යන හැඟීම මොනම ආකාරයෙන් වත් ඔවුන් තුළට ඇතුළු නොවන සේ කටයුතු කිරීමට රජය වගබලා ගත යුතුය. මා එසේ පවසන්නේ යම් ලෙසකින් එවන් හඟීමක් ඔවුන් තුළ ඇතිවුව හොත් නැවතත් සිංහල රජය තමන් හට දෙවන පෙළේ පුරවැසියන්ට මෙන් සලකන්නේ ය යන සටන් පාඨයට ඔවුන්ව ග්‍රහණය කර ගැනීමට බෙදුම්වාදී බලවේගයන් පසුබට නොවන නිසාය. විශේෂයෙන් රජයේ නිලධාරීන් මේ ජනයාට සහන සැලසීමේ දී සංවේදී සහ කාර්යක්ෂම විය යුතුය.
 ඊයේ විකාශය වූ බී.බී.සී සංදේශයේ පහත හඬ පටයට හොඳින් සවන් දෙන්න.
මෙම වැඩසටහන සඳහා සහභාගී වූ ජිනසේන රතුගමගේ එහිදී උතුරේ සිටින නැවත පදිංචිවූ ජනයාගේ චෝදනා සහ දුක් ගැනවිලි ගැන සඳහන් කරන විට රාජ්‍ය නිලධාරීන් ගේ අකාර්යක්ෂම භාවය සහ දුර්වල ආකල්ප ගැන වැඩිබරක් තැබීමට පසුබට නොවේ. මෙහිදී ඔහු රජයේ නිලධාරීන් ගැන එතරම් සුභවාදී ලෙස කරුණු ඉදිරිපත් නොකළත් එහිදී නිලධාරීන්ගේ පැත්තෙන් යම් ප්‍රමාදයන් සිදුවන බව පිළිගැනීමට සිදුවන බව කිව යුතුය. උතුරේ දැන් පවතින තත්වය දිනකින් දෙකකින් වහා වෙනස් කිරීමට නොහැකි බව මම පිළිගනිමි. එසේ වුවද සාමාන්‍ය ජනයා අතර හැකිතාක් හොඳ හිත පවත්වාගෙන යාමට රජයට සිදුවන අතර එහිදී රාජ්‍ය නිලධාරීන් අනවශ්‍ය ප්‍රමාදයන් ඇති කරන්නේ නම් වහාම ඒ ගැන කටයුතු කිරීමට රජය මැදිහත් වියයුතුය. මන්ද යත් දැන් මේ ජනයා ගේ මනස ඕනෑම බලවේගයකට අවශ්‍ය ලෙස වෙනස් කළ හැකි බැවිනි. එසේ සිදුවුව හොත් ඉන් ඇතිවන පාඩුව දැරීමට සිදුවන්නේ රජයට පමණක් නොවේ, මුළු රටටමය.
මේ අතර ජාත්‍යන්තරව නැගෙන බලපෑම් වලට එරෙහිව විදේශ තනාපති නිලධාරීන් ඉතා කාර්යක්ෂම ලෙස කටයුතු කළ යුතුය. එසේ නොවුව හොත් අපට එරෙහි බලවේගයන් ජාත්‍යන්තරව අපවෙත තව තවත් පීඩනයක් එල්ල කරනු ඇත.චැනල් 4 වීඩියෝව පිළිබඳව මීට පෙර ලියූ නිසා ඒ ගැන වැඩි විස්තර නැවතත් නොලියමි. එසේ වුවද මෙහිදී අප වෙත එල්ල වන පීඩනය අඩු කර ගැනීමට ඉන්දියානු සාධකය හොඳින් කළමණාකරණය කර ගතයුතුවේ. යුද්ධය පැවැති කාලයේ දී මෙම අංශය වෙත දැක්වූ අවධානයම තවදුරටත් දැක්විය යුතු බව මා හට හැඟී ගියේ ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශකයා දැක්වූ ඇතැම් අදහස් නිසාය.
1. http://meaindia.nic.in/mystart.php?id=530317846
2. http://meaindia.nic.in/mystart.php?id=530317844
3.http://lankacnews.com/sinhala/news/channel-4%E0%B6%A7-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB-%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80/

ජාත්‍යන්තරව අප වෙත එන බලපෑම් සමනය කිරීමේ දී ඉන්දියානු සාධකයේ වැදගත්කම වෙනමම දීර්ඝ ලෙස සාකච්ඡා කරමු.

දැනට අප ලබා ඇති ප්‍රගතිය ඉතා විශිෂ්ඨය. ඒ ගැන විවාදයක් නැත. එල්.ටී.ටී.ඊ ය යුධමය වශයෙන් පරාජය කල පමණින්ම ශ්‍රී ලංකාවේ ප්‍රශ්ණය විසඳෙන්නේ නැත. අපි ප්‍රධාන අර්බූධයෙන් 50% ක් පමණ විසඳා ගෙන සිටිමු. එය නම් යුද්ධය ජය ගැනීමයි. ඉදිරියට ඇත්තේ වඩාත් අසීරු ඉතිරි 50%යි. එනම් ලැබූ ජය රැක ගැනීමයි. ඒ සඳහා සියළුම පුරවැසියන්ගේත් ,රජයේත්, අනෙකුත් දේශපාලන කණ්ඩායම් වලත් අවංක කැප වීම අත්‍යාවශ්‍යය.

Monday, July 4, 2011

ධනවාදයේ මීළඟ පියවර

වැඩවසම් ක්‍රමයෙන් ධනවාදයට හැරුණු ලෝකය පසුගිය ශතවර්ෂය පුරාම ක්‍රමයෙන් පරිණාමය වෙමින් මේ වන විට ධනවාදයේ ගෝලීයකරණ අවධියේ පසුවෙයි. යුරෝපයේ ධනේශ්වර විප්ලව අවුළුවා ලූ කාර්මික විප්ලවය ධනවාදී ආර්ථික ගමන වේගවත් කළේය. කාර්මික විප්ලවයත් සමග ලහි ලහියේ කර්මාන්ත මහා පරිමාණයෙන් වර්ධනය වීමත් සමග බටහිර යුරෝපය පුරා වේගවත් ධනේශ්වර “සංවර්ධන“ සුළං හමද්දී, ධනවාදයටම ආවේණිකවූ විවිධ අතුරු විපත් ද ලෝකයේ විවිධ අංශ වලට බලපෑවේය. යුරෝපයේ එතෙක් පැවැති දේවවාදී නියමයන්ට එරෙහි වෙමින් භෞතික වාදී විද්‍යාවන් පැන නැංගේ පෘථිවිය නමැති ග්‍රහ ලෝකය මිනිසාට පමණක් අයිති මිනිසාගේ සුඛවිහරණය පිණිස කඩා බිඳ හැඩතල ගන්වා වෙනස් කළ හැකි තවත් එක් “සම්පතක්“ බවට පත් කරමිනි.
ධනවාදය වනාහී ස්වභාවයෙන්ම මිනිස් ලක්ෂණයන් වූ තණ්හා, ආශා, රාග, ද්වේශ ආදී මනෝභාවයන් තවත් වැඩි දියුණු කිරීමට මනා සරු පසක් සහිත ආර්ථික කෙතකි. ධනවාදයේ මූලික අවස්ථාවේම එය මානව සමාජයටත් පරිසරයට හා සතුන්ටත් එල්ල කළේ දැඩි බලපෑමකි. මානව වර්ගයාට ධනවාදය මගින් සිදුවූ බලපෑම පිළිබඳ බහුල වශයෙන් සාකච්ඡා කෙරී ඇති බව පෙනෙතත් ඉතිහාසය තුළ අඩු වැඩි වශයෙන් පරිසරයට හා සමස්ත ලෝකයටම වූ බලපෑම ගැන සාකච්ඡා කෙරී ඇති ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව හැඟේ. එසේ හෙයින් ධනේශ්වර “සංවර්ධනයේ“ දිස්නයෙන් ගිණිකන වැටී සිටින මානවයා තමා කේන්ද්‍රීයව සිතා ඇති ප්‍රමාණය සමස්ත පෘථිවිය කෙරෙහි සිතා නැත. දහනව වන සියවසේ යුරෝපයේ සිටි අනාගතය ගැන යම් පුරෝකථනයක යෙදුන බුද්ධිමතුන් දෙපළක් වූ කාල් මාර්ක්ස් සහ ෆ්‍රෙඩ්රික් එංගල්ස් දෙදෙනා ධනවාදී අර්ථ ක්‍රමය මානව වර්ගයාට ඇති කළ බලපෑම පිළිබඳ කළ පර්යේෂණාත්මක විග්‍රහයකින් පසුව ධනවාදී අර්ථ ක්‍රමයට විකල්ප වශයෙන් සමාජවාදී මාක්ස් වාදය ඉදිරිපත් විය. මෙම ලිපියේ අරමුණ මාක්ස් වාදය ගැන සාකච්ඡා කිරීම නොවුවද ධනවාදය හා එහි හැසිරීම ගැන වූ සාකච්ඡාවෙකදී මාක්ස්වාදය ගැන සඳහන් නොකොට සිටීම කළ නොහැක්කකි. මාක්ස්වාදය වනාහී ධනවාදය සහ එහි අනාගතය පිළිබඳව (සර්වසම්පූර්ණව නොවුවත්) වූ අඳුරු අනාවැකියකි.
ධනවාදය යුරෝපයේ නැගී සිටීමත් සමගම වැඩවසම් ක්‍රමය තුලදී නොවූ ලෙස මෙම නව සමාජ ආර්ථික ක්‍රමයට සරිලන ප්‍රතිසංස්කරණ රාශියක් සමාජයේ සෑම ඒකකයක් තුළම සිදුවූ බව ඉතිහාසය දෙස හොඳින් බලන්නෙකුට පැහැදිළිව පෙනේ. මෙයට පෙර දේව ධර්මයට අනුකූලවවූ සංකල්ප පෞද්ගලික දේපල හා ලාභ ඉපැයීම මතවූ ධනවාදී ආකල්ප වලට අනුකූලව සංශෝධනයට බඳුන් විය. විශේෂයෙන්ම ඇතැම් රටවල් පොළිය සහ මුදල් ණයට දීම හා ණය අයකර ගැනීම සම්බන්ධයෙන් ආගමික සංශෝධන වලට පවා එළඹිණ. ධනවාදය ක්‍රමයෙන් විකාශය වෙමින් දියුණු වෙත්දී භයංකර අවතාරයක් මෙන් මාක්ස්වාදී චින්තනයද යුරෝපය පුරා කෙමෙන් කෙමෙන් පැතිරෙන්නට විය. පැරිස් කොමියුනයේ ඉතා කෙටි ආයුෂ ධනවාදය ට ඉස්පාසුවක් ඇතිකළද 1917 අග රුසියාවේ දී ඇතිවූ සමාජවාදී විප්ලවය ධනවාදයේ ඉදිරිගමකට එරෙහිවූ බාධකයක් ලෙස 1990 දක්වාම ලොව මත පැවැතියේය. ධනවාදයේ ගෝලීය අවධිය ප්‍රමාද කළ එක් සාධකයක් වූයේ මුලින්ම රුසියාවේත් ඉන් පසුව නැගෙනහිර යුරෝපයේ සහ චීනයේත් පසුව ලතින් අමෙරිකාවේ හා අප්‍රිකාවේත් ආසියාවේත් පැන නැගුන සමාජවාදී රාජ්‍යයන්ය.

කාර්මික ධනවාදය නැගී ඒමත් සමග වෙළඳපොළ සහ අමුද්‍රව්‍ය අරභයා ධනවාදී රටවල් අතර තරඟයක් ඇතිවිය. මේ තරඟය රටවල් සොයා ගොස් වෙළඳාම් කිරීමෙන් ඇරැඹී අධිරාජ්‍යය පුළුල් කරමින් යටත් විජිත අල්ලා ගැනීමක් දක්වා ඉක්මනින්ම වර්ධනයට ලක්විය. බටහිර යුරෝපා ජාතීහු මෙසේ අධිරාජ්‍යයන් පුළුල් කිරීමේ දී ඔවුනොවුන් ඇණ කොටා ගන්නා තත්ත්වයකට පත්වූ අතර යුරෝපයේ දී ඔවුන් පෙන්වීමට තැත්කළ ශිෂ්ඨාචාරවත් හැසිරීම කිසිවිටෙකත් සිය යටත් විජිත වලදී හෝ ඔවුනොවුන් අතර සිදුවූ සටන් වලදී ප්‍රදර්ශනය ‍නොවීය. තණ්හාව මුල් කරගත් ලාභ පරමාර්ථයෙන් යුතු වෙළඳාම් පවත්වා ගැනීමට යාමේ දී වූ තරඟය මේ යුගයේ ධනවාදී ආර්ථිකයන්ට දරා ගත නොහැකි තත්ත්වයට පත්වන විට ලෝකයට පළමු වතාවට ලෝක ව්‍යාප්ත සංග්‍රාමයකට මුහුණ දීමට සිදුවිය. ඒ පළමු ලෝක සංග්‍රාමයයි. පළමු ලෝක සංග්‍රාමයට ආසන්න හේතුන් මොනවා වුනත් එයට අඩිතාලම් දැමූ දීර්ඝ කාලීන හේතුව වන්නේ ධනවාදී ආර්ථික ක්‍රමය තුළ එකිනෙකා පරයා ලාභ ලැබීමේ නොනිමි ආශාවයි.
පළමු ලෝක සංග්‍රාමය අවසන් වීමත් සමග එහි අතුරු විපාක හා ආර්ථික පාඩුව පිළිබඳව ධනවාදී රටවල් අතර වූයේ පසුතැවිලි සහගත බවකි. ධනවාදී ආර්ථිකය මඳක් හෝ ශිෂ්ඨ සම්පන්න කරනු වස් මීළඟ පියවරවූයේ ජාතීන්ගේ සංගමයයි. නමුත් මේ වන විට පැවති ලෝක ආර්ථික රටාව පිළිබඳ නිවැරදි තක්සේරුවක් එයට එක්වූ නායකයින් අතර වූ බවක් නොපෙනේ. එසේ වූවා නම් ඉතා කෙටි කලෙකදී නැවතත් ලෝක යුද්ධයක් ඇරඹෙන්නේ නැත. ජයග්‍රාහකයා පරාජිතයා පීඩනයට හා අවමානයට පත් කිරීමේ අශිෂ්ඨ, සදාචාර විරෝධී ලක්ෂණ නිසාම ජාතීන්ගේ සංගමය සාර්ථක නොවීය. ඒ සමගම අවමානයට පත් ජර්මනියේ අභිමානය වෙනුවෙන් යැයි කියා ගත් ඇඩොල්ෆ් හිට්ලර් ධනවාදී අර්බූධයෙන් ගොඩ ඒමේ අවසන් තුරුම්පු වලින් එකක් වූ ෆැසිස්ට්වාදය  යොදා ගනිමින් යුදෙව් සංහාරයක් සමග දෙවැනි ලෝක යුද්ධයට අවතීරණ විය. මේ වන විට ධනවාදී අර්ථ ක්‍රමයේ විකල්ප සතුරා වූ සමාජවාදය රුසියාවේ සෝවියට් සමූහාණ්ඩු සංගමය ඇති කොට තිබිණ. ඒවන විට බලයේ සිටි  ජෝසප් ස්ටාලීන් සම්බන්ධයෙන් අපගේ මතය කුමක් වුවත් ස්ටාලින් ගේ රුසියාව ධනවාදයටද ෆැසිසට් වාදයටද එරෙහි රෝධකයක් ලෙස ක්‍රියා කල බව කිව යුකුය. දෙවන ලෝක යුද්ධය නිම වූයේ තවදුරටත් බෙදී සටන් කිරීමේ ක්‍රමය නවතා දැමීමට ධනවාදී කඳවුරට බල කරමිනි.
දෙවැනි ලෝක යුද්ධය ගෙනා බිහිසුණු ආර්ථික හා සාමාජීය විනාශය මානව වර්ගයාගේ හෘද සාක්ෂිය ටික කලකට හෝ කම්පනයට පත් කළ බව පෙනේ. එසේවුවද ඒ ටික කාලය තුළම ධනවාදයේ වර්ධනය සඳහා වන ක්‍රියාමාර්ග ගැනීමට පිඹුරුපත් සැකසීමට ධනවාදී නායකයින් පසුබට නොවූහ. ස්ටාලින් ගේ නායකත්වයෙන් යුතු සෝවියට් සංගමය ලෝක ව්‍යාප්ත සමාජවාදී විප්ලවය පසෙක තබා ධනවාදී නායකයින් හා සාමයට එක්වූ අතර තවදුරටත් බෙදී සටන් නොකොට එක්ව සටන් කළ යුතු ධනවාදය ආරක්ෂා කරන්නාවූ යාන්ත්‍රණයක් සෑදිමට ලෝක ධනේශ්වර නායකයෝ එක්වූහ. ඒ අන් කිසිවක් නොව එක්සත් ජාතීන්ගේ සංවිධානයයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භ වන්නේ පෘථිවියේ මින් කිසි දිනෙක නැවත යුද්ධ ඇති වීම වැළැක්වීමටත්, ලෝකය පුරා වෙසෙන මානව වර්ගයාගේ අභිවෘද්ධිය පිණිසත් ය යන පරමාදර්ශයන් සහිතවය. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්වකීය පරමාර්ථයන් මුදුන්පත් කරගැනීමට අසමත් වූ අසාර්ථක යාන්ත්‍රණයක් බව ගතවූ වසර හැටකට අධික එහි ඉතිහාසය සාක්ෂි දරයි. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ධනවාදයේ පරිණාමය නම්වූ එහි සැඟැවුනු අරමුණ දක්ෂ ලෙස ඉටු කරමින් සිටින බව නම් පැහැදිළිය.
සෝවියට් දේශයේ බිඳ වැටීම සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණ නොවන නිසා ඒ ගැන වැඩිදුරටත් කථා නොකරමි. එසේ වුවද 1990 වසරේදී සෝවියට් දේශය බිඳ වැටෙන තෙක්ම ධනවාදයේ මහා පරිමාණ ගෝලීයකරණයට එය පැහැදිලි බාධකයක් විය. සෝවියට් දේශය බිඳ වැටීමත් සමගම ධනවාදය ත්වරණයකින් යුතුව වේගයෙන් ලොව පුරා පැතිර ගියේ එහි මහේශාක්‍ය ආඩම්බරයත් සමගය. මාක්ස්වාදයේ ඇතැම් පුරෝකථනයන් සාර්ථක නොවුවත් ධනවාදයේ ගෝලීය කරණයත් සමගම නැවතත් මාක්ස්වාදයේ ඇතැම් පුරෝකථන දෙස දේශපාලනය පිළිබඳ උනන්දුවක් ඇති අය අතර නැවතත් සංවාදයන් ඇති වන බව පෙනේ. ගෝලීයකරණයත් සමග ලොව පුරා පැතිරී ගිය නව ලිබරල් වාදී ආරථික ක්‍රමය ඇතැම් අර්ථ ශාස්ත්‍රඥයන්ගේ මහත් ප්‍රශංසාවටත් තවත් පිරිසකගේ දැඩි විවේචනයටත් බඳුන් විය. පසුගිය වසර කිහිපයේ ලෝක ආර්ථිකය මුහුණ දුන් දැවැන්ත ආර්ථික පසුබෑමත් සමග මෙම විවේචන දැඩි වූ අතර ගෝලීයකරණ වාටියේ රැඳී සිටින අප වැනි රටවල් නව ලිබරල්වාදී ක්‍රමයට පූර්ණ ලෙස අනුගත වී නොතිබීම අප වෙත දැනුනු පීඩනය යම් මට්ටමකින් සමනය කළේය යන්න බොහෝ තැන් වලින් අසන්නට ලැබින.
ධනවාදී අර්ථ ක්‍රමය සහ එමගින් මානව වර්ගයාට සිදුවූ වාසි පිළිබඳව බටහිර රටවල ආර්ථික විද්‍යාඥයින් නිතරම කථා කරනු අසන්නට ලැබේ. බොහෝ පොත පත ද ඒ ගැන ලියා පළ කොට ඇත්තේ ධනවාදී ක්‍රමය වනාහී මෙතෙක් ලොව පහල වූ හොඳම දෙයයැයි ඒත්තු ගන්වමිනි. සමාජවාදය යන වචනය ඉතා බියකරු දෙයක් ලෙසත් ස්වභාව ධර්මයේ නීතීන්ට පටහැනි දෙයක් ලෙසත් එනිසාම එය බිඳ වැටුණු බවත් මේ උගත්තු මහත් අභිරුචියෙන් දේශනා කරති. මේ පිළිබඳ ඉදිරියේ දී වෙනම සාකච්ඡා කිරීමට ඉඩ ලබා ගනිමින් වර්තමාන ලෝකයේ ආර්ථික තත්ත්වය සහ එහි අනාගතය ගැන ඉතා සංශිප්ත ලෙස සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි. ධනවාදයේ සහ සමාජවාදයේ විවිධ අවධි හා ඒ ඒ අර්ථ ක්‍රමයන් මානව වර්ගයාවෙත ලබාදුන් දායාදයන් පිළිබඳ ව අපි පසුව විස්තර වශයෙන් කථා කරමු.
මේ වන විට ධනවාදය පසු කරමින් සිටින්නේ එහි ගෝලීය අවධියයි. අප කැමති වුවත් නැතත් අපට මුහුණ දීමට සිදු වී ඇති සත්‍යය මෙයයි. මේ යථාර්තයට මුහුණ දීමට පවතින භූ දේශපාලන වටපිටාව මානව වර්ගයා කෙරෙහි බල කර සිටියි. ධනවාදී ක්‍රමය ආරක්ෂා කරනු වස් ඒ ඒ ධනවාදී රට වල ව්‍යවස්ථාපිතව ඇති කරගත් ශක්තිමත් ආයතන ව්‍යූහයක් ඇති අතර මේ ගෝලීය අවධියේදී ඉන් එහාට ගිය අන්තර්ජාතික ආයතන ව්‍යූහයක් අවශ්‍ය විය. පළමුව අපි රාජ්‍යයන් තුළ ධනේශ්වර ක්‍රමයේ පැවැත්ම සහ  ආරක්ෂාව සඳහා ඇති ආයතන ගැන සලකා බලමු. ධනවාදී ක්‍රමය හෙවත් බටහිර අර්ථ ශාස්ත්‍රඥයින් වඩාත් ස්වභාවික ලෙස හඳුන්වන ආර්ථික ක්‍රමය ස්වභාවයෙන්ම ප්‍රබලයා විසින් දුබලයා පාලනය කරනු ලබන සාධාරණ නොවූ සංවිධානයකි.(ලෝකය සර්ව සාධාරණ නැත!). මේ නිසා හැකි සෑම විටෙකම පීඩනයට පත් කරනු ලැබූ (පීඩිත) පංතිය ස්වකීය ස්වාමි වරුන් ලෙස පෙනී සිටින පීඩකයාට හෙවත් පාලකයන්ට එරෙහිව නැගී සිටිනු ඇත. නිරන්තර ව මෙවැනි නැගී සිටීම් ඇතිවීම ධනවාදයේ සුමට ගමනට වන අවහිරයකි. මේ අවහිරය පාලනය කිරීම ට සහ ධනවාදයේ මූලික ලක්ෂණය වන පුද්ගලික දේපල වල ආරක්ෂාව පිණිස ධනවාදී සමාජය විසින් මෙම ආයතන හඳුන්වා දී ඇත.
ධනවාදී සමාජය තුළ විටින් විට ඇති වන කලබගෑනි සමථයකට පත් කිරීමටත් නිර්ධනයා, සුළු ධනපතියා සහ ධනපතියා අතර පිළිගත හැකි පරිදි සම්පත් බෙදා ගැනීමටත් නීති සම්පාදනය කළ යුතුය. ඒ සඳහා වන ව්‍යූහය වන්නේ ව්‍යවස්ථාදායකයයි. විවිධ රටවල විවිධ නම් වලින් හඳුන්වනු ලැබූවද මේ සියළු ආයතන වල පොදු කාර්යභාරය වන්නේ ඉහත කී පරිදි නව නීති සම්පාදනය සහ ධනවාදය විසින් උපයනු ලබන අතිරික්ත ප්‍රාග්ධනය සමාජයේ ස්ථර අතර හැකිතාක් දුරට පිළිගැනීමට හැකිවන පරිදි බෙදා දීමයි. මෙම නීති ක්‍රියාත්මක කොට ධනේශ්වර රාජ්‍යය පවත්වාගෙන යාම විධායකය විසින් කරනු ලැබේ. මේ සඳහා විධායකයට සහාය වීම සඳහා ආයතන රාශියක් ඇත. පොලිසිය, සන්නද්ධ හමුදා, රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය විධායකයට සිය කාර්යයන් සාර්ථක ලෙස කරගෙන යාම සඳහා අවශ්‍ය වන්නාවූ උපකරණ වලින් කිහිපයකි. ව්‍යවස්ථා දායකය හා විධායකය පමණක් වූ පමණින් ධනේශ්වර රජය පවත්වා ගත නොහැක. මන්දයත් ලෝකය පුරාම දක්නට ලැබෙන පරිදි සුළු ධනේශ්වර කොටස් සහ නිර්ධන පංතිය සෑම විටෙකම එම ආයතන දෙක දෙස සැකයෙන් බලන බැවිනි. මේ සැකය දුරු කිරීම වස් හැකිතාක් දුරට අපක්ෂපාතී හෝ අවම වශයෙන් එසේ පෙනෙන අධිකරණ ක්‍රමයක් අවශ්‍ය වන්නේය. වැඩවසම් ක්‍රමයේ වූ හානිකර ලක්ෂණ වළින් හොඳහැටි බැටකා ඇති සුළු ධනේශ්වර පංතිය වඩාත් ශක්තිමත් සහ අපක්ෂපාතී අධිකරණ පද්ධතියක් නොමැතිව නූතන ධනවාදයේදී සෑහීමකට පත්වන්නේ නැත. මෙසේ ඉතා සංශිප්තව දක්වන ලද්දේ ධනේශ්වර රාජ්‍යයයේ  පැවැත්ම උදෙසා පැහැදිලි බෙදීමක් සහිත රාජ්‍ය සංවිධාන වල කාර්යභාරයයි. නමුත් ධනවාදය එහි ගෝලීය අවධිය ට පිවිසෙත්ම ඇතිවූ සන්නිවේදන විප්ලවයත් සමගම සාම්ප්‍රදායික රාජ්‍යයයේ තවත් වැදගත් ස්ථානයක් ජන මාධ්‍යය හෙවත් තොරතුරු වෙත ලැබිණි. ඇතැම් දේශපාලන විද්‍යාඥයින් රජ්‍යය යන සංකල්පයේ හතරවන කුළුණ ලෙස ජන මාධ්‍යය හඳුන්වන්නේ ඒ නිසාය. ඇත්තෙන්ම ජනමාධ්‍යය සහ සන්නිවේදන තාක්ෂණය ධනේශ්වර ක්‍රමයේ පැවැත්ම තහවුරු කරන්නාවූ ඉතා වැදගත් සංකල්පයක් සහ බලවේගයකි. ධනේශ්වර ආර්ථිකයේ වෙළඳ ප්‍රචාරණයේ සිට සංඛ්‍යාත්මකව බහුතරයක් වන්නා වූ සුළු ධනේශ්වර පංතියේ විනෝදාශ්වාදය සහ බහුතර සමාජයේ හෘද සාක්ෂිය පාලනය කිරීම දක්වාම ජනමාධ්‍යය විසින් ධනවාදය වෙත සිදු කරන්නේ දැවැන්ත මෙහෙයකි.
ගෝලීය ධනවාදයේ දී ධනේශ්වර අර්ථ ක්‍රමය පෙර නොවූ විරූ ලෙස සියළු දේශ සීමා බිඳ දමා දෙගොඩ තලා ගලන මහා ගංවතුරක්සේ ලොව පුරා පැතිරී යන හැටි අපි දැන් සජීවීව අත් දකිමින් සිටින්නෙමු. මේ ජාත්‍යන්තර ධනවාදය ආරක්ෂා කර ගැනීම සඳහා ශක්තිමත් යාන්ත්‍රණයක් ලොව පුරා විහිදී තිබිය යුතුය. මෙහි ව්‍යවස්ථා දායක කාර්යයට අද පණ දී ඇත්තේ ලෝක සාමය සඳහාය යන පරමාදර්ශී අරමුණ ඇතිව බිහිකළ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. ඒ හැර වෙනත් විකල්පයක් ධනවාදී අර්ථ ක්‍රමය සතුව නැත. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විධායකයේ කාර්යයන් ඉටු කරද්දී එහි හොඳම උපකරණ බවට පත්ව ඇත්තේ නේටෝ සංවිධනය සහ දෙවන ලෝක යුද්ධයේ “මිත්‍ර පාර්ශවයේ රට වල හමුදාවන්“ ය. ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණය, ජනීවා හි මානව හිමිකම් මණ්ඩලය සමග ලෝක වෙළඳ සංවිධානය අඩු වැඩි වශයෙන් අධිකරණ බලතල ක්‍රියාත්මක කරණ යාන්ත්‍රණ බවට පත්ව ඇත.
දැන් අපි ධනේශ්වර ක්‍රමයේ පැවැත්ම උදෙසා මේ එක් එක් ආයතන වල කාර්ය භාරය මඳක් විමසමු.

දෙවන ලෝක යුද්ධය වනාහී මේ මිහිමත ඇතිවූවා වූ ඉතා කටුකතම, දරුණුතම සහ මානව හෘද සාක්ෂිය දරුණුලෙස ප්‍රශ්ණයට ලක් කළා වූ සිදුවීමයි. මෙම යුද්ධයේදී සියළුම පාර්ශ්ව කරුවන් අඩු වැඩි වශයෙන් මානව වර්ගයාට එරෙහි අපරාධ වල නිරත වූ බව පැහැදිළිය. නියුරම්බර්ග් යුධ අපරාධ අධිකරණයේදී හා හේග් යුධ අපරාධ අධිකරණයේ දී හෙළි වූ යේ බහුල වශයෙන්ම පරාජිත අක්ෂ බලවතුන්ගේ සැහැසිකම්ය. එසේ වුවද මිත්‍ර ජාතීන් අතින් ද දරුණු ගණයේ යුධ අපරාධ සිදු වූ බව නොරහසකි. එසේ වුවත් අද අපට ඇඟිල්ල දිගු කරන කිසිවෙක් තමතමන් විසින් කළ අපරාධ ගැන ස්වයං විවේචනයක යෙදීමට කැමැති වන්නේ නැත. මේ ඉතා අමිහිරි අත්දැකීම් වලින් පසුව තව දුරටත් මෙවැනි අත් දැකීමක් විඳීමට මානව හෘද සාක්ෂියට අවශ්‍ය නොවීය. එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිවන්නේ එලෙසයි. මානව වර්ගයා ස්වකීය ප්‍රචණ්ඩත්වයෙන් කම්පනයට පත්වූ තරම කෙතරම් ද කිවහොත් නැවතත් තමන් අතින් මෙවැනි විනාශයක් වීම වැළැක්වීම පිණිස ස්වකීය දෑත් වලටම යදම් ලා ගැනීමට සාමාජික රටවල් පසුබට නොවූ බව පෙනේ. එහෙත් මහා බලවතුන් තම අත්වලට අනෙකුත් සාමාජික රටවල් දමාගත් විලංගු දමා ගත්තේ නැත. ඒ වෙනුවට ඔවුන් සිය දෑත් වලට වඩා ලිහිල් සහ වඩා දුර්වල බැමි දමා ගත්හ. මේ නිසා මහා බලවත්තු අනෙකුත් සාමාජික රටවල් වලට වඩා වැඩි වරප්‍රසාද සහ පාලන බලතල උසුලති. මේ වනාහී වෙන් වෙන්ව අධිරාජ්‍ය පිහිටු වීමට වඩා එක්ව අධිරාජ්‍යයක් පිහිටුවා ඒ මත ස්වකීය ආධිපත්‍යය පැතිර වීමේ ධනේශ්වර බටහිර ව්‍යාපෘතියයි. දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානය අන්තර් ජාතික සාමයට වඩා අන්තර්ජාතික යුද්ධ සඳහා සාමූහික අනුමැතිය ලබා දෙන ආයතනයකි. මේ සඳහා හොඳ උදාහරණ කිහිපයක් දෙස හැරෙමු.
 ඊශ්‍රායලය යනු දෙවන ලෝක යුද්ධයට පෙර ලෝක සිතියමේ වූ රටක් නොවේ. නමුත් පලස්තීනුවන් රටක් නැති සරණාගතයින් බවට පත් කරමින් නිර්මාණය කරන ලද ඊශ්‍රායලයේ හිතුවක්කාරී ක්‍රියා වලට එරෙහිව එක්සත් ජාතීන් කෙතරම් යෝජනා මහා මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේද? අද දක්වාම රටක් නැති පලස්තීනුවන් වෙනුවෙන් එම යෝජනා වලින් කීයක් ක්‍රියාත්මක කර තිබේද? 
කියුබාවේ සමාජවාදී පාලනය පෙරලා දැමීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ සංවිධාන ව්‍යූහය මොන තරම් යොදා ගෙන ඇත්ද? එයට එරෙහි රටවල් අති බහුතරයේ ඡන්දයෙන් යෝජනා සම්මත වූවත් ඒවා ක්‍රියාත්මක වී තිබේද?
ඉරාකය ආක්‍රමණයට අමෙරිකාව පෙළඹුණේ ඉරාකය සතුව සමූහ ඝාතක යුධ අවි තිබූ නිසා නොවන බව දැන් හෙළි වී ඇත. ඇත්තම හේතුව වූයේ ධනවාදයේ ගෝලීයකරණයට සදාම් හුසේන් සිය රට අනවශ්‍ය ලෙස විවෘත නොකිරීමයි. නමුත් ජාත්‍යන්තර මාධ්‍ය මගින් මහා අපරාධකරුවෙකු ලෙස පින්තාරු කරනු ලැබූ සදාම් හුසේන් පාලනය අවසන් කොට පක්ෂපාතී අධිකරණයක් ඉදිරියේ වූ විහිළු නඩු විභාගයකදී වැරදි කරු කරන ලද සදාම් හුසේන්ව මරා දමනු ලැබූයේ ශිෂ්ඨ සම්පන්න මානව හෘද සාක්ෂිය ඉදිරියේ ප්‍රශ්නාර්ථයක් තබමිනි.
ලිබියාවේ දැන් පවතින යුද්ධය ගෝලීය ධනවාදය ආරක්ෂා කිරීම සහ එහි ව්‍යාප්තිය සහතික කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය යොදා ගැනීමට හා නේටෝව උපකරණයක් ලෙස යොදා ගැනීමට හොඳම උදාහරණ වේ. ගඩාෆි ගෙන් ලිබියානු ජනයා බේරා ගැනීම කෙසේ වෙතත් ධනේශ්වර ගෝලීයකරණයට රිසි ලෙස තෙල් සම්පත් බහුල ලිබියාව තුළ පැතිරීමට ගඩාෆි ගෙන් ලද ප්‍රතිරෝධය නම් මේ සඳහා හොඳින්ම හේතුවූ බව පෙනේ.

නේටෝ සංවිධානය වනාහී දෙවන ලෝක යුද්ධයෙන් පසුව නැගෙනහිර යුරෝපය පුරා හමාගිය සමාජවාදී සුළං රැළි බටහිරට හමා ඒම මිලිටරිමය වශයෙන් වැළැක්වීම සඳහා ඇති කර ගත්තාවූ බාධක පවුරයි. සෝවියට් සංගමය බිඳ වැටීමෙන් අනතුරුව නේටෝව එක්සත් ජාතීන්ගේ නිල නොලත් හමුදාව වශයෙන් කටයුතු කරන අයුරු ඉහතදීද විස්තර කළෙමු.
හේග් හි යුධ අධිකරණය ද මානව හිමිකම් කවුන්සිලයද සිය ක්‍රියාකාරීත්වයේ දී ධනවාදයේ ව්‍යාප්තියට එරෙහි වූවන් දඩයම් කිරීමට යොදාගනු ලබන ආයතනයක් බවට උදාහරණ ඕනෑතරම් ඇත.
නමුත් මේ ආයතන ස්වකීය මූලික අරමුණට අදාල කිසිවක් නොකරන්නේ යැයි යන්න මෙයින් අදහස් නොවේ.
ධනවාදයේ ගෝලීයකරණ අවධිය දෙස බොහෝ දෙනා බලා සිටින්නේ එක්කෝ ධනවාදයේ නැගීම ගැන වූ ප්‍රීතියෙනි. නැතහොත් තමන් එහි ගොදුරක් වීම වැළැක්විය නොහැකිය යන මන්දෝත්සාහී ස්වභාවයෙනි.  නමුත් මේ ගෝලීයකරණ අවධියම ධනවාදයට මහත් අභියෝගයක් බව විමසිල්ලෙන් බලාසිටින්නෙකුට පෙනී යයි. එක් අතෙකින් දුර්වල ආර්ථිකයන් ඇති සහ දුර්වල දේශපාලන නායකත්වයන් ඇති රටවල් ගෝලීයකරණ සුළි සුළඟට හසුව පොඩි පට්ටම් වෙමින් පවතී. මේ නිසා ඇති වන්නා වූ සමාජ දේශපාලන ප්‍රතිරෝධයන් ධනවාදයේම පැවැත්ම අභියෝගයට ලක් කරයි. තවමත් අසංවිධානාත්මක ලෝක නිර්ධන පංතිය ඉදිරියේ දැනට විජයග්‍රාහීව නැගී සිටියද මේ අර්බූධ නිසා හටගත් බරපතල තුවාල ධනේශ්වර ආර්ථික දේහය පුරාම ඇත. අනෙක් අතට වේගයෙන් පැතිරෙන ගෝලීය ධනවාදයට යට නොවී සටන් කිරීමට ඉදිරිපත් වන රාජ්‍යයන්ට එරෙහිව - ඒවා ධනේශ්වර හො වේවා සමාජවාදී හෝ වේවා- ප්‍රචණ්ඩත්වය සහ විවිධ තාඩන පීඩන මුදා හැරීමයි. අද ලිබියාවේ සහ සිරියාවේද ඇතැම් විවිධ ස්වරූප වලින් ලංකාවට එරෙහිවද ක්‍රමාණුකූලව සිදුවන්නේ මෙයයි.
ධනේශ්වර රටවල් හා බලවේගයන් සිය අධි පරිභෝජී ජීවන රටාවෙන් සහ පසුගිය කාලයේ ගොඩ නගා ගත් බලයෙන් දෑස් අඳව කල්පනා කරන්නේ ධනවාදය තවතවත් වේගවත්ව පැතිර විය යුතු බවයි. නමුත් අපගේ ලෝකය හෙවත් පෘථිවි ග්‍රහයා සතු සම්පත් සීමා සහිත බවත් මානව වර්ගයා හැර තවත් ජීවී විශේෂ මිහිමත ජීවත් වන බවත් ඔවුන්ටද මානව වර්ගයා තරම්ම මේ මහ පොළොවේ ජීවත් වීමට අයිතියක් ඇති බවත් ධනවාදයට අමතක වී ඇති සැටියකි. මුළු ලොවම සම්පූර්ණ වශයෙන් ධනේශ්වරය වැළඳ ගත්තා යැයි සිතන්න. අපි අද භාණ්ඩ හා සේවා නිපයන වේගයෙන්ම හෝ ඊට වැඩියෙන් ඉදිරියට ගියහොත් එක්කෝ නිෂ්පාදන විකුණාගැනීමට නොහැකිව හෝ අමුද්‍රව්‍ය නැතිවීමෙන් නිෂ්පාදන නැවතීමෙන් හෝ මේ ක්‍රමය නවතිනු ඇත. මට ඇති ප්‍රශ්ණය නම් එතෙක් මේ ලෝකයේ මානව ශිෂ්ඨාචාරය පවතීද යන්නයි.
දැඩි තණ්හාව සහ ආශාවේ ගිලී ඇති මානව වර්ගයා ඉතා වේගයෙන් පෘථිවි ග්‍රහයා විනාශ කරමින් සිටියි. ධනේශ්වර සංවර්ධනයේ අග්‍රඵලය දකින්නට පෘථිවිය මත අවසානයේ ඉතිරිවන්නේ මැස්සන් හා කැරපොත්තන් පමණක් විය හැක...

Thursday, June 30, 2011

චැනල් 4 කුමන්ත්‍රණයට එරෙහිව ..2

චැනල් 4 නාලිකාව විසින් පසුගියදා එළි දැක්වූ වාර්තා චිත්‍රපටය පිළිබඳව පසුගිය ලිපියේ අග කොටසින් සාකච්ඡා කළ බී.බී.සි යේ මාධ්‍ය වේදියෙකු නිමැයූ සාකච්ඡාමය වැඩසටහන පිළිබඳවත් 2011.06.27 දින බී.බීසී සංදේශයේ මකරන්දය නමැති වැඩසටහන පිළිබඳවත් වැඩිදුර සටහනක් තැබිය යුතු යැයි සිතුවෙමි. නිහාල් විසින් ඉදිරිපත් කළ බී.බී.සී වැඩසටහන අන්තර්ජාලයෙන් මේ මස 30 වන විට ඉවත් කරන බැවින් අදාල වැඩසටහනේ චැනල් 4 චිත්‍රපටය සම්බන්ධ කොටස පටිගත කොට එමගින් වීඩියෝවක් නිර්මාණය කළෙමි. 
හදිසියේ සංදේශයට ඇහුම්කන් දෙන අතර චැනල් 4 සම්බන්ධ සාකච්ඡාවක් ඇතිවූයෙන් සිංහල බ්ලොග් පාඨකයන් වෙනුවෙන් එයද පටිගත කළෙමි.
චැනල් 4 හි Sri Lanka's Killing Fields නමැති චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා සහ දමිළ සුභසාධක සංගමය නමැති එල්.ටී.ටී.ඊ සංවිධානයට හිතවත් සංවිධානයේ ආරම්භකයෙකු ලෙස පෙනී සිටි වසර 25 කින් ලංකාවට පැමිණ නැති ජොනාර්තන් නැමැත්තා ලංකාවට එරෙහිවත්, බ්‍රිතාන්‍යයයේ ශ්‍රී ලංකා වැඩ බලන මහ කොමසාරිස් අම්සා මහතා සහ ශ්‍රී ලංකාවෙන් මෑතක දී බ්‍රිතාන්‍යයට ගිය ශ්‍රී ලාංකිකයෙකු වන චතුර ජයතිස්ස සහ නිතර ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයෙකු වන රාජන් ලංකාව වෙනුවෙනුත් මෙම වැඩසටහනෙහි කථා කළහ.
වැඩ සටහන මෙහෙයවූ නිහාල් නම් මාධ්‍ය වේදියා පසුගිය දින වල දැඩි කථා බහකට ලක්වූ චැනල් 4 චිත්‍රපටය ගැන අදාල චිත්‍රපටය නිපදවූ අධ්‍යක්ෂකවරයා වන කැලම් මැක්රේ ගෙන් එය පිළිබඳව විමසමින් එම චිත්‍රපටයේ එන දර්ශන වල විශ්වාසනීයත්වය පිළිබඳව විමසීය. එහිදී ඔහු තමාගේ සාක්ෂි වල විශ්වාසනීයත්වයක් ඇති බව කියූ නමුත් ඒවා දැඩි ලෙස තහවුරු නොකළද එම උත්තරය තුළම ශ්‍රී ලංකා හමුදාව සිවිල් ජනයාට දැඩි ප්‍රහාර එල්ල කළ බව පුන පුනා පැවසීය. නිහාල්, මැක්රේ ගෙන් නැවතත් ඇසුවේ මෙම චිත්‍රපටය පැහැදිළිවම පෙන්වීමට උත්සාහ කරන ශ්‍රී ලංකා හමුදාව සිවිල් වැසියන්ට සිතාමතා පහරදුන් බව ඔප්පු කිරීමට ඔහුට ඇති සාක්ෂි මොනවාද යන්නයි. එහිදී ඔහු සාක්ෂි වශයෙන් පෙන්වන්නේ එක්සත් ජාතීන්ගේ දරුස්මාන් කමිටුව එවැනි සාක්ෂි සපයන බවයි. මධ්‍යස්ථ මාධ්‍ය වේදියෙකු වශයෙන් නිහාල් එහිදී දරුස්මාන් ඇතුළු පිරිස ලංකාවට පයවත් නොතැබූ බව මතක් කිරීම අගය කළ යුතුය. මෙම කූඨ අධ්‍යක්ෂකවරයා ශ්‍රී ලංකාව කෙරෙහි පූර්ව නිගමනයක සිට සිය චිත්‍රපටය නිපැයූ බව පැහැදිළිය.
වැඩ බලන මහ කොමසාරිස්වරයා ඉතා නිවැරදි ලෙස චැනල් 4 නාලිකාව ශ්‍රී ලංකාව ට එරෙහිව නිපදවන ලද සියළු වීඩියෝ දර්ශන සියල්ල ශ්‍රී ලංකාවට ඉතා වැදගත් අවස්ථා වලදී ප්‍රකාශයට පත් කළ බව සාක්ෂි සහිතව පෙන්වා දුන්නේය. එමෙන්ම චැනල් 4 වීඩියෝ පටයේ සඳහන් වන වැරදි දෙමළ පරිවර්තන ද නිවැරදි කළේය. එහිදී ඉදිරිපත් වූ ජොනර්තන් ප්‍රසිද්ධියේ කිසිදු ලජ්ජාවකින් තොරව අදාල දමිළ භාෂාවෙන් වූ ප්‍රකාශය වැරදියට ඉංග්‍රීසියට පරිවර්තනය කළේ චැනල් 4 නාලිකාව විසින් කළ පරිවර්තනය සත්‍යය බව පෙන්වීමට විය යුතුය. නමුත් මෙම සිදුවීම මගින් චැනල් 4 ආයතනය සිය අපකීර්තිමත් වාර්තා චිත්‍රපටය සඳහා යොදාගත් දෙමළ පරිවර්තකයන් ගැන පැහැදිලි ඉඟියක් සපයයි. එනම් චැනල් 4 සමග එක්වූ එල්.ටී.ටී.ඊ යට පක්ෂ පාතී පිරිස් එක්කෝ මැක්රේ ගේ අනුදැනුම පිට හෝ නැතිනම් මැක්රේ වත් රවටමින් හෝ ශ්‍රී ලංකා හමුදාවන්ට එරෙහි ප්‍රචාරක මාධ්‍යයක් ලෙස චැනල් 4 නාලිකාව යොදාගෙන ඇති බවයි. කෙසේ වෙතත් පළමු අනුමානය සත්‍ය බවට මැක්රේ ගේ හැසිරීම පැහැදිළි සාක්ෂි සපයයි. පසුගිය ලිපියේ මා විසින් රූපරාමු සහිතව ඔබට ඉදිරිපත් කළ පරිදි චිත්‍රපටයේ කිසිදු තැනෙක කිසිදු දමිළ වැසියෙකු ශ්‍රී ලංකා හමුදාව තමන්ට පහර දෙන බව නොකියයි. නමුත් කැලම් මැක්රේට අනුව නම් ජනතාව කියන්නේම ලංකා හමුදාව තමන්ට පහර දුන් බවයි.
වැඩසටහන අතර තුර මැක්රේට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වරයා ලවාම තම මතය ඔප්පු කරගැනීමටයි.එසේ වුවද මැක්රේගේ බාධා කිරීම් මැද ශ්‍රී ලංකා වැඩ බලන මහ කොමසාරිස් වරයාගේ රට වෙනුවෙන් කළ කරුණු දැක්වීම ප්‍රශංසනීයවේ. මේ අතර බී.බීසී සංදේශය වැඩසටහනේ දී සිවිල් ජනයා අතර සිට එල්.ටී.ටී.ඊ ය හමුදාවට බර අවි ප්‍රහාර එල්ල කරමින් හමුදාව ලවා යුධ මුක්ත කලාපයට ෂෙල් ප්‍රහාර එල්ල කරවා ගැනීමට තැත් කළ බවට එක්සත් ජාතීන්ගේ දරුස්මාන් කමිටු වාර්තාවේ සඳහන් වනවා නොවේදැයි නිවේදකයා ඇසූවිට මැක්රේ පැවැසූයේ එල්.ටී.ටී.ඊ ය එවැනි දේ කළ බවට තමන්ට සාක්ෂි නැති බවයි. එකම මාධ්‍ය ආයතනය (බී.බී.සීය) විසින් විකාශය කළ වැඩසටහන් දෙකකදී දරුස්මාන් කමිටු වාර්තාව (එයද අපි ප්‍රතික්ෂේප කරන්නෙමු) ලංකාවට එරෙහිවූ විට පිළිගත හැකි සාක්ෂි ලෙසත් එයම කොටින්ට එරෙහිවූ විට පිළිගත හැකි සාක්ෂියක් නොවන ලෙසත් ප්‍රකාශ කිරීමෙන්ම මැක්රේ ගේ ඒක පාර්ෂවීය බව තේරුම් ගත හැක.මැක්රේ දරුස්මාන්ටත් එහා ගිය ශ්‍රී ලංකා විරෝධියෙකු බව පෙනේ.
ශ්‍රී ලංකාවට එරෙහි මත දරන දමිළ සරණාගතයින්ගෙන් වැඩි පිරිසක් වසර ගණනාවකින් මෙරටට පය තබා නැති බවට හොඳම උදාහරණය සැපයූවේ ජොනර්තන් ය.නිතර ලංකාවට පැමිණෙනශ්‍රී ලාංකිකයකු වන රාජන් ගේ කරුණු දැක්වීම හමුවේ ඔහු සම්පූර්ණයෙන්ම බොරුකාරයෙකු බව ඔප්පු විය.
කැලම් මැක්රේ ස්වකීය ඊනියා මධ්‍යස්ථ භාවය පෙන්වීමට මෙහිදී කියා සිටියේ කොටි සංවිධානය ද දරුණු ලෙස මානව හිමිකම් කඩ කිරීම් සහ යුධ අපරාධ වල නිරත වූ බව ස්වකීය චිත්‍රපටය මගින් නැවත නැවතත් කියා සිටි බවයි.නමුත් මෙහිදී බී.බී.සී මාධ්‍ය වේදියා පවසා සිටියේ තමා අදාල චිත්‍රපටිය එදින උදේ නැරඹූ බවත් සත්‍ය වශයෙන්ම කිසිදු ආකාරයක එවැනි චෝදනාවක් තද බල ලෙස එල්.ටී.ටී.ඊ වෙත නගා නොතිබූ බවයි. මෙහිදී මැක්රේ නිරුත්තර වූ අතර ඔහු පක්ෂග්‍රාහීව ක්‍රියා කල බව තහවුරු විය.


නිහාල් විසින් පැවැත් වූ සාකච්ඡාවේ මුල් කොටස

 නිහාල් ගේ සාකච්ඡාවේ දෙවන කොටස


නිහාල් විසින් පැවැත්වූ සාකච්ඡාවේ අවසන් කොටස




කොටින්ට සම්බන්ධ පිරිස් රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ඡායාරූප හා වීඩියෝ නිපදවූ බවට පැහැදිළි කෙරෙන ඡායාරූප 2ක් අන්තර්ජාලයෙන් මට හමු විය. ලංකා හෙල්ප් මැගසින් වෙබ් අඩවියේ පළවූ පහත ඡායාරූප නැවත පළ කරමි.



ඉහලින් ඇති ඡායාරූපයේ සිනා සෙමින් පිරිසක් ඡායාරූප ගත කරන තරුණියක ඇතුළු පිරිස දෙස බලන්න ඊට පහළ ඇති ඡායාරූපය සහ එය අතර ඇති සමානතා පරීක්ෂා කිරීමෙන්ම ඈත ප්‍රදේශයක පෙනෙන දුම් වලාවක් යොදා ගනිමින් රජයේ හමුදාවල ප්‍රහාරයන්ට බියෙන දිවයන ජනතාවක් ලෙස අවතැන්වූවන් යොදා ගනිමින් ප්‍රචාරක චිත්‍රපටය ගොඩනගා ඇති ආකාරය පැහැදිළි කරගත හැක.
බී.බී.සී සංදේශයේ මකරන්දය නම් විශේෂාංගය ඔස්සේද චැනල් 4 චිත්‍රපටය ගැන වැදගත් සංවාදයක් ගොඩනඟා තිබිණ. එය සිංහල හා ඉංග්‍රීසි භාෂා වලින් ඉදිරිපත් කර ඇති නිසා මම ඒ ආශ්‍රිත දීර්ඝ රචනාවක් ඉදිරිපත් නොකරමි. නමුත් මෙම වැඩසටහනද චැනල් 4 නාලිකාවට ආවඩන දේශීය ඇතැම් බලවේග වල දෑස් ඇරවීමට යම් බලපෑමක් සිදු කරනු ඇතැයි මම සිතමි. මන්ද යත් ස්වාධීන මාධ්‍යකරණය පිළිබඳ පරමාදර්ශ ලෙස අපේ සමහරුන් දකින බී.බී.සීය විසින් ම මේ වැඩසටහන් නිපදවා ඇති නිසාය. එහිදී සිරි හේවාවිතාරණයන් දැක්වූ තාක්ෂණික අදහස් ඉතා වැදගත්ය. අපේ රටින් බිහිවූ ඩිජිටල් තාක්ෂණික විශේෂඥයෙක් වන හේවාවිතාරණයන් චැනල් චිත්‍රපටයේ ඇති ප්‍රලාපයන් සාර්ථක ලෙස තාක්ෂණිකව බිඳ දමමින් රට වෙනුවෙන් නැගූ හඬ මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නිව්යෝර්ක් කරුණු දැක්වීම තරම්ම  අභිමානවත්ය.
බී.බී.සී සංදේශය 2011-06-27
ශ්‍රී ලංකාවට දැන් අවශ්‍ය වන්නේ ජනයා අතර සංහිඳියාවක් ඇති කරන්නාවූ වැඩසටහන්ය. දශක 3 ක යුද්ධය මෙරට ජනයා එකිනෙකා කෙරෙහි වෛරයෙන් හා සැකයෙන් බැලීමට පුරුදු කළහ. බොහෝ දෙශපාලනඥයන් කළේ අවිලෙන ගින්නට පිදුරු දැමීම විනා එය නිවන මගක් සඳහා ජනතාව යොමු කරවීම නොවේ. දැන් වසර 30 ක් තිස්සේ අප විසින් අතහැර දමා තිබූ බොහෝ දේ නිවැරදි කිරීමට කාලයයි. මේ වන විට යුද්ධය නිමවී වසර 2ක් අවසන්ව ඇත. උතුරේ මෙන්ම දකුණේද නායකයන් ස්වකීය දැඩි අදහස් වලට එළඹ සිටීමත්, ජනයා අතර අසමගිය සිය දේශපාලන ව්‍යාපාර සිදු කරගෙන යාමට ආයුධ කරගැනීමත් නවතා රට වෙනුවෙන් වැඩ පටන් ගත යුතුය. දැන් බටහිර රටවල දේශපාලනඥයින් කරන්නේ පසුගිය වසර 60 තුළ අපේ දේශපලනඥයින් කළ දෙයම, එනම් සිංහල හා දෙමළ ජනයාත් මුස්ලිම් ජනයාත් එකිනෙකා කෙරෙහි බිඳවීමයි. විශේෂයෙන් විදෙස් ගත දෙමළ ප්‍රජාවේ ඡන්දය ඉලක්ක කරමින් මෙරට ජනයා තවදුරටත් බෙදා වෙන් කිරීමට ඔවුන්ට අප තවත් ඉඩ දිය යුතුද?

Sunday, June 26, 2011

චැනල් 4 කුමන්ත්‍රණයට එරෙහිව...

 චැනල් 4 නාලිකාවෙන් විකාශය වූ "Sri Lanka's Killing Fields" නම් ඊනියා වාර්තා චිත්‍රපටය සම්බන්ධයෙන් මේ වන විට රාජ්‍ය තාන්ත්‍රිකව මෙන්ම පෞද්ගලික වශයෙන් ද දැඩි විරෝධයක් එල්ලවෙමින් පවතින අතර දිගු නිහැඬියාව බිඳදමා යමක් ලිවිය යුතු යැයි සිතුවෙමි.
චැනල් 4 නාලිකාව බෙහෙවින් විවාදයට ලක්වූ වීඩියෝ පට ප්‍රසිද්ධ කිරීමේ ඉතිහාසයක් ඇති නාලිකාවකි. ඔවුන්ම හඳුන්වා දෙන පරිදි ඔවුන් ගේ කාර්යභාරය වන්නේ ලොව පුරා සිදුවන අකටයුතු කම් හා මානව අයිතිවාසිකම් කඩවීම් ලොවට හෙලි කිරීමත් එමගින් ලෝක දේශපාලන නායකත්වයේ ඇස් ඇරවීමත්ය. අප අවට පවතින ලෝකය සර්ව සාධාරණ නොවන නිසාත් ලෝක දේශපාලනය තනි බලවතෙකුගේ ග්‍රහණයට ලක්වැ ඇති නිසාත්, එවැනි ස්වාධීන හෙලි කිරීම් පීඩනයට පත්වූ ජාතීන් මහත් අභිරුචියකින් වැළඳ ගැනීමත් හෘද සාක්ෂියක් ඇති ඕනෑම මනුෂ්‍යයකු එවන් අසාධාරණයන්ට ලක්වූ ජන කොටස් වෙනුවෙන් නැගී සිටීමත් සාධාරණවූ තත්ත්වයකි. නමුත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඔවුන්ගේ හැසිරීම ඉහත දැක්වූ ආකාරයේ පරමාර්ථ මුදුන් පත් කරගැනීමේ උවමනාව කෙසේ වෙතත් ශ්‍රී ලංකාව කෙරෙහිවූ ඔවුන්ගේ වෛරී ආකල්පය පළ කිරීම සඳහාත් ලංකාව ජාත්‍යන්තර වශයෙන් අපහසුතාවයට පත් කිරීමේ කූඨ දේශපාලනික මෙහෙයුමක ආයුධ සැපයීමත් වෙනුවෙන්ම කැපවූ බව මධ්‍යස්ථ මතධාරී ඕනෑම පුද්ගලයෙකුට පෙනී යනු ඇත.
චැනල් 4 නාලිකාව අපේ රටට මෙතරම් වෛර කරන්නේ මන්දැයි සොයා බලන්නෙකුට හොඳින්ම පෙනී යන කරුණ වන්නේ ඔවුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ දේශපාලනිකව වැදගත් දෙසොහොයුරන්ට ද ඔවුන් හා ළඟින් ඇසුරු කරන නිලධාරීන්ට ද දැඩිලෙස වෛර කරන බවයි.
වන්නි මානුෂීය මෙහෙයුම් අවසාන සමයේ ශ්‍රී ලංකා ආණ්ඩුව තමන්ව රටින් නෙරපීම ගැන කේන්තියෙන් පසුවන මෙම මාධ්‍ය වේදීන් සහ තවදුරටත් ලංකාවේ රැඳී සිටීමට තමන්ට ඉඩ නොදීම ගැන කෝපයෙන් පසුවන ගෝර්ඩන් වයිස් නමැති හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරියා ද එක්ව මේ මෙහෙයුම දියත් කොට ඇති බව පැහැදිලිව පෙනේ.
පසුගියදා මේ සම්බන්ධයෙන් නිව්යෝර්ක් නගරයේ දී රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක පැවැත්වීමට තැත් කළ  වැඩසටහනට මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැමිණීමත් සමග ඔවුන්ගේ මෙහෙයුම පාරාවළල්ලක් බවට පත් විය. එහිදී තමාට ලැබුනු කුඩා ඉඩ ඉතා මැනැවින් පාවිච්චි කිරීමට ශ්‍රීලංකාවේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිතවරයා සමත් වූ බව එහි වූ විදේශ තානාපති නියෝජිතයින් ගේ ප්‍රතිචාර වලින්ම පෙනෙන්නට තිබේ. එහිදී ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් කළ අභියෝගයට මේ ලිපිය ලියන මොහොත දක්වා (පැය 72කටද පසු)ද චැනල් 4 නාලිකාවෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැත.
මේ අතර බීබීසී ආයතනයේ වැඩසටහනකට සම්බන්ධ වූ අදාල වාර්තා චිත්‍රපටියේ අධ්‍යක්ෂක වරයා ශ්‍රී ලංකාවේ වැඩ බලන මහ කොමසාරිස්වරයා සහ වැඩසටහන මෙහෙයවූ මැදහත් මාධ්‍ය වේදියා ඉදිරියේ අපහසුතාවයට ලක්වූ ආකාරය පැහැදිළි විය.
 "Sri Lanka's Killing Fields"  චිත්‍රපටය පටන් ගැන්මේ පටන් අවසානය දක්වාම ඇත්තේ ඉතා පාර්ශ්වීය වාර්තාකරණයක් බව එය නැරඹූ ඕනෑම කෙනෙකුට වැටහෙනු ඇත. ජෝන් ස්නෝ නමැති නිවේදකයා ආරම්භයේ දීම ශ්‍රී ලංකාවේ යුධ අපරාධ අනිවාර්යයෙන්ම සිදුවූ බව අවධාරණය වන ලෙස සිය ඉදිරිපත් කරයි. ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන නව ප්‍රබෝධය ඔහු දකින්නේ මවා පෑමක් ලෙසය. එල්.ටී.ටී.ඊ සංවිධානය ශ්‍රී ලංකා රජයට එරෙහිව යුධ වැදීම ඔහු සාධාරණී කරණය කරන්නේ එය දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකා රජයයන් දමිළ ජනයාට එරෙහිව ප්‍රචණ්ඩත්වයත් ඔවුන්ට නොසලකා හැරීමකුත් කර ඇතැයි පවසමිනි. එයම ශ්‍රී ලංකාවට එරෙහි අදහසක් වැඩසටහන නරඹන්නන් තුළ මුළදීම ඇති කරනු පිණිස කළ ප්‍රකාශයක් බව පැහැදිළිය. දමිළ ජනතාව කොටින්ට සහය දුන්නේ රජයේ හමුදාවන්ට ඔවුන් වඩා බිය වූ නිසා බව පවසමින් ඔහු ලංකා හමුදාව බිහිසුණු අමානුෂික එකක් බව කළින්ම ඒත්තු ගැන්වීමට තැත් කරයි. ජනාධිපති වරයා තුළ වූ යුද්ධය අවසන් කිරීමේ දැඩි අරමුණ ඔවුන් විග්‍රහ කරන්නේ හොඳින් හෝ නරකින යුද්ධය දිනීමට ඔහු කළ වෑයමක් ලෙසය. මී ළඟට ඔහු දී කිරට සාක්කි දීමට නියම බළලෙක කැඳවයි. ඒ අන් කිසිවෙකු නොවේ, ලංකාවෙන් පිටමං කළ ගෝර්ඩන් වයිස්ය. ශ්‍රී ලංකා රජය කිසි දිනෙක තමන්ගේම හමුදාව ගැන පරීක්ෂණ නොකරන්නේ ඔවුන් තමන්ගේම පිරිසක් නිසා යැයි තර්ක කරන මාධ්‍ය සදාචාරයේ අග තැන්පත් චැනල් 4 නාලිකාව, ලංකාවට එරෙහිව සාක්ෂි දීමට කැඳවන්නේ අපකීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වශයෙන් ලංකාවෙන් පිට කරන ලද මේ ඊනියා මානව හිතවාදියාය.
අවසාන මොහොත දක්වාම වන්නියේ රැඳී සිටිමින් ඉතා පක්ෂග්‍රාහී ලෙස වාර්තා සැපයූ මේ නිලධාරියා එක්සත් ජාතීන්ගේ නිලධාරීන්ගේ ආරක්ෂාව සලකා වන්නියෙන් ඉවත් වන ලෙස දැන්වූ විට කරන්නේ තමන්ගේ ගමන් මළු සකස් කර ගැනීම නොවේ. අනාගතයේ දිනක ප්‍රදර්ශනය සඳහා වීඩියෝ දර්ශන රැස් කිරීමය. 
මේ රූප රාමු චැනල් 4 වීඩියෝවෙන් කෙළින්ම ලබා ගත් ඒවාය.
මේ රූපරාමුවේ ඔවුන් කියන පරිදි ඉච්ඡාභංගත්වයට පතවූ විරෝධතා කරුවන් ඔබට පෙනේද? මට නම් පෙනෙන්නේ ඉතා හොඳින් හැඳ පැළඳගත් පිරිසක් කාගේ හෝ උවමනාවකට මෙහි රැසවී සිටින බවයි.
පහත රූප රාමුවේ පෙනෙන දැරිය දෙස බලන්න
ඇයගේ ඇඳුම් පැළැඳුම් අනුව ඔබට සිතෙන්නේ කුමක්ද? මා නම් සිතන්නේ ඇය ළමා සොල්දාදුවක වියහැකි බවයි. ඇයට පිටුපසින් සිටින කාන්තාව යුද්ධයේ මර බියට වඩා චිත්‍රපටය ගැන කුතුහලයෙන් නොසිටින්නීද?
මේ වයොවෘද්ධ මනුෂ්‍යයා පවසන පරිදි ඔවුන්ගේ ගෙලට පිහියක් තබාගෙන සිටින්නේ කොටි සංවිධානය විය නොහැකිද?
එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරියා මෙහිදී පවසන්නේ ඔහු ආක්‍රමණික හමුදාවකට අහිංසක ජනයා භාර දී දුකසේ ඉවත ගිය බවයි. නමුත් මේ හමුදාවම එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් වලද නිරත වන බව ඔහුට අමතකව ඇත. ජනතාව කොටින් විසින් රැගෙන පසු බැස ගිය බව පවසනවා වෙනුවට චැනල් 4 පවසන්නේ හමුදාව විසින් ඔවුන්ව එළවා දැමූ බවයි...
විනාඩි 48ක් පමණ වන චිත්‍රපටියේ විනාඩි 9 තත් 22 දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජෙට් යානා බෝම්බ දමන මෙහෙයුමක් පෙන්වයි. මෙහිදී ඔවුන් යොදාගන්නේ  අප රූපවාහිනියෙන් දැක පුරුදු ගුවන් හමුදාව සහ රූපවාහිනිය එක්ව ගන්නා ලද කැළයකට බෝම්බ දමන දර්ශනයි. මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැහැදිළිව සඳහන් කල පරිදි ඉන් පසුව ඔවුන් පෙන්වන්නේ සිවිල් වැසියන් අගලකට රිංගාගන්නා දර්ශනයි. මේ දෙක එක් කිරීමෙන් ඔවුන් උත්සාහ කරන්නේ සිතාමතා සිවිල් වැසියන් ඝාතනයට ආරක්ෂක හමුදා කටයුතු කළ බවයි.
මී ළඟට එන විනෛ කුමාර් හෙවත් තමිල් වානි කවුරුන්ද යන්න අපි දැන් දනිමු. ඇය නම් කිහිපයකින් පෙනී සිටි එල්.ටී.ටී.ඊ සාමාජිකාවකි. චැනල් 4 නාලිකාවට අපේ හමුදා නිලධාරීන් හෝ රජයේ ඇමතිවරුන් පවසන දේ කෙතරම් අවිශ්වාස වුවත් ත්‍රස්තවාදී සාමාජිකාවක් වුවත් වානි කුමාර් ගේ කථා විශ්වාසනීය වන්නේ ඇය සතු බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රය නිසා දැයි සැකයක් මතුවේ.



ඔවුන්ගේ කිසිදු දර්ශනයක රෝහල් අසල ඇති කොටි කාලතුවක්කු පෙන්වන්නේ නැත. එසේ වුවත් රජයේ හමුදා රෝහල් වලට ෂෙල් ප්‍රහාර එල්ල කළ බව පමණක් පුන පුනා පවසන්නේ ඉතා දක්ෂ ලෙස නිමැයූ වීඩියෝ දර්ශන හරහාය. ඉතා දරුණු ෂෙල් ප්‍රහාර මැද පවා මේ කැමරාකරු ටකරමකින් ගලා යන රුධිරය දක්ෂ ලෙස වීඩියෝගත කර ඇත. අහෝ සමන් කුමාර රාම වික්‍රම කෙතරම් අදක්ෂයෙක්ද!!! නැත. සමන් කුමාරට සැඟවුනු න්‍යාය පත්‍රයක් නොවීය.නමුත් චැනල් 4 ට එවැන්නක් තිබුණි. මෙයම කොටින්ගේ ප්‍රචාරක උපක්‍රමයක් නොවන්නේද?
මී ළඟට තවත් බුද්ධිමය දේපළ සොරකමකි. එක්සත් ජාතීන්ගේ චන්ද්‍රිකා ඡායාරූප යැයි කියා කිසිදු ලැජ්ජාවකින් තොරව ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දිය සළකුණු සහිත UAV දර්ශනයි.
දෙවැනි වතාවේ ඔවුන් ශ්‍රී ලංකා හමුදාව එල්ල කරන ෂෙල් ප්‍රහාර ලෙස පෙන්වන්නේ කොටින් තම ප්‍රචාරක ව්‍යාපාරයේ දී යොදාගත් ඔවුන්ගේ ෂෙල් ප්‍රහාරයකි.
මෙහි සිටින්නේ කොටි නිළ ඇඳුම් ඇඳගත් පිරිසකි.
මෙහි දැක්වෙන්නේ පුතුකුඩුඉරිප්පු රෝහලට පහර දුන් බවට ඔප්පු කිරීමට යොදාගත් රූප රාමුය. පුතුකුඩුඉරිප්පු රෝහල මුදාගත් වහාම රූපවාහිනියේ රාමවික්‍රම ඉදිරිපත් කළ වාර්තාව ඔබට මතකද? කොටින් විසින්ම සූක්ෂම ලෙස විනාශ කළ රෝහලේ මේ කොටස මත රජයේ හමුදාවන්ට එරෙහි චිත්‍රපටය රඟදක්වා ඇති අයුරුයි මේ..

පහත දැක්වෙන ඡායාරූපය බලන්න. මෙහි දැක්වෙන්නේ උදරයේ ශල්‍ය කර්මයකට ලක්වූ රෝගියෙකි. නිවේදකයා කියන පරිදි මෙය සිදු වී ඇත්තේ යුද්ධයේ අවසාන දින වලය. අවසන් දින වල අවශ්‍ය තරම් ශල්‍ය උපකරණ සහ බෙහෙත් ද්‍රව්‍ය ලබා නොදුන් බව මෙම චිත්‍රපටයේ පුන පුනා පවසන නමුත් මෙහි දැක්වෙන උදර ශල්‍ය කර්මයෙන් පසු යොදා ඇති ඉලාස්ටෝ ප්ලාස්ටර් නමැති ප්ලාස්ටර් වර්ගය මිළ අධික සැරහුම් විශේෂයකි.  නමුත් මේ ඡායාරූපය අනුව මිළ අධික ශල්‍ය ද්‍රව්‍යය පුතුකුඩුඉරිප්පු රෝහලේ තිබී ඇත. එයම චැනල් 4 හි පරස්පර කථා වලට හොඳ උදාහරණයකි.
කොටි සංවිධානය එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් මියගිය අවතැන් වූ දරුවකුගේ සිරුර පෙන්වමින් වුවද කොටින්ට එරෙහිව දැඩි අදහසක් පළ කිරීමට චැනල් 4 මැළි බවක් දක්වයි.
අවසන් දින කිහිපයේ දී සිවිල් ජනතාවට ආහාර හෝ බෙහෙත් ද්‍රව්‍ය ලබා නොදුන් බවත් බෙහෙත් සහ ආහාර රැගෙන ගිය වාහන වලට රජය ක්‍රමාණුකූලව පහරදුන් බවත් පවසමින් වසර ගණනාවක් තිස්සේත් යුද්ධයේ අවසාන අවතැන් වැසියා මුදාගන්නා තෙක්මත් ගොඩබිමින් සහ මුහුදෙන් ආහාර හා ඖෂධ ලබාදෙමින් ශ්‍රී ලංකා රජය සහ හමුදාවන් සිදු කළ කැපකිරීම අවතක්සේරු කිරීමට චැනල්4 අමතක නොකළේය.
පුදුමාතලන් හිදී කොටු කරගෙන සිටි ජනයා මුදා ගැනීම සඳහා හමුදාව කුඩා කණ්ඩායම් යොදා කළ ක්‍රියාන්විතය බහුල ලෙස බර අවි යොදාගෙන කළ එකක් ලෙස හුවා දැක්වීමට ග්‍රැෆික් අනුරූ යොදා ගැනීමට චැනල් 4 අධ්‍යක්ෂ වරයා පසුබට නොවීය.

ජාතික රූපවාහිනියේ රූපරාමු යොදා ගනිමින් ගෝර්ඩන් වයිස් සහ ජෝන් ස්නෝ ජනතාව හමුදාව විසින් නිදහස් කරගැනීම ගැන කිසිවක් කථා නොකොට වවුනියාවේ පිහිටි අවතැන් කඳවුරු වලට ඔවුන් යොමු කිරීම පෙන්වන්නේ නාසි කඳවුරු වලට යුදෙව්වන් ගාල් කිරීම හා සමාන කරමිනි. එහිදී මුල් දින කිහිපයේ ඔවුන්ට පිටතට යාමට ඒමට ඉඩ නොදීම ගැන තනිව නිගමන වලට එළඹෙමින් එය අවතැන් වූවන් සිරගත කිරීමක් ලෙස හුවා දැක්වීමට ඔවුන් දක්වන්නේ ඉමහත් උත්සාහයකි. එසේ සිදුවූයේ අවතැන් වූවන් භාර ගැනීමේ දී සිවිල් වැසියන් සහ කොටි සාමාජිකයින් වෙන් නොකිරීමත් එසේ පැමිණි සාමාන්‍ය වැසියන් කොටින් විසින් පැහැරගෙන යාම වැළැක්වීමටත් බව රජය විසින් පැහැදිළිවම දක්වන ලදි. එසේ වුවද රජයේ පාර්ශවයෙන් කිසිදු කරණු දැක්වීමක් මෙම වීඩියෝ ව තුළ දක්නට නැත.
ජනතාව පළායාම වැළැක්වීමට කොටින් විසින් වෙඩි තබන ආකාරය පෙන්වන ගුවන් හමුදාව නිකුත් කළ දර්ශන සිය වීඩියෝ පටයට ඇතුළත් කළද එහි සඳහන් කරුණු කෙරෙහි අවශ්‍ය තරම් අවධානයක් නිවේදකයා යොදු නොකළ අතර එය හුදෙක්ම ඇපයෙන් ගැලවීමට කළ දෙයක් බව පැහැදිළිය.


මෙම වීඩියෝ රූපරාමුවේ දිනය වශයෙන් 2009 අප්‍රේල් මස 20 සඳහන් වූවත් නිවේදකයා අවධාරණයෙන් සඳහන් කරන්නේ මෙම සිදුවීම් 2009 මැයි මාසය තුළ සිදුවූ සිද්ධීන් බවයි.
රජයේ කැමරාකරුවකු ගේ සටහන් ලෙස පෙන්වන පහත දර්ශන රූපවාහිනියේ සමන් කුමාර රාම වික්‍රම ලබාගත් ඒවාය. මෙම දර්ශන රූපවාහිනියේ දර්ශනය වෙත්දී භූමියේ සිටි සමන් කුමාර රාම වික්‍රම කොටින් විසින් අවසානයේ දී සියළුම දේපල සහ වාහන එක් කොට ගිනි තැබූ බව පැවැසූ බව ඔබට මතක ඇති. නමුත් මෙහිදී චැනල් 4 නිවේදකයා පවසන්නේ ඒවා හමුදාව විසින් ගිනි තැබූ බවයි.



රජයේ හමුදා කෙරෙහි වෛරයෙන් යුතුව තවත් වීඩියෝ පට එකතු කරන්නේ මින් අනතුරුවයි. ඒවා මීට පෙර බොහෝ වරක් ම විවිධ තාක්ෂණික උපක්‍රම සහිතව නිපැයූ සත්‍යයයෙන් තොර ඒවා බව විශේෂඥයින් විසින් කිහිප වරක් ම සනාථ කර ඇති නමුත් ඒ පිළිබඳව කිසිදු සඳහනක් නොකරම මෙම වීඩියෝ තම වාර්තා චිත්‍රපටයට යොදා ඇත්තේ සියළු මාධ්‍ය සදාචාරයන්ට පටහැනිවය. එහිදී නැවත නැවතත් ජංගම දුරකථනයක් මගින් ලබා ගත් ඒවා බව සඳහන් වෙතත් විශාලනය කිරීම හෙවත් zooming ඇති  කැමරා සහිත ජංගම දුරකථන මෙරට නොමැති බව විශෙෂඥ මතයයි.
මෙම වාර්තාව අවසන් කරන්නේ හමුදාව දෙමළ ජනයාගේ නිවාස බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටිය දී සාමාන්‍ය ජනතාව තවමත් පැල්පත් වල ජීවත් වන බවයි. ඉන්දියානු රජයේ සහ ශ්‍රී ලංකා රජයේ ද තවත් රාජ්‍ය නොවන සංවිධාන වලද සහායෙන් සෑදූ එකම නිවසක් වත් මෙම රූප රාමු වල නොදැක්වීමට තරම් චැනල් 4 ප්‍රවේසම් වී ඇත.
මේ සියළු චිත්‍රපට නිපදවන්නේ අහිංසක දෙමළ ජනයා කෙරෙහිවූ අනුකම්පාවෙන් නම නොවන බව පැහැදිළිය. චැනල් 4 ඇතුළු එල්.ටී.ටී.ඊ ඩයස්පෝරාවටත් බටහිර බලවේගයන් ටත් අවශ්‍ය වන්නේ නිවෙමින් පවතින යුධ ගිනි නැවතත් ඇවිලවීමටය. එක්සත් වූ ලංකාවක් දකින්නට ඔවුන්ට අවශ්‍ය නැත. ඒ සඳහා සියළු ආචාර ධර්මයන් පසෙක තබා ඕනෑම කුණු වැඩක් කිරීමට ඔවුනට හැකිය.

පසුගිය දා බීබීසියේ ස්වාධීන මාධ්‍යවේදියෙකු පැවැත්වූ සාකච්ඡාවකට සහභාගී වූ බ්‍රිතාන්‍යයයේ වැඩ බලන මහ කොමසාරිස් අම්සා මහතා තවත් ශ්‍රී ලංකාවට හිතවත් රාජන් නමැති දමිළ සොයුරෙක් සහ සිංහල සොයුරෙක් චැනල් 4 චිත්‍රපටයේ අධ්‍යක්ෂක වරයා සහ ද්‍රවිඩ අන්‍යෝන්‍යාධාර සංගමයේ ජොනාර්තරන් නමැත්තා ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනයාමට තැත් කළ මඩ ව්‍යාපාරය ව්‍යර්ථ කර දමන ලදි. අපට දැන් අවශ්‍ය වන්නේ ජාතීන් අතර ඇති අවිශ්වාසය නැති කොට සමගිව නැගී සිටීම විනා පරණ කුණු ගොඩවල් ඇද දමමින් නැවතත් එකිනෙකා මරාගන්නා යුගයක් නොවන බව ජාත්‍යන්තරයට දැන්විය යුතුය.

http://www.bbc.co.uk/iplayer/episode/b0122nj9/Nihal_Discussion_on_the_Channel_4_documentary_Sri_Lankas_Killing_Fields/