Monday, February 27, 2012

රට වෙනුවෙන් නිදිගැට හැර පෙරට යමු!

අවුරුදු 30ක් දිග්ගැස්සුනු යුද්ධයකින් හෙම්බත්ව හෙටක් පිළිබඳව කිසිදු බලාපොරොත්තුවකින් තොරව පිට රටින් එන ඕනෑම විසඳුමක් බාර ගැනීමට සූදානම් ව සිටි අපට කොන්ද පණ ඇතිව නැගී සිටින්නට පුළුවන් වූයේ 2009 දී එල්ටීටීඊ සංවිධානය විනාශ කර දැමීමෙන් පසුවය. එදා ඒ ජයග්‍රහණය අවස්ථාවේ රටම එකාවන්ව එකතු වූයේ පාට පක්ෂ අමතක කරමිනි. එදා ජාතියක් වශයෙන් අප හමුදා හා පොලිස් සාමාජිකයින්ට කිරිබත් කවා මල් මාලා දමා සැරසූ හැටි වසර 3ක් ඉක්මෙන්නටත් කලින් අපට අමතක වූ හැටි නම් හරිම අපූරුය.
එජාප ආණ්ඩුව සාම ගිවිසුමක් අත්සන් කොට අපේ බුද්ධි අංශ සතුරාට පාවාදුන් අවස්ථාවේ අපේ කීර්තිමත් බුද්ධි නිලධාරීන් ත්‍රස්තයන් විසින් ඝාතනය කරන විටෙක, එක්තරා පුද්ගලික නාලිකාවක දේශපාලන සාකච්ඡාවකට පැමිණි ජයලත් ජයවර්ධන මන්ත්‍රීවරයා (එවකට ඇමැතිය) කීවේ සෙබළුන් සිටින්නේ මියයන්නට කියාය. එවන් දේශපාලනඥයින් සමග එක්ව හමුදා හා පොලිස් සාමාජිකයින් හා ගැටෙන ඇතැම් පිරිස් දුටු විට මට මතක් වන්නේ මෑතක දී රොබට් ඕ බ්ලේක් නමැති අමෙරිකානු තානාපති වරයා කළ ප්‍රකාශයකි. ඔහු කීවේ තවත් වසර 10 කින් ලංකාවේ නැවතත් කැරැල්ලක් ඇති වන බවය. බ්ලේක් එසේ කීවේ තමන්ගේ ගෝල බාලයින් භාර දුන් වැඩේ හොඳින්ම ඉටු කරනා බව දන්නා නිසා වියයුතුය.



අපි ජාතියක් වශයෙන් හරිම කම්මැලිය. අතටම යමක් ගෙන දෙන තෙක් බලා සිටීමට දක්ෂයෝය. රසවත් අහරක් ලැබුණ විට එය ගිල දමා නිදාගැනීමට මහත් සූරයෝය.
අප පසුගිය කාලයේ හැසිරුණේ එසේය. යුද්ධය විසින් රටේ මුළු මහත් හෘද සාක්ෂියම විනාශ කොට දමා අපේ හැඟීම් දැනීම් හිරි වට්ටවා තිබිණ. යුධ ජයග්‍රහණයෙන් පසුව මේ රටේ ජනතාවට හා බුද්ධිමතුන්ට ද ආගමික නායකයින්ටද මහත් වගකීමක් පැවැරෙන බව මම මීට පෙර ලියා තැබුයෙමි. අපට ඓතිහාසිකව පැවැරුණු වගකීම අප විසින් ඉටු කළේ දැයි දැන්වත් ඇස් හැර බැලිය යුතුය.
පළමුව අපි ඉතාමත් අඥාන අකෘතඥ ජාතියක් බව ලොවට ඔප්පු කළෙමු. ඒ ග්‍රීස් යකුන්, භූතයින් නිර්මාණය කර ගනිමින් කිසිදු හිරිකිතයකින් තොරව අප විසින්ම මල් මාලා දැමූ ආරක්ෂක අංශ වෙත පහර දීමෙනි. ලෝක වෙළඳ පොළේ තෙල් මිළ ඉහළ ගිය වහාම මෙරට බස් හිමියන්, ධීවරයින් සිය බඩ ගැන පමණක් සිතා වර්ජන ආරම්භ කළහ. මේ හරහා ජාත්‍යන්තරයට අපි  අපටම එරෙහි වීම සඳහා කොළ එළියක් ලබා දුන්නෙමු.
අමෙරිකානුවෝ දින ගනිමින් සිට වහා සිය උගුල් ක්‍රියාත්මක කිරීම ඇරඹූහ. ගෙදරටම ඇවිත් අපට තර්ජනය කොට ගියහ. අපි නිදා සිටියෙමු. අපි ඒ දින වල බස් වර්ජනය කළෙමු. මුහුදු යාම ප්‍රතික්ෂේප කොට රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැවිය යුතු යැයි හඬ නැගීමු. අඥාන වෙබ් අඩවි හරහා රටට එරෙහි ද්වේශ සහගත මත පැතිරවූයෙමු.
සතුරා ක්‍රමයෙන් ක්‍රියාත්මක විය. පළමු ප්‍රහාරය එල්ල කලේ නිව්යෝරක් නුවර සිටි මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාටය. කැනේඩියානු කොටි හිතවාදී නියෝජිතවරිය තමන්ට නැති බලතල පාවිච්චි කරමින් ආසියානු නියෝජිත ශවේන්ද්‍ර සිල්වා මහතා අපහසුතාවටත් අවඥාවටත් ලක් කලාය. ඇයට උදව්වට විවිධ නිලධාරීන් තවත් ප්‍රකාශ නිකුත් කළහ. දැන් ඔවුන් රටටම එරෙහිව යෝජනා ගෙන ඒමට සූදානම් වෙති. අදින් ඇරඹෙන මානව හිමිකම් සමුළුවේ දී ලංකාව සිය ග්‍රහණයට ගැනීමට සිය මුළු වැර යොදවති. එය එසේ වෙද්දී බීබීසී සංදේශය සිය වෙබ් අඩවිය ඔස්සේ ලංකාවට එරෙහි ප්‍රචාර වැඩි කොට ඇත.

සතුරන් නිදි වර්ජිතව අපට එරෙහිව කඳවුරු බඳිති. ඉතින් අපි තවත් නිදා සිටිමුද?

Wednesday, January 11, 2012

සරසවි සිසු ගැටුම්, අන්තරේ, ජ.වි.පෙ,එ.ජා.පය සහ ආණ්ඩුව...

මෑතක සිට නැවතත් අපේ සරසවි පද්ධතිය තුළ ගැටුම් මතු වෙමින් පවතින බව පෙනේ. උද්ඝෝෂණ අපේ සරසවි වලට අළුත් අතදැකීමක් නොවේ. උද්ඝෝෂණයකට සහභාගී නොවූ විශ්ව විද්‍යාල සිසුවෙකු සොයා ගැනීම ඉතාම දුර්ලභ වන අතර සිය විශ්ව විද්‍යාල ජීවිතයේ එවැන්නක් දැක නැති සිසුවෙකු සොයා ගැනීම කිසිවෙකු නොමළ ගෙයකින් අබ මිටක් සොයා ගැනීම වැනිම දුෂ්කර කාර්යයකි.
විශ්ව විද්‍යාල තුළ ගැටුම් ඇති වන ප්‍රධාන කාරණයක් වන්නේ නවක ශිෂ්‍ය කණ්ඩායම් පැමිණීමත් සමග ඔවුන් සිය දේශපාලන ව්‍යාපාරයන්ට බඳවා ගැනීම සඳහා ජ්‍යේෂ්ඨ සිසුන් අතර පවතින තරඟයයි. අතීතයේ නම් විශ්ව විද්‍යාල තුළ දේශපාලන මතවාදයන් කිහිපයක් පැවැතීමට අවශ්‍ය පරිසරය තිබුණද වර්තමානයේ එවැන්නක් තිබෙතැයි යමෙක් කියන්නේ නම් ඔහු චේතිය රජ පරපුරේ කෙනෙක්ම විය යුතුය. විශ්ව විද්‍යාල තුළ පැවැති බහුවිද දේශපාලන සංස්කෘතිය එයින් සම්පූර්ණයෙන්ම ඉවත්ව ගියේ කිනම් යුගයකදීදැ‘යි මම හරියටම නොදනිමි. එසේ වුවත් 1971 කැරැල්ලෙන් පසුව ඇති වූ යම් යම් වෙනස් කම් සහ 1977 විවෘත ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා සූක්ෂම ලෙස විරුද්ධ පක්ෂ දිය කර හැරීමේ ප්‍රවණතාවයත් සමග වාමාංශික හා ප්‍රගතිශීලී පක්ෂ දැක්වූ නිද්‍රාශීලී ප්‍රතිපත්තිද මේ සඳහා ඉතා සරු දේශපාලන කෙතක් නිර්මාණය කළ බව මගේ හැඟීමයි. විශ්ව විද්‍යාල වල පවතින නව අර්බූධ සම්බන්ධයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ එක්තරා ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙකු මාධ්‍ය ආයතනයක් සමග සිදු කළ සාකච්ඡාවක කොටසක් අහම්බෙන් අහන්නට ලැබීමෙන් මා තුළ වූ හැඟීම වඩාත් තහවුරු විය.
විශ්ව විද්‍යාල ශිෂ්‍යයා යනු රටේ ඉතාම වටිනා සම්පතකි. අපේ රටේ විශ්ව විද්‍යාල සඳහා තේරෙන්නේ ඒ සඳහා වන උසස් පෙළ විභාගයට පෙනී සිටින්නන්ගෙන් 2%ක් පමණි. මෙම තරුණ සිසු පිරිස එයට පෙර වසර 13ක පාසැල් අධ්‍යාපනයේ දී සිය පාසැල් වල දීප්තිමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ය. පාසැල් සමාජයේ පරමාදර්ශි නායකයන් වන්නේ ඔවුන්ය. පාසැල තුළ දී ඔවුන් ලබන මෙම වගකීම් සහිත තත්ත්වය විශ්ව විද්‍යාල ජීවිතයේදී වඩාත් යහපත් සමාජයක් හා රටක් වෙනුවෙන් පෙනී සිටීමට ඔවුන් වෙත යම් ආකාරය උත්තේජනයක් ලබා දෙයි. අනෙක් අතට පාසැල් යන වසර 13 දීම සිසුන් දෙමාපිය හා ගුරුවර රැකවරණයේ රැඳෙන අතර විශ්ව විද්‍යාලය යනු තමන්ව පාලනය කිරීමට කිසිවෙකු නොමැති සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින ජව සම්පන්න තරුණ පිරිසක් එක් කෙරෙන ස්ථානයෙකි. මෙම සිසුහු ස්වභාවයෙන්ම තමන් සාධාරණ යැයි සිතන පරමාදර්ශී මාර්ගයක ගමන් කරනු කැමැත්තෝය.
විශ්ව විද්‍යාල තුළ ඇති පරිසරය පාසැල් පරිසරයට වඩා බෙහෙවින් ලිහිල් වීමත්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයා තවදුරටත් ළමයෙකු නොවන වැඩිහිටියෙකු වීමත් විශ්ව විද්‍යාල වල ආචාර්යය වරුන් ද එම මතයේ සිට ශිෂ්‍යයා දෙස බැලීමත් පාසැල් සිසුවෙකුව සිට විශ්ව විද්‍යාල සිසුවෙකු බවට රූපාන්තරණය වන ශිෂ්‍යයා අත්දකින අළුත් අත් දැකීම්වේ. මෙම අත් දැකීම ශිෂ්‍යයින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් ඈත් වීමත් සම වයසේ සිසුන් සමග කල්ලි ගැසීමට පෙළඹවීමත් කරණ ප්‍රබල කාරණාය.
මේ රටේ වැඩි කාලයක් නිදහසින් පසුව රට පාලනය කර ඇති තනි පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂයයි. ඒ නිසා රටේ සිදු වූ යහපත් හා අයහපත් සිදුවීම් වල වැඩි බර හා වගකීම ඔවුන් පිට පැටැවීම සාමාන්‍ය සිදුවීමකි. එක්සත් ජාතික පක්ෂයේ නායකයන් සිය හැසිරීමෙන් හා ක්‍රියාවෙන් පෙන්වා දී ඇත්තේ ධනේශ්වර ක්‍රමයට පක්ෂපාතී සහ එහි වර්ධනය වෙනුවෙන් පෙනී සිටින පිරිසක් වශයෙනි. මෙම චිත්‍රය සමාජයේ වරප්‍රසාද ලත් බලවත් සහ ධනවත් කණ්ඩාම් ඉදිරියේ එම පක්ෂයේ ස්ථාවරය ශක්තිමත් කළද බහුතර සමාජයේ දී එම ස්ථාවරය ඔවුන් කෙරෙහි දක්වන්නේ එතරම් යහපත් හැඟිමක් නොවේ. මෙහිදී ඉහත ප්‍රකාශයේ වලංගු භාවය හා ඡන්ද ප්‍රතිඵල වලින් එය නොපෙන්වන්නේ ඇයි දැයි කෙනෙකුට සිතෙන්නට පිළිවන. නමුත් සාම්ප්‍රදායික නොවන සමාජයේ පිරිස් අතර එ.ජා.පයේ තත්ත්වය එය බව පසුගිය මැතිවරණ ප්‍රතිඵල වළින් හොඳින් පැහැදිළි වන බව පමණක් මෙහිදී සඳහන් කරන්නේ මෙම ලිපියේ අරමුණෙන් බැහැර යාම වළක්වා ගැනීමටය. 
දේශීය රජයේ විශ්ව විද්‍යාල වලට ඇතුළු වන බහුතර සිසු පිරිසක් අයත් වන්නේ සමාජයේ මධ්‍යම හා පහළ මධ්‍යම පන්ති වලටය. සමාජය ගැන වඩාත් සංවේදී ව සිතන්නට අවශ්‍ය දැනුම ඇති පිරිසද මොවුන්ය. ධනපති පංතියට අයත් දරුවෝ දේශිය විශ්ව විද්‍යාල වල කාලය ගත නොකරති. ඔවුහු එක්කෝ විදේශීය විශ්ව විද්‍යාලයකට යන අතර එසේත් නැත්නම් විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොලබාම සිය ව්‍යාපාර වලට එක් වෙති. නිර්ධන පංතියට අයත් කම්කරුවන්ගේ සහ ගොවියන්ගේ දරුවන් යම් ප්‍රමාණයක් නිදහස් අධ්‍යාපනය නිසා විශ්ව විද්‍යාල වලට ඇතුළු වුවද සංඛ්‍යාත්මකව ඊට වඩා වැඩි දක්ෂ දරුවන් පිරිසක් උසස් අධ්‍යාපනයට යෑම පසෙක තබා ජීවන අරගලයට එක් වෙති.මධ්‍යම පන්තියේ විශේෂයෙන්ම පහළ මධ්‍යම පන්තියේ විශ්වාසය දිනා ගැනීමට එ.ජා.ප යේ ප්‍රතිපත්ති බෙහෙවින්ම අසමත් ය. විශේෂයෙන් 1977න් පසුව බිහිවූ සමාජ දේශපාලන ක්‍රමයේ ඇති පීඩනයට කෙළින්ම ලක් වූවෝ මෙම කණ්ඩායමය. 1977 සිට 1993-94 කාලය දක්වාම එක්සත් ජාතික පක්ෂය හැසිරුණේ බලය දිගටම තමන් සතු කර ගැනීමේ පූර්ණ අභිප්‍රායෙනි. මේ නිසා එම කාලය තුළ විරුද්ධ පක්ෂ දිය කර දැමීමේ ප්‍රතිපත්තියක් එ.ජා.ප ය විසින් පවත්වා ගෙන ගියේය. ප්‍රජාතන්ත්‍රවාදයට අතිශයින්ම හානි දායක වූ මෙම ප්‍රතිපත්තියේ කටුක ප්‍රතිපල නෙළා ගත්තෝ ද ඔවුහුය. ඒ 1987- 1989 භීෂණ සමයෙනි.
වාමාංශික හා ප්‍රගතිශීලී බලවේගයන් විශ්ව විද්‍යාල සිසුන් ව ආකර්ෂණය කළ දේශපාලන ව්‍යාපාරයන්ය. මේවාට සිසුන් ආකර්ෂණය වීමට බලපෑ ප්‍රධන හේතුවක් වන්නේ සමාජ සාධාරණත්වය වෙනුවෙන් හා පීඩනයට පත්වූ කොටස් වෙනුවෙන් මෙම දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් පෙනී සිටීමය. එසේ වුවත් 1977 මැතිවරණ පරාජයත් සමගම මේ දේශපාලන බලවේගයන්ගේ ජීව ගුණයේ පැහැදිළි බිඳ වැටීමක් දක්නට ලැබේ. රජය විසින් සංවිධානාත්මකව විපක්ෂය දුර්වල කිරීමේ ව්‍යාපාරයක් කරගෙන යන අතර තුර විපක්ෂ බලවේග වල වූ නිද්‍රාශීලී බව ද තත්ත්වය තවත් නරක අතට හරවන ලදි. අන්තගාමී නොවූ ප්‍රගතිශීලි කණ්ඩායම්  සිය යුතුකම් පැහැර හරිමින් නිදා සිටින තත්ත්වයක සරසවි සිසුන් හට නායකත්වය දීමට අවශ්‍ය පැහැදිළි දේශපාලන කණ්ඩායමක් නැති වීම සමාජ සංවේදී බුද්ධිමත් සිසු පිරිසක් තුළ දේශපාලනමය රික්තකයක් ඇති කර තිබේ.
ජනතා විමුක්ති පෙරමුණ 1971 කැරැල්ල සඳහා සටන් මධ්‍යස්ථාන හා මානව සම්පත එකතු කර ගැනීමේ මධ්‍යස්ථාන ලෙස භාවිතා කරන ලද්දේ විශ්ව විද්‍යාලයි. මේ වන විට ලෝකය පුරා හමා ගිය වාමාංශික විප්ලව රැල්ල සමාජය තුළ රැඩිකල් වෙනස් කම් ඇති කළ යුතුය යන මතය සරසවි සිසුන් අතර ප්‍රචලිත කිරීමට හේතු වූවා විය යුතුය. කෙසේ වෙතත් දෛවයේ සරදමකට මෙන් කැරැල්ලේ දී අත්අඩංගුවට පත් ජ.වි.පෙ ක්‍රියාකාරීන් පුනරුත්ථාපනය සඳහා භාවිතා කරන ලද්දේ ද කැරැල්ලේ තිඹිරි ගෙවල් ලෙස සලකන ලද විද්‍යෝදය හා විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයන්ය.
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන භාවිතාව පිළිබඳව මා හට විශාල වශයෙන් විවේචන ඇතිමුත් ඒවා පළ කිරීම මේ ලිපියේ අරමුණ නොවේ. කෙසේ වුවද මා ඉහත දැක්වූ දේශපාලන රික්තය සාර්ථක ලෙස පුරවන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි. ජ.වි.පෙ ට ඒ සඳහා අවශ්‍ය සමාජීය වටපිටාව මැනවින් සකසා දුන්නේ එ.ජා.ප පාලනයයි. 1987-88 වන විට රට තුළ මෝරා එමින් තිබූ දේශපාලන අසහනයේ නොමද ආශීර්වාද ලැබූ ජ.වි.පෙ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ හොඳින් පළපැදියම් වූ අතර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නමැති ආයතනය හරහා රටේ සියළුම විශ්ව විද්‍යාල සිය පාලනයට නතු කර ගන්නා ලදි. නමුත් තමන් සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අතර සම්බන්ධතාවයක් ඇති බව ඔවුන් කිසි විටෙක ප්‍රසිද්ධියේ පිළි ගත්තේ නැත.
1994 දී පොදු ජන එක්සත් පෙරමුණ බලයට පැමිණීමත් සමගම ජ.වි.පෙ ද ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ඒක වන බව ප්‍රකාශ කළේය. ඇත්තෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට එක්වීම හැර වෙනත් විකල්පයක් ජ.වි.පයට නොවීය. එසේ වුවද ජ.වි.පෙ යනු පූර්ණ වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයක් නොවේ. එහි අභ්‍යන්තරයේ කුමක් සිදුවන්නේ ද යන්න මා නොදන්නා නමුත් පසුගිය කාලය පුරා දිග හැරුණු සිදුවීම් දෙස හොඳින් නිරීක්ෂණය කරන විට ඉහත නිගමනයට එළඹෙන්නට පිළිවන. පූර්ණ වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී නොවන සංවිධානයක් විශ්ව විද්‍යාල තුළ බලයේ සිටීම එම පද්ධතිය තුළ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්ම අනතුරේ හෙළයි. දැන් විශ්ව විද්‍යාල වල සිදු වී ඇත්තේ එයයි. 1994 වන විට එ.ජා.ප ය බලයෙන් ඉවත්ව නව රජයක් බලයට පැමිණ ඇති තත්ත්වයක සිය දේශපාලන කටයුතු නිදහසේ කරගෙන යන අතරතුරේ එය පවත්වා ගෙන යාමේ අභියෝගයට ජ.විපෙ ය මුහුණ දුන්නේ අතිශය කපටි ආකාරයකටය.
1987-89 භීෂණ යුගයෙන් පසුව ජ.වි.පෙය සිය පැවැත්ම පිළිබඳව දැඩි අභියෝගයකට මුහුණ දුන්නේය. 1994 වන විට පැවැති සාමකාමී වාතාවරණය තුළ ප්‍රචණ්ඩකාරී දේශපාලන ව්‍යාපාරයකට දකුණේ කිසිදු පැවැත්මක් නොවීය. තම විශ්ව විද්‍යාල අංශය වන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය බහුතර සමාජය ඉදිරියේ ජ.වි.පෙ නොවන කණ්ඩායමක් බවට පත් කිරීමට ඔවුන්ට බල කළ ප්‍රධාන හේතුව එයය යන්න මගේ හැඟීමයි. ඊට අමතරව තවත් දේශපාලනික බලපෑමක් ඔවුන් හමුවේ විය. එනම් පොදු ජන එක්සත් පෙරමුණේ සහ ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ඒ වන විට වූ ජනප්‍රියත්වයයි. මේ ජනප්‍රියත්වය මගින් මධ්‍යම සහ පහළ මධ්‍යම පන්තියේ ජනයා අතර යම් සහන දායක හැඟීමක් වර්ධනය කොට තිබුණි. විශ්ව විද්‍යාල සිසුන්ගේ බහුතරය අයත්වූ මෙම පන්තීන් අතර රජයට තිබූ ජනප්‍රියතාවය හමුවේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හරහා සිය බලය පවත්වා ගෙන යාමට නම් අනිවාර්යයෙන්ම එය ජ.වි.පෙ සමග වන සබඳතා පිටතට නොපෙන්විය යුතුව තිබිණ. ඒ සඳහා ඔවුන් තවත් ව්‍යුහයක් ඉදිරිපත් කොට එය ජ.වි.පෙ හි නිල ශිෂ්‍ය ව්‍යාපාරය බවට ප්‍රසිද්ධ කරන ලදි. ඒ සමාජවාදී ශිෂ්‍ය සංගමයයි. ඒ අනුව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වනාහී ස්වාධීන විශ්ව විද්‍යාල ශිෂ්‍ය එකමුතුවක් බවත් සිය ශිෂ්‍ය සංගමය සමාජවාදී ශිෂ්‍ය සංගමය බවත් පමණක් නොව සමාජවාදී ශිෂ්‍ය සංගමයට විශ්ව විද්‍යාල පද්ධතියේ අතිවිශාල බලයක් නොමැති බවත් පෙන්වා දීමට ජ.වි.පෙ උත්සුක විය. මෙය මක්කල් පඩෙයි නමැති ග්‍රාමාරක්ෂක හමුදා ව තමන් හා සම්බන්ධ නැති ස්වාධීන සංවිධානයක් බව එල්.ටී.ටී.ඊ සංවිධානය කළ ප්‍රකාශය හා ඇති සාමාන්තර භාවය ද සිහි කරනු වටී. පසු කාලීනව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජයේ ජනප්‍රියතාවය බිඳ වැටීමත් සමග ජ.වි.පෙය වඩාත් විවෘත ලෙස අ.වි.වි.ශි.බ.ම සමග සබඳතා පැවැත් වීය. එතුමිය ජ.වි.පෙ සමග පරිවාස හා සන්ධාන රජයන් ඇති කර ගැනීමත් සමග අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ඉහල නිල තල දැරූ ශිෂ්‍යයන්ට මහපොළ භාරකාර මණ්ඩලයේ ද නිලතල ලැබුණු බව සිහි කිරීම වැදගත්ය.
මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වීමත් එහි දී ජ.වි.පෙ ඔහුට සහය දීමත් සමග විශ්ව විද්‍යාල වල ද පැහැදිළි වෙනස් කම් ඇති වූ බව කිව යුතුය. මහින්ද රාජපක්ෂ මහතාව යුද්ධයට පෙළඹ වූ එක් ප්‍රධාන බලවේගයක් වූයේ ජ.වි.ප යයි. යුධ ජයග්‍රහණ සමග රණ විරුවන්ට පක්ෂපාතී සටන් පාඨ සහිත බැනර් සහ පෝස්ටර් ප්‍රදර්ශනය කිරීමට අන්තරේ කටයුතු කළේය. යුද්ධය කාලයේ ඇතැම් විශ්ව විද්‍යාල තුළ ලේ දන් දීමේ කඳවුරු ද පැවැත්වින.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වඩාත් කැරලිකාර සිසු උද්ඝෝෂණ සඳහා මැදිහත් වන්නට පටන් ගත්තේ ජ.වි.පෙ ය දෙකඩ වී විකල්ප කණ්ඩායමක් ඇතිවීමත් සමගය. ජන අරගල කණ්ඩායමේ ප්‍රධාන නිලතල දරන බොහෝ දෙනා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නිලතල දැරූවන්ය.මෙම කණ්ඩායම තමන්ගෙන් පසුව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට පත් කරගන්නේ තමන්ට හැසිරවිය හැකි විශ්වාස වන්ත පිරිස්ය. දැන් විශ්ව විද්‍යාල පුරා පැතිර යන ශිෂ්‍ය උද්ඝෝෂණ සමග මොවුන්ගේ සම්බන්ධයක් නැතැයි පැවසීම 2001/2002 කාලයේ එක්තරා පෞද්ගලික රූපවාහිනී ආයතනයක පැවැත්වූ ප්‍රසිද්ධ විවාදයකදී ජ.වි.පෙ මන්ත්‍රී වරයෙකු විසින් තමන් හා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සමග කිසිදු සම්බන්ධයක් නොමැති බවත් තමන්ගේ එකම ශිෂ්‍ය සංගමය සමාජවාදී ශිෂ්‍ය සංගමය බවත් ප්‍රකාශ කිරීම තරම්ම ගල් පැළෙන බොරුවකි. දැන් අන්තරේ එදා රණවිරුවන් කියා සහය දුන් හමුදා මැර හමුදා ලෙස දකින්නේත් එදා සතුරන් ලෙස දුටු එල්.ටී.ටී.ඊ යේ අතුරුදන් වූවන් වෙනුවෙන් මහා ඝෝෂාවක් සිදු කරන්නේත් සිය නායකත්වයේ සිදු වූ වෙනස නිසා බව තේරුම් ගත යුතුය.අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සිය පැවැත්ම සඳහා විවිධ හේතූන් නිර්මාණය කර ගනියි. දැන් ඔවුන්ගේ ප්‍රධාන සටන් පාඨය වන්නේ ජ‘පුර සරසවියේ විරු සිසු ස්මාරකයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමයි. විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා එළවා දැමීමේ ව්‍යාපාරයක් බවට පත්ව ඇත්තේ එයයි. ස්මාරකය විනාශ කර දැමීමත් උද්ඝෝෂණ සංවිධානය කිරීමත් අතර ඇති කාල පරාසය සැලකිල්ලට ගැනීමේ දී මෙය සැළසුම් කර කරන ලද ප්‍රහාරයක් බව තේරුම් ගැනීමට ඕනෑම පුද්ගලයෙකුට හැකිය. ඒ සඳහා අපරාධ පරීක්ෂණ විද්‍යාව හදරා තිබීම අත්‍යාවශ්‍ය නොවේ. ජ‘පුර ගැටුමට සමගාමීව රජරට වෛද්‍ය පීඨයේත්, කැළණිය විශ්ව විද්‍යාලයේ හා සබරගමුව විශ්ව විද්‍යාලයේත් ගැටළු කාරී තත්ත්වයන් ඇති වී තිබේ. මේවා එකකට එකක් වෙනස් හේතූන් මත ඇති වූ බව පෙනෙන නමුත් සමස්ථ චිත්‍රයම පෙන්වන්නේ රජයේ විශ්ව විද්‍යාල පද්ධතිය අවුල් වී ඇති ආකාරයකි.
ශිෂ්‍ය උද්ඝෝෂණ මෙල්ල කිරීමට යාමේ දී ආණ්ඩුව සැලකිල්ලට ගතයුතු කරුණු බොහෝය. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට විකල්ප වශයෙන්  ‘විශ්ව විද්‍යාල ස්වාධීන සිසු හැරවුම් ව්‍යාපාරය’ නමින් නව සංවිධානයක් නිර්මාණය කර ඇති බව පුවත් වෙබ් අඩවියක් වාර්තා කොට තිබුණි. මෙය ඇත්තෙන්ම අතිශයින් ප්‍රමාද වී සිදු කරන ලද කටයුත්තකි. මේ අවස්ථවේ මෙවැනි ශිෂ්‍ය ව්‍යාපාරයක් බිහිවීමත් සමග එය ආණ්ඩුවේ අතකොළුවක් ලෙස හඳුන්වාදීමට ඇති ඉඩ බොහෝය.
 මෙම රජයට එ.ජා.ප රජයකට නැති වාසි සහගත තත්ත්වයන් රාශියක් ඇත. ප්‍රධානතම වාසිය වන්නේ විශ්ව විද්‍යාල වල බහුතර ශිෂ්‍ය පිරිසක් නියෝජනය කරන සමාජයේ පන්තීන් වල එයට තවමත් ඇති විශ්වාසයයි. විවිධ විවේචන මැද වුවද මහින්ද රාජපක්ෂ මහතාගේ රජය තවමත් ඉතා විශාල ජනප්‍රිය තාවයකින් යුක්තය. මේ නිසා සිය ජනප්‍රිය තාවය ආණ්ඩුවට භාවිතා කළ හැකි හොඳම අවිය වේ.
විශ්ව විද්‍යාල වසා දැමීම ප්‍රශ්ණයට පිළිතුර යැයි යමෙක් සිතන්නේ නම් එය මුලාවකි. විශ්ව විද්‍යාල වසා දැමෙන තරමට එය අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට වාසි සහගතය.එය ඔවුන් පසුපස සිටින බල වේගයන්ට පිරිස් බලය ලබාදෙන මූලික ක්‍රමයකි. විශ්ව විද්‍යාල වසා දැමූ පසු නිකරුණේ සිටින ශිෂ්‍යයින් උද්ඝෝෂණ ,කැට ව්‍යාපාර ආදියට ගෙන්වා ගැනීම පහසුය. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මේ කරුණු ගැන වඩාත් අවධානය යොමු කළ යුතුය.  අනෙක් අතට විශ්ව විද්‍යාල වසා දැමීමෙන් විනාශ වන්නේ මේ රටේ ජාතික ධනයයි. ගොඩනැගිලි, උපකරණ නඩත්තු වියදම් පමණක් නොව සේවක පඩි නඩි ද ගෙවමින් වසා දැමූ විශ්ව විද්‍යාල නඩත්තු කළ යුතුය. ඒ සඳහා මුදල් ගෙවන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියන් බව තේරුම් ගත යුතුය.
දරදඬු තීරණ වළින් පමණක් මෙම ප්‍රශ්නය විසඳා ගත හැකියයි උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක මහතා කල්පනා කරන්නේ නම් එතුමාට ඒ ගැන නැවත සිතා බලන මෙන් මම යෝජනා කරමි. අමාත්‍යවරුන් සිය රාජකාරි කළ යුත්තේ පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව නොව රටේ පොදු න්‍යාය පත්‍රයට අනුවය. ශිෂ්‍ය භාවය තාවකාලිකව හෝ සදාකාලිකව ඉවත් කළ පමණින් ප්‍රශ්න විසඳෙන්නේ නැත. එවැන්නක් කිරීමෙන් සිදු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන හා සමාජ ඒකාධිපති වාදී පිරිස් අතට පත් වීමට අවශ්‍ය ගම්‍යතාවයක් ලබාදීම පමණි. අනෙක් අතට ශිෂ්‍ය භාවය අහෝසි වූ ශිෂ්‍යයා වැටෙන්නේ සමාජයටය. ඇත්තෙන්ම ඔහු සමාජ විරෝධී පුද්ගලයෙකු නම් එවන් පුද්ගලයෙකුගෙන් සමාජයට සිදු වන හානිය වළක්වා ගැනීමේ ක්‍රමයක් ක්‍රියාත්මක නොවේ. එවිට සමාජයට වෛර කරන කණ්ඩායම් වල නායකත්වයට නිතැතින්ම පත් වන්නේ මෙම පුද්ගලයින්ය.
රජයේ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්‍ය ව්‍යාපාර නොමැති බව මේ දින වල නිතර අසන්නට ලැබෙන පැමිණිල්ලකි. එය 100% ක්ම සත්‍ය වේ. විශ්ව  විද්‍යාල ශිෂ්‍ය සංගම් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයන් නොවේ. ඒවා යේ ප්‍රජාතන්ත්‍රවාදී ස්වභාවය ඉවත් කිරීමට මුල් වූයේ දශක ගණනාවක් තිස්සේ සමාජය පුරා වූ ප්‍රජාතන්ත්‍ර විරෝධී හැසිරීම්ය. සරසවි සිසු ගැටුම් නිමා කිරීමට නම් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම එය තුළට නැවත හඳුන්වා දිය යුතුය. එය සිදු කිරීමේ දී වැඩි වගකීම ඇත්තේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට සහ සරසවි ආචාර්යය මණ්ඩල වලටය. දඬුවම් සෑම විටම අමිහිරිය. එනිසා දඬුවම් දිය යුත්තේ නිශ්චිතවම දඬුවම් දිය යුතු තැනැත්තන්ට පමණි. දඬුවම් දීමේ දී සිදු වන එක් අත් වැරැද්දක් මුළු මහත් ක්‍රමයම අනතුරේ හෙළයි. එයින් පොහොර සැපයෙන්නේ වෛරය වගා කරන කණ්ඩායම් වලටය. ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රචණ්ඩත්වයෙන් ලබා දිය නොහැක. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික පදනම අන්‍යෝන්‍ය ගෞරවයයි. එනිසා බහුතරයක් වූ සාමකාමී ශිෂ්‍ය පිරිස් දිනාගැනීමට කටයුතු කළ යුතුය. බලය පාවිච්චි කළ පමණින් අවනත භාවය ලැබෙන්නේ ප්‍රාථමික සමාජයන්හි පමණි. විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් යනු හුදෙක් බලය පාවිච්චි කොට පාලනය කළ හැකි පිරිසක් නොවේ.
අපේ විශ්ව විද්‍යාල පද්ධති තුළ නොයෙකුත් ගැටළු ඇති බව පළමුවෙන්ම පිළිගත යුතුය. විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් ගේ දුක් ගැනවිලි වලට අවංකය කන් දිය යුතුය. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්‍ය කණ්ඩායම් බල ගැන්විය යුතුය. එයින් මා අදහස් කළේ ඔවුන්ට මැර හමුදා සැපයිය යුතු බව නොවේ. ශිෂ්‍යයින් අතර බහුතරය සාමකාමී සහජීවනයට කැමැති පිරිස්ය. එනිසා ඔවුන් අදහස් වලින් හා දැනුමෙන් පෝෂණය කළ යුතුය. එකිනෙකා වෙත ගරු කිරීමට ඔවුන් පෙළඹ විය යුතුය. ජනතා විමුක්ති පෙරමුණේ හෝ එක්සත් ජාතික පක්ෂයේ හෝ නිදහස් සන්ධානයේ හෝ සාමාජිකත්වය දැරීම හෝ ඒ අනුව වැඩ කිරීමට යම් සිසුවෙකු හෝ කණ්ඩායමන් කැමැත්ත දක්වන්නේ නම් එයට ගරු කළ යුතුය. නමුත් අනෙකුත් දේශපාලන අදහස් දරන සිසුන් ගේ අදහස් වලටද ගරු කළ යුතු බව ඔවුනට ක්‍රියාවෙන්ම පැහැදිළි කළ යුතුය. විශ්ව විද්‍යාල ශිෂ්‍යයා නිර්දේශපාලනය කිරීම මෙම ගැටළුවට පිළිතුරක් ලෙස  සමහරුන් දකිති. මම එයට එකඟ නොවෙමි. අපි ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් දැකීමට කැමැත්තෝ නම් සෑම දේශපාලන මතවාදයක්ම අනෙක හා සමානවම වැදගත් බව උගත යුත්තෝ වෙමු. විශ්ව විද්‍යාල වලට පැමිණෙන ශිෂ්‍යයින් ගෙන් බහුතරය සුන්දර මනස් ඇත්තෝ වෙති. අපේ රටේ මී ලඟ නායකයෝ වන්නේ මොවුහුය. ඔවුන් තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික යහගුණ වගා කිරීමට අපි සැවොම උදවු කළ යුත්තෙමු. අන්‍ය මතයන්ට ගරු කරන විශ්ව විද්‍යාල ප්‍රජාවක් ඇති වන දින අපි දියුණු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මුල් පියවර තැබූ ජාතියත් වන්නෙමු.

Saturday, January 7, 2012

සරත් ෆොන්සේකා නිදහස් කළ යුතුද?

මෙම බ්ලොග් අඩවිය ලිවීම පටන් ගත් දින සිටම සරත් ෆොන්සේකා මහතා හෝ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෝ කෙළින්ම ඉලක්ක නොකරන පිළිවෙතක සිට ලිවීමට මම හැකිතාක් උත්සාහ ගත්තෙමි. එයට හේතුව වූයේ පසුගිය ජනාධිපතිවරණයේදී මෙම දෙදෙනා එකිනෙකාට එරෙහිව ඉදිරිපත් වීම මා අනුමත නොකිරීමම පමණක් නොවේ. ඔවුන් දෙදෙනාගෙන් කිසිවෙකුටත් මාගෙන් අසාධාරණයක් නොවීම පිණිසය. මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කිරීම යුද්ධයෙන් පසු ගොඩ නැංවිය යුතු ශ්‍රී ලාංකීය ජාතිය ගොඩ නැංවීමේ ක්‍රියාවලිය මහත් පසුගාමී තත්ත්වයකට පත් කරණු ඇත යන්න මගේ හැඟීම විය. අනෙක් අතට යුද්ධය නිමා කිරීමේ ගෞරවය මෙම දෙදෙනා අතර නිසි ලෙස බෙදී යාම අවහිර කිරීමක් ද මෙමගින් සිදුවන බව මගේ දැකීම විය.
සරත් ෆොන්සේකා මහතා නිදහස් කළ යුතු බව විපක්ෂ කණ්ඩායම් බොහෝ කළෙක සිට හඬ නැගූවත් මෑතක සිට මහින්ද රාජපක්ෂ මහතාට සමීප හා ඔහු ගැන මධ්‍යස්ථ දෘෂ්ඨියක සිට කථා කරන සමාජයේ වැදගත් ස්ථානයන් නියෝජනය කරන කිහිප දෙනෙකුම අදහස් පළ කොට තිබූ නිසා දීර්ඝ නිහැඬියාව බිඳ දමා යමක් ලියා තබන්නට සිත්විය.
සරත් ෆොන්සේකා මහතා හමුදාපති තනතුරට පත් වූ ආකාරය පිළිබඳ විවිධ අදහස් තිබෙන නමුත්, එම තනතුරට ඔහුව පත් කිරීමේ දී ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා අතින් වැදගත් සේවයක් සිදුවූ බව යමෙක් පිළි නොගන්නේ නම් එය හුදෙක් දේශපාලන කුහකත්වය යැයි සිතමි. අපේ රටේ පමණක් නොව ලෝකයේ ඕනෑම රටෙක හමුදාපතිවරයා පත් කිරීමේ දී රාජ්‍ය නායකයා ඔහු කෙරෙහි දක්වන ආකල්පය බලපාන බව නොරහසකි. සරත් ෆොන්සේකා මහතා ඒ ගැන මහින්ද රාජපක්ෂ මහතාට ස්තූති විය යුතුමය. මෙයට පෙර මෑත අතීතයේ හුදෙක් දේශපාලනමය හේතූන් නිසා හමුදාපති ධූරය අහිමිවූ දක්ෂ එඩිතර ජ්‍යේෂ්ඨ නිලධාරීහු වෙති. හමුදාව පාලනය කිරීමේ දී ඔහු සිය අභිමතය පරිදි හමුදාව පාලනය කළ බවත් යුද්ධයේ විවිධ අවස්ථාවල දී සරත් ෆොන්සේකා මහතාට පමණක් නොව අනෙකුත් හමුදාපතිවරුන්ට හා ජ්‍යේෂ්ඨ නිලධාරීන්ටද දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොරව යුද්ධය කරගෙන යාමට ඉඩ නොලද්දේ නම් අපි තවමත් දිග්ගැස්සුනු සිවිල් යුද්ධයක හෝ ආක්‍රමණයක පැටැලී සිටින්නෙමු.
යුද්ධය කරගෙන යාමේ දී හමුදා චිත්ත ධෛර්ය නැංවීමේ දීත් යුද්ධය මෙහෙය වීමේදීත් සරත් ෆොන්සේකා මහතා කිසිවක් නොකළේය යන මතයට මම කිසිසේත් එකඟ නොවෙමි. එයද ඉහත සඳහන් කළ වර්ගයේ ම කුඩුකේඩු දේශපාලන කථාවකම පමණි. දැඩි තීරණ ගැනීමේ දීත් යුද්ධය මෙහෙය වීමේ දීත් ෆොන්සේකා මහතා දැක් වූ දක්ෂතාවය සහ කැපවීම අවංකව අගය කිරීමට අප පසුබට විය යුතු නැත. 
ෆොන්සේකා මහතාට වැරදුනේ තමන් දන්නා හමුදා මෙහෙයවීමේ සිට නොදන්නා දේශපාලනයට බැසීමට ඉක්මන් වීම නිසාය. ඔහු දේශපාලනයට පැමිණීම පිළිබඳව මාගේ විවේචනයක් නැත. මේ රටේ සෑම පුරවැසියෙකුටම මෙන් ඔහුටද දේශපාලනයට එක්වීමට අයිතියක් ඇති අතර තමන් කැමැති මතවාදයක් ඉදිරිපත් කරමින් ජනතාව අතරට යාමටද ඔහුට අයිතියක් ඇත. එසේ වුවද ඔහුගේ දේශපාලන ප්‍රවේශය කඩිමුඩියේ සිදුවූවක් බව පෙනේ. 
යුද්ධය අවසන් වූ වහාම ජනාධිපතිවරයාට ඇති බලතල පාවිච්චි කොට මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයකට යන බව විපක්ෂයේ ගණන් බැලීම විය. එසේ වුවත් විපක්ෂයට මහින්ද රාජපක්ෂ නමැති චරිතය පිළිබඳව කිසිදු ශාස්ත්‍රීය ගණන් බැලීමක් නොවූ බව පැහැදිළිය. එතෙක් රටේ පාලනයට සෘජුවම හවුල් වූ පවුලක සාමාජිකයෙකු නොවූ මහින්ද රාජපක්ෂ මහතා ගමේ චණ්ඩියෙකු සේ ක්‍රියා කොට යුද්ධය අනා ගනු ඇති බව ජ.වි.පෙ මෙන්ම එ.ජා.ප යේ ද ගණන් බැලීම විය. එය මෙරට පාලනයේ පැවැති එක්තරා කණ්ඩායම් වාදී හැඟීමක ඉස්මතු වීමකි. කණගාටුවට කරුණ නම් මාක්ස්වාදී ව්‍යාපාරයක් ලෙස පෙනීසිටීමට උත්සාහ කරණ ජනතා විමුක්ති පෙරමුණද මෙම මතය දැරීමයි. ජ.වි.පෙය සිතුවේ තමා විසින් යුද්ධයට තල්ලු කරනු ලබන මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය අසාර්ථක කර ගනිමින් විදේශීය බලවේගයන්ට යටත් වනු ඇති බවත් එහිදී ඇතිවන ජනතා අප්‍රසාදය හමුවේ තමන්ට පාර්ලිමේන්තුව තුළ වූ කෘත්‍රිම බලය පාවිච්චි කරමින් බලය ඩැහැ ගැනීමත්ය. එ.ජා.පයද සිතුවේ මීට වඩා වැඩි වෙනසක් ඇතුව නොවේ. දෙපාර්ශවයම සිය මුල් ගණන් බැලීම වරද්දා ගත් විට තමන්ට නොවරදවාම මුහුණ දීමට සිදුවන ජනාධිපතිවරණයට ඇඟ බේරා ගැනීමටවත් සුදුසු මට්ටමේ සූදානමක නොවූහ. සරත් ෆොන්සේකා මහතා කරලියට ගනු ලැබූයේ මේ අවස්ථාවේදීය.
සරත් ෆොන්සේකා මහතා හමුදාපතිවරයෙකු වශයෙන් අවශ්‍ය දැඩි බව තිබුණද නායකයෙකු වශයෙන් දුර්වල චරිතයක් බව මගේ හැඟීමයි. ඔහු තුළ තමා සහ යුධ හමුදාව පිළිබඳව දැඩි අභිමානයක් තිබූ අතරම අනෙකුත් හමුදාපති වරුන් අවඥාවෙන් යුතුව සැලකීමට වූ ඔහුගේ ආකල්පය නායකයෙකු වශයෙන් ඔහුගේ ශක්‍යතාවය මුළුමනින්ම විනාශ කර දැම්මේය. ඔහු ගෞරවය බෙදා ගනු වෙනුවට එය පොදි ගසාගන්නට තැත් කළේය. ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහන් කිහිපයකම ඔහු හිටපු නාවික හමුදාපතිවරයා අපහසුතාවයට පත් කළේ පාසැල් කොළු ගැටයෙකුට නොදෙවෙනි ලෙස හැසිරෙමිණි. ජ්‍යේෂ්ඨ හමුදා නිලධාරීන් අතරද ෆොන්සේකා මහතා එතරම් ජනප්‍රියව සිටි බවක් නොපෙනේ. 
මෙවැනි පුද්ගලයෙකු කඩිමුඩියේ දේශපාලනයට ගෙන ඒමෙන් පොදු විපක්ෂය ලෙස එවකට හැඳින්වූ සන්ධානය ජාතියට සිදු කළේ මහා විනාශයකි. විශ්‍රාම යාමෙන් කළකට පසුව සමාජය ගැන හොඳ විශ්ලේෂණයක් ඇතිව වඩාත් සංයමයකින් දේශපාලනයට පැමිණියේ නම් සරත් ෆොන්සේකා මහතාගෙන් මේ රටට ඉතා විශාල සේවයක් කරගන්නට පිළිවන් වන්නට තිබිණ. නමුත් අදූරදර්ශී දේශපාලනඥයින් කිහිප දෙනෙකුගේ උගුලට හසුවීම නිසා ඔහු තොරාගත්තේ වෛරී දේශපාලන සංස්කෘතියකි. ජනාධිපතිධූරාපෙක්ෂකයෙකු ලෙස ඔහු කළ සියළු ප්‍රසිද්ධ ඇමතීම් වලින් ඔහු සිදු කරගත්තේ දේශපාලනඥයෙකු විසින් කිසිදා සිදු නොකර ගත යුතු තරම් හානියකි. යමෙක් දේශපාලනයට නොආ යුත්තේ කෙසේද යන්න පිළිබඳව හොඳම උදාහරණය පෙන්වා දෙමින් ඔහු අති විශාල මැතිවරණ පරාජයකට මුහුණ පෑවේය.
මේ වන විට ෆොන්සේකා මහතා වෛරී දේශපාලනයේ ගොස් ඇත්තේ නැවත හැරීමට නොහැකි තරම් දුරකි. ඔහු වටා සිටින පිරිස් ඔහුව සිය පැවැත්මේ කොටසක් කරගෙන සිටින බව පෙනේ. මෙයට දින කිහිපයකට පෙර ඔහු විසින් ප්‍රසිද්ධ මාධ්‍යයකට කළ කතාවෙන් පැහැදිළි වන්නේ තවමත් ජනතා නායකයෙකු වශයෙන් සමාජය ඇමතීමට ඔහු පුරුදු වී නැති බවකි.
සරත් ෆොන්සේකා මහතා සිර ගත කරනු ලැබ ඇත්තේ අධිකරණ යේ නඩුවක තීන්දුවක් වශයෙන් බැවින් ඒ ගැන වැඩිදුරටත් සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණ නොවේ. ෆොන්සේකා මහතා තවදුරටත් සිර ගත කරනු ලැබ තිබීම තමන්ට වාසිදායක යැයි ආණ්ඩුව කල්පනා කරන්නේ නම් එය මිත්‍යාවක් බව වහාම ආණ්ඩුව තේරුම් ගත යුතුය. ඇත්තෙන්ම සරත් ෆොන්සේකා මහතා සිර ගත වී සිටීම රජය පැත්තෙන් අවාසි දායකය. ඊට හේතු කිහිපයකි.
සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයේ දී විපක්ෂයේ පොදු අපේක්ෂකයා වීම මගින් ඔහුට ජාත්‍යන්තර වශයෙන් යම් පිළිගැනීමක් ලැබී ඇත. එවැනි තත්ත්වයක් තුළ ඔහුව සිරගත කර තිබීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව මවා පාන්නේ එතරම් හොඳ චිත්‍රයක් නොවේ. යම් හෙයකින් ෆොන්සේකා මහතා ජනාධිපති ධූරයට පත් වී නම් මහින්ද රාජපක්ෂ මහතා ගේ සහ ඔහුගේ පවුලේ අයගේ තත්ත්වය මීට වඩා බෙහෙවින්ම නරක් වන්නට ඉඩ තිබුණද දේශපාලනයේ දින 40ද අත්දැකීම් ඇති ෆොන්සේකා මහතාට වඩා වසර 40 කඅත්දැකීම් ඇති රාජපක්ෂ මහතා වෙනස් ලෙස හැසිරෙනු ඇතියි ශිෂ්ඨ සම්පන්න සමාජය බලාපොරොත්තු වනු ඇත.
අනෙක් අතට ෆොන්සේකා මහතා සිර ගතව සිටීම ඔහුව නිදහස් කර ගැනීමේ ව්‍යාපාරයක් ඇතිකිරීමට හොඳ හේතුවක් සපයයි. එම ව්‍යාපාරය තුළින් වාසි ලබන්නේ ෆොක්සේකා මහතා හෝ ඔහුගේ පවුලේ අය නොවේ. වෙනත් පිරිස්ය. එම පිරිස් වලට ඉන්ධන ලබා දීමෙන් රජය කරන්නේ අනවශ්‍ය අර්බූධ ඇති කර ගැනීමකි.

අවසාන වශයෙන් යුද්ධය නිසා විනාශ වී  ගිය සමාජය නැවත නිර්මණය කිරීමට නම් සමාජ ය බෙදීමට ලක් කළ හැකි සියළු දේ ඉවත් කළ යුතු බව මගේ හැඟීමයි.

සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම සලකා බැලිය යුත්තේ මේ සියළු කරණු දෙස මධ්‍යස්ථව සලකා බැලීමෙනි. මගේ අදහස නම් තවත් කල් නොයවා ඔහුට ජනාධිපති සමාවක් ප්‍රධානය කිරීම වඩා ප්‍රායෝගික වනු ඇති බවයි.