Tuesday, October 11, 2011

ගිනි අවි සහ ගිනි කෙළි!... ජනාධිපතිතුමාට විවෘත ලිපියක්..

අතිගරු ජනාධිපතිතුමනි,
මෙවැනි ලිපියක් ඔබ අමතා ලිවීමට සිදුවෙතැයි මම කිසිවිටෙකත් බලාපොරොත්තු නොවූයෙමි. ඇත්තෙන්ම මෙයට වඩා බෙහෙවින් වෙනස් ලිපියක් ලියන්නට සිතා සිටියද පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේ දී සිදුවූ අවාසනාවන්ත සිදුවීම නිසා මෙවැන්නක් ලිවීමට සිදුවිය.
ඔබතුමා 2005 දී ජනාධිපති ධූරයට පත්වූ මොහොතේ රටේ පැවැති තත්ත්වය ගැන අමුතුවෙන් යළි යළිත් මතක් කිරීම අනවශ්‍ය කරුණක් වුවද එතැනින්ම මෙම ලිපිය පටන් ගැනීමට සිතුවේ එය වඩාත් යෝග්‍යය යැයි සිතූ නිසාය. එදා ඔබතුමාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට සිදු කරන්නට වූ සටන පක්ෂයක් තුළ දී මෙයට පෙර සිදු කළා නම් එසේ කළේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාට පමණි. එසේ වුවද එතුමාටවත් ඔබතුමාට තරම් කෙනෙහිලිකම් හා කුඩම්මාගේ සැළකිලි හිමිවූයේ යැයි මම නොසිතමි. එවැනි තත්ත්වයක් යටතේ පවා ඔබතුමා ජනාධිපති පුටුව කරා කැඳවාගෙන ගියේ මේ රටේ අහිංසක ජනතාවය. විශේෂයෙක් දකුණේ ජනතාවය. “මහින්ද මහත්තයා“ කිසි දිනෙක අපට පිටු පාන්නේ නැති බව දකුණේ ජනයා හද පතුලෙන්ම විශ්වාස කළේ 1970 සිට ඔබතුමා රටේ පොඩි මිනිසුන්ගේ පැත්ත ගෙන ක්‍රියාකල නිසා මිස ඔබතුමා රටේ නායකත්වයට  “ඔටුන්න හිමි කුමාරයෙකු“ වූ නිසා නොවේ. ඔටුන්න හිමි කුමාරවරු සහ කුමාරියන් තමන්ට බලය ලැබුණ විට කළ කී දෑ කෙතරම් දැයි මම ඔබට අමුතුවෙන් නොකියමි.  ඒ ඔබතුමා එම රජයන් හි තමන්ගේම අයගේ වෙනස්කම් වලට ලක්වෙමින් සිටි නිසාය. අනුන් ගේ ගෙවලදී වෙනස් කම් වලට ලක් වෙනවාට වඩා තමන්ගේම ගෙදරදී වෙනස් කම් වලට ලක්වීමේ දී හිතට කෙතරම් අමාරුදැයි ඔබතුමා විසින්ම විඳ දරාගෙන ඇත.
අතිගරු ජනාධිපතිතුමනි, 1994 දී පොදු ජන එක්සත් පෙරමුණ බලයට ගෙන ඒමට ක්‍රියා කළ ක්‍රියාකාරිකයෙකුගේ දරුවෙකු වන මම එකළ විපක්ෂ කණ්ඩායම් වල වූ උනන්දුව හොඳින්ම දුටුවෙමි. පොදු පෙරමුණ ජයගත් මොහොතේ සිට අප සිතා සිටියේ රටේ යහපාලනය ඇරඹී අවනීතියට යට වී තිබූ පොලිස් සේවයට අපක්ෂපාතීව සිය කටයුතු කරගෙන යාහැකි, රාජ්‍ය සේවකයා තවදුරටත් දේශපාලන පළිගැනීම් වලට ලක් නොවන සාධාරණ යුගයක ආරම්භය එය බවය. රටේ අහිංසක ජනයා තුළ වූ ඒ සියළු බලාපොරොත්තු ගලෙක ගැසූ පාත්‍රයක් සේ කුඩු පට්ටම් වී ගියේ හිටපු ජනාධිපතිනිය වටා රොක් වූ අළුත් පාක්ෂිකයන්ට ඕනෑ හැටියට එතුමිය රට පාලනය කිරීමට පටන් ගත් නිසාය. 94ට පෙර දූෂිත ක්‍රියා වල නිරත වූවන් ගාළු මුව දොර පිටියේ දී ජනතා අධිකරණයට පමුණුවන බව කී චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය අවසානයේ අධිකරණය විසින්ම වැරදි කාරියක කොට දඩයකට යටත් කෙරුණේ දූෂිත ගනුදෙනුවක් සම්බන්ධයෙන්ම වීම දෛවයේ සරදමක් ලෙස සිතමි. 94 ට පෙර පාතාල නායකයින්ට පොලිස් නිලධාරීන් ලවා සැලියුට් ගැස්සවීම ගැන කථා කළ එතුමියගේ ආරක්ෂකයා නම ගිය පාතාග නායකයෙකැයි පුවත්පත් වල සඳහන් වන වාර්තා මා කියැවූයේ ඉච්ඡා භංගත්වයෙන් යුතුවය. ස්ත්‍රී දූෂණ, වංචා හා හොරකම් මෙන්ම මිනීමැරුම් චෝදනාවන්ට ලක්වූවන්ට පවා පොදු පෙරමුණු ආණ්ඩුව හුදෙක් සිය දේශපාලන පක්ෂයට එකතුවීම නිසාම සහන ශීලී ලෙස සලකන අයුරු බලා සිටීම හැර වෙනයමක් කිරීමට අපි අපොහොසත් වූයෙමු.
2005 දී ඔබතුමා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ බොහෝ දෙනා කී දේ නම් මහින්ද මහත්තයා කෙළින් මිනිහෙක් වැරදි වැඩට එයා ලඟ ඉඩ නැහැ යනුවෙනි. දකුණේ අපට ඔබතුමා මහින්ද රාජපක්ෂ මහතා නොවේ. ඔබ අපට අපේ මහින්ද මහත්තයා ය. ඔබට එරෙහිව බොහො දෙනා මොනවා කීවත් දකුණේ මිනිසුන්ට 88/89 කාලයේ ඔබතුමා කළ කී දෑ අමතක නැත. 2009 වන විට ඔබතුමාගේ ජනප්‍රියතාවය තවත් ඉහළ ගියේ ඔබතුමා කරන දේ කියන කියන දේ කරන මිනිහෙක් ලෙස මේ රටේ අහිංසක මිනිසුන් දුටු නිසාය.
ගරු ජනාධිපතිතුමනි, ඔබතුමා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට උපන්ගෙයි සිටම වැළඳී ඇති රෝගයක් තිබේ. එනම් එන ඕනෑම කුණුගොඩක් ආදරයෙන් බදා ගැනීමත් බලයට එන්නට දරදිය ඇද දුන් නොවෙනස් පාක්ෂිකයින් අමතක කිරීමත්ය. මේ ව්‍යාධියට ඉක්මන් බෙහෙතක් නොකළොත් පක්ෂය ගොඩගැනීමට කෝඳුරු තෙල් පට්ටා 7කුත් තවත් ටිකක් තිබුණත් මදිය.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා මම කිසි දිනෙක හමු වී නැත. ඔහු‍ගේ ඡායාරූපයක් විනා කිසි දිනෙක මම ඔහුව දැක නැත. ඔහු කෙබඳු පුද්ගලයෙකු දැයි මම නොදනිමි. නමුත් පුවත්පත් වල හා වෙබ් අඩවි වල ඔහු ගැන ලියැවී ඇති දේ දුටු මට පෙනෙන පරිදි ඔහු ඔහුගේ මිනිසුන් අතර ජීවත් වූ තමන්ගේ මිනිසුන්ට ආදරය කළ මිනිසෙකි. බොහෝදෙනා ඔහු ගැන ප්‍රශංසාවෙන් කථා කරනු මම දැක ඇත්තෙමි. 94 දී පොදු පෙරමුණෙන් පාර්ලිමේන්තුවට ආ මේ මිනිසා පසුගිය කාලයේ දී දේශපාලයෙන් විශ්‍රාම ගෙන ඇත්දෝයි මට සිතුණු අවස්ථා බොහෝය. පසුගිය පළාත් පාලන ඡන්දයේ දී මේ දේශපාලනඥයා ඝාතනය වූයේ තමන්ගේම පිළට අළුතෙක් ආ අයෙකුගේ වෙඩි පහරින් වීම ඛේදයකි.
ගරු ජනාධිපතිතුමනි, 2009 මැයි මාසයෙන් පසුව මේ රටේ ආරක්ෂාව පිළිබඳව සහතිකයක් දී ඇති නිසා නැගෙනහිර හා උතුරු පළාතේ පවා මාර්ග බාධක ඉවත් කර ඇති අයුරු අපි දුටුවෙමු. එවැනි තත්ත්වයක් තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකුගේ ආරක්ෂාවට ටී 56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවි 7-8ක් අවශ්‍යවන්නේ ඇයි දැයි මට තේරෙන්නේ නැත. මම ආරක්ෂාව පිළිබඳව විශේෂඥයෙකු නොවේ. නමුත් එතරම් වෙඩි බලයක් සිවිල් පුද්ගලයෙකු සඳහා යෙදවීම මටනම් ප්‍රශ්නයකි. දැන් ප්‍රශ්නය එය නොවේ. එසේ සිය ආරක්ෂාවට ලබා දී තිබූ ගිනි අවිවලින් මිනීමරා ගැනීමය. එහිදී මිය ගොස් ඇත්තේ අප වැනි අහිංසකයෙකු පමණක් නොවේ. රටේ ඉහලම විධායක නිලධාරියා වන ඔබතුමාගේ උපදේශක වරයෙකි. පෙර ගමන් පසු ගමන් රථ පිරිවරා අප දෙසට ස්වයංක්‍රීය ගිනි අවි අමෝරාගෙන විදුලි වේගයෙන් පියඹා යන අපේම ජනතා නියෝජිතයින් දුටු විට තවමත් කානුවට බැස ඔවුන්ට ඉඩ දෙන්නට තරම් අපේ රටේ අහිංසක ඡන්දදායකයින් නිරහංකාරය.
අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමාගෙන් අපි ආශ්චර්යයන් නො ඉල්ලමු.
කරුණාකර නීතියට ඉහළින් සිටීමට වෑයම් කරන සියල්ලන්ම නීතියේ රැහැනින් බැඳ දමනු මැනැවි. මේ රටේ නීතිය සෑම පුරවැසියෙකුටම සමාන බව ක්‍රියාවෙන්ම ඔප්පු කරණු මැනැවි. ඔබතුමා තවමත් අපේ මහින්ද මහත්තයා ලෙස සලකන මේ රටේ නීති ගරුක පුරවැසියන්ගේ මේ ඉල්ලීම ඉටු කර දෙනු මැනැවි. ඔබතුමාගේ ආරක්ෂාවට කුඩ්ඩන්, පාතාල නායකයන්, හොරුන් නැතිවාට මේ රටේ අහිංසක පුරවැසියෝ සිටිති.
 කුඩ්ඩන්, පාතාල නායකයන්, හොරුන් ආරක්ෂා කිරීමට ගොස් මෙයට පෙර රට පාලනය කළ නායක නායිකාවන් කරගත් දේවල් ගැන ඔබතුමාට උපදෙස් දෙන්නට කිසිවෙකු අවශ්‍ය නොවේ. පෙර නායක නායිකාවන් ගිය පාරෙන් රට ගොඩගත හොත් මතු උපදින පරපුර ඔබතුමා තවත් දෙවියෙකු ලෙස සලකනු නොඅනු මානය. එසේ නොවුව හොත් ඔබතුමාට දෙවි පිහිටම පැතීම හැර වෙන යමක් අපට කිරීමට  නැත...
මෙයට,
විශ්වාසී,
අනෝජ්..

4 comments:

  1. //අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමාගෙන් අපි ආශ්චර්යයන් නො ඉල්ලමු.
    කරුණාකර නීතියට ඉහළින් සිටීමට වෑයම් කරන සියල්ලන්ම නීතියේ රැහැනින් බැඳ දමනු මැනැවි. මේ රටේ නීතිය සෑම පුරවැසියෙකුටම සමාන බව ක්‍රියාවෙන්ම ඔප්පු කරණු මැනැවි.

    එසේ නොවුව හොත් ඔබතුමාට දෙවි පිහිටම පැතීම හැර වෙන යමක් අපට කිරීමට නැත..//

    මමත් ඔන්න ඔය කැලි දෙක කියන්න එකතු වෙනවා

    ReplyDelete
  2. මේ කාරනාව ගැන මම විශාල කමෙන්ට් ගනක් ලියා ඇති නිසා නැවත නොලියන්නට සිතා සිටියත් ඔබගේ ලිපිය ගැන මට කියන්න දෙයක් තිබේ. එනම් මේ කියන සියල්ල සහතික ඇත්තයි. ඇයි මේ බැඳිවල යන්නේ? නීතියට ඉහලින් යන්න පුළුවන් කාටද?
    හෘද්‍ය ආක්ෂියක් ඇත්තෙක්ට නීතියට ගරු නොකර සිටිය හැකිද?
    මමද ඔබ සමග එක පෙලට සිටිමි. අපිට නීතිය සාධාරනත්වය දෙන්න. අපි ආශ්චර්යය හදන්නම්.

    ReplyDelete
  3. මහින්ද මහත්තයා රටේ ජනාධිපතිවරයා වීම රටේ භාගයටම සිදු වුවකි.දශක තුනක යුද්ධයකින් බැට කෑ ජනතාවට මහින්ද රාජපක්ෂ දෙවියකු වෙන්නේ ඇයි කියල කියන එක ඕනෑම කෙනෙක් දන්නවා. ඇත්තෙන්ම පක්ෂ විපක්ෂ සියලුම දෙනා එතුමාට ණය ගැතියි.

    නමුත් එතුමාගේ ගරුත්වය එතුමා ලබා දුන් ඒ විජයග්‍රහණය රටේ පොදු ජනතාවගේ හිතේ එතුමා පිළිබඳ ඇති ගෞරවය විනාශ කරන්නේ වෙන කව්රුවත් නෙවෙයි. එතුමාගේම වටේ ඉන්න රටේ සංවර්ධනයට එක සතයකින් දායක නොවන, එක තත්පරයකින් දායක නොවන උදවිය.

    රටේ ජනාධිපතිවරයා ඒ තැනට ඉතාමත්ම සුදුස්සෙක් බව අපි හද පතුලෙන්ම පිලිගන්නවා.. නමුත් ඇතැම් ඇමතිවරු, මන්ත්‍රීවරු පිළිබඳ අපේ හිත්වල තියෙන්නේ පිළිකුලක්... මේ නඩය රටේ පාලනය අයින් කර රටේ පාලනය යහපත් අතට හරවා දුන්නොත් මහින්ද රාජපක්ෂ මහතා දිවි ඇතිතෙක් රටේ නායකයා ලෙස පිළිගන්න අපි සුදානම්.

    ReplyDelete
  4. අපි චන්දය දිලා පත්කරගත්ති මහින්ද මහත්තයා මිසක් ගෝඨාබය රාජපක්ෂ කෙනෙකු නොව... නමුත් අද තියන වාතාවරනය හැටියට රට පාලනය වෙන්නේ මේ ගෝඨාබය රාජපක්ෂයන්ගේ උවමනා එපාකම් වලටදෝයි කියා සාධාරන සැකයක් උපදි... මෙහෙම ගියොත් මහින්ද මහත්තයටත් දේවියන්ගේ පිහිට පැතිමට සිදු විම වැලැක්විය නොහැකි කරුනකි. ...

    ReplyDelete