Sunday, April 25, 2010

නව ඇමති මණ්ඩලය සහ එහි වගකීම්

නව රජයේ ඇමති මණ්ඩලය ‍මේ වන විට පත් කොට තිබේ. සියළුම හිටපු ඇමතිවරුන්ගේ අමාත්‍යාංශ මේ වන විට වෙනස් ‍වී ඇත. ජනතාව විසින් ඉල්ලා සිටි පරිදිම ඇමතිධූර සංඛ්‍යාව ද අඩු කොට ඇත. මෙම නව සාධනීය තත්ත්වය අගය නොකරන්නෙක්වේ නම් ඔහු හෝ ඇය දේශපාලන කුහකයෙක් ලෙස හඳුන්වා දීම වඩාත් තාර්කිකය.
ඇමති තනතුරු වලට පත් කළ යුත්තේ කවුරුන්ද යන්න ජනාධිපතිතුමාට කියාදීමට යමෙක් අවශ්‍ය නොවේ. වසර ගණනාවක දේශපාලන අත්දැකීම් අනුව තමන්ට අවශ්‍යයෙන්ම උවමනා කරන කණ්ඩායම එතුමා තෝරාගෙන ඇති බව පෙනේ. මගේ සිතේ තිබූ ඇමැති මණ්ඩලය මෙයට වඩා මඳක් වෙනස් වූවත් නැවත සිතා බැලීමේ දී මෙම ඇමති තනතුරු ලබා දීමේ හේතු සිතා ගත හැකිය.
රටට දැන් අවශ්‍ය වන්නේ සීග්‍ර සංවර්ධනයකි. මෙම සංවර්ධනයේදී කැපවීමෙන් වැඩ කරන අවංක ඇමති මණ්ඩලයක් තිබීම ඉතා වැදගත් වේ. ඇමති වරුන් පමණක් නොව අමාත්‍යාංශ ලේකම් වරුද තෝරාගැනීමේ දී ඉහත අභිමථාර්තයන් ඉටු කිරීමට කැපවූ නිලධාරීන් පත් කරගැනීම වැදගත්ය. අමාත්‍යාංශයක වැදගත්ම නිලය හොබවන්නේ එහි ලේකම් වරයා වන අතර අමාත්‍යවරයා ගන්නා තීරණ කෙරෙහි විශාල බලපෑමක් කිරීමට දක්ෂ ලේකම් වරයෙකුට හැකියාවක් ඇත. එනිසා සිට අමාත්‍යාංශය නිවැරදි සහ රටට හිතකර ගමනක මෙහෙයවීමට ඇවැසි සෘජු සහ අවංක එමෙන්ම කොන්ද පණ ඇති ලේකම්වරුන් ඒ ඒ අමාත්‍යාංශ වලට පත් කිරීම අත්‍යාවශ්‍යවේ. ඇමැතිතුමා කියන ඕනෑම වැඩක් කරගෙන දෙකට තුනට නැවෙන ලේකම් වරුන් අමාත්‍යාංශයක සිටින්නේ නම් ඒ අමාත්‍යාංශය නිසි මගක ගමන් ගනී යැයි සිතිය නොහැක.
ඇමතිවරුන් මෙහිදී නිහතමානීව දැනගත යුතු කරුණක් ඇත. අමාත්‍යාංශ වල සිටින ඇතැම් දක්ෂ නිලධාරීන්ගේ උපදෙස් රටේ ඉදිරි ගමනට ඉතා වැදගත් වන බවය. එමෙන්ම වඩාත් දෙකට තුනට නැමෙන්නේ සිය රාජකාරිය නිසි ලෙස නොකරන නිලධාරීන්ය. එනිසා අවංක හා දක්ෂ නිලධාරීන් හඳුනාගෙන ඔවුන් රාජ්‍ය සංවර්ධනයට වඩාත් ඵලදායී ලෙස යොදවා ගැනීමත්, කොන්ද කඩා දමා ඇති රාජ්‍ය අංශයේ නිලධාරීන්ට ආත්ම ගරුත්වයක් ඇති පිරිසක් ලෙස සිය අත්දැකීම් ප්‍රයෝජනයට ගැනීමට අවස්ථාව සලසා දීමත් ඉතා වැදගත්වේ. පසුගිය කාලයේ ඇතැම් අමාත්‍යාංශ වල බරපතල ප්‍රශ්න ඇති වීමට ප්‍රධානතම හේතුවක් වූයේ ඇමතිවරයා සමග කථාකිරීමට වත් බියවූ නිලධාරීන් ඒවායේ උසස් නිලතල හෙබවීමය.
අපේ රටේ වැඩියෙන්ම කථා බහට ලක්වූ අමාත්‍යාංශ දෙකක් වන සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශ මෙවර ලැබී ඇත්තේ වැඩියෙන්ම කථා බහට ලක්වූ ඇමැති වරුන් දෙදෙනෙකුටය.
ගරු මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යතුමා පසුගිය සමයේ වී මිළදී ගැනීම සහ රට ස්වයං පෝෂිත කිරීමේ වැඩසටහනට උර දීමෙනුත් ශ්‍රී ලංකා නිදහස් පක්ශයේ ලේකම් වරයා වශයෙනුත් කථා බහට ලක්වූවෙකි. සෞඛ්‍ය අමාත්‍යාංශය යනු මේ රටට වැඩියෙන්ම දැනෙන අමාත්‍යාංශ වලින් එකකි. මීට පෙර සිටි නිමල් සිරිපාල ද සිල්වා ගරු ඇමතිතුමා සෞඛ්‍ය අමාත්‍යාංශය පාලනය කිරීමේ දී විවේචනයට ලක්වූයේ කුමන අංශ වලින් ද යන්න ගැඹුරින් සලකා බලන්නේ නම් මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමාට ජනප්‍රිය සෞඛ්‍ය ඇමතිවරයෙක් වීම අසීරු නොවනු ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශය යනු අපේ රටේ වැදගත්ම අමාත්‍යාංශයයි. මම එසේ කියන්නේ මීළඟ පරපුර නිර්මාණය කිරීමේ දී අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්යය භාරය තරම් තීරණාත්මක වෙනත් සාධකයක් දක්නට නොලැ‍බෙන නිසාය. අපේ සාරධර්ම දැන් නැත්තටම නැතිවී යමින් පවතී. මම අද මට අහන්නට ලැබුනු කථාවක් කියන්නේමි. මගේ මිත්‍රයෙකුගේ පියා 1970 දශකයේ ලංගම  රියැදුරු මහතෙකු වශයෙන් සේවය කළේය. ඔහු සේවය කළ බසයේ මාර්ගය වැටී තිබුණේ ඔවුන්ගේ නිවස අසලිනි. මගේ මිත්‍රයාගේ මව දිනක් නගරයට පැමිණ නැවත නිවසට යාමට සැරසෙද්දී සිය සැමියා සේවය කළ බසය දැක එහි යාමට සිතා, පෝලිමේ නොයා බසයට නැගීමට සිටියාය. ඇයගේ සැමියා කළේ ඇය බසයට නංවා නොගෙන කුළී රථයක එන ලෙස පවසා ඇයට මුදල් දීමය. මින් උරණවූ මගේ මිතුරාගේ මව එසේ කළෙ මන්දැයි විමසූ විට ඔහුගේ පියා දුන් පිළිතුර වූයේ බස් රථය ලංගමයට අයිති බැවින් එහි ගමන් කරන්නේ නම් නීති ගරුකව පෝලිමේ පැමිණ බසයට නැංග යුතු බවත් ඇයට පෝලිමේ සිටිය නොහැකි නම් කළ යුත්තේ මුදල් වැඩිපුරගෙවා කුළී රථයක පැමිණීම බවත්ය. මම මේ කථාව ලිව්වේ ඒ කාලයේ අපේ පුරවැසියන් තුළ තිබූ නීතිගරුක භාවයත් ස්වකීය රැකියාව කෙරෙහි තිබූ භක්තියත් පෙන්වීමටය. ‍නීති ගරුක පුරවැසියන් බිහිකිරීමේ දී අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරෙන රාජකාරිය ඉතා වැදගත්ය. අපේ රටේ දැන් දැන් බෝවී ගෙන යන්නාවූ නාස්තික වාදී නරුම සංස්කෘතියෙන් අපේ ඉදිරි පරපුර ගලවා ගැනීම සඳහා අවශ්‍ය කරන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සෑදිය යුතුය. අපට වැරදුන මුල්ම තැන නම් ආණ්ඩු මාරු වන විට වෙනස් වන අධ්‍යාපන ක්‍රමයක් පැවැතීමය. බන්දුල ගුණවර්ධන ඇමැතිතුමාට පැවරී ඇති වගකීම භාරදූර එකක් වන්නේ මේ නිසාය.
අවසාන වශයෙන් පුරවැසියෙකු ලෙස නව ඇමති මණ්ඩලයෙන් ඉල්ලා සිටින වැදගත්ම දෙය නම් ඔබ දරා සිටින ඇමති මන්ත්‍රී ධූර වල තාවකාලික බව දැන, බලයෙන් මත් නොවී වඩත් නිහතමානීව රටට සේවය කරන ලෙසයි...

Tuesday, April 20, 2010

හොඳින් නරක කිරීම සහ නරකින් හොඳ කිරීම

ගරු හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ලංකාවේ ‍බොහෝ කථා බහට ලක්වූ ආන්දෝලනාත්මක චරිතයකි. ඔහු ගැන විශේෂයෙන් ලිවීමට සිත්වූයේ පුවත්පත් සිරස්තල වැඩසටහනකින් කියැවුනු අපූරු පුවතක් කන වැටීම නිසාය.
මර්වින් සිල්වා ගරු මන්ත්‍රීතුමාගේ නියෝගයක් පරිදි කැළණිය ආසනයේ සියළු සුරා සැල් ( අවසර ලත් ඒවාද ඇතුළුව) වසා දමන්නට සිදු වී ඇතැයි යන ප්‍රවෘත්තිය සමග ඒ ගැන අදහස් පළ කල "නීත්‍යානුකූල" සුරාසැල් හිමියන් පවසා ඇත්තේ බලපෑම් නිසා තමන්ට සුරා සැල් වසා දමන්නට සිදුවී ඇති බවයි. මෙය වාර්තා කළ ජනමාධ්‍ය ද අහිංසක සුරාසැල්හිමියන් මර්වින් සිල්වා මන්ත්‍රීතුමාගේ "හිතුවක්කාරී අණට" යටත් වී ඇති බවක් වාර්තා කොට තිබේ.
සුරා සැල් නීතිගත කොට අරක්කු වෙළඳා‍ම ආදායම් මාර්ගයක් බවට පත් කරන ලද්දේ බ්‍රිතාන්‍ය ජාතිකයින් විසිනි. සුරාව පිළිකුල් කළ සිංහලයා සුරා සොඬෙකු බවට පත්කිරීම, දිනා ගැනීමට අපහසු උඩරට රාජ්‍යය ඉංග්‍රීසීන් වෙතමැ රඳවා ගැනීමේ ඩොයිලි ගේ උපායේ ප්‍රධාන කොටසකි. ඒ නයින් බලන කල මත්පැන් විකුණන සුරාසැල් සඳහා බලපත් දීම නැවැත්වීම මහින්ද රාජපක්ෂ මහතා ගන්නා ලද ඉතා සාධනීය පියවරෙකි. ඇත්තෙන්ම දැන් කළයුත්තේ දැනට විවෘතව තිබෙන සුරා සැල් වසා දැමීමය. නමුත් සෑමවිටම සිදුවන පරිදි මර්වින් සිල්වා ගරු මන්ත්‍රීතුමා ඉක්මන් වී ඇති බවක් පෙනේ. මම මාතෘකාව ලෙස ඉහත වාක්‍යය යෙදුවේ එනිසාය.
දැන් අපි මාතෘකාවට බසිමු. අපේ රටේ ජාතික සෞඛ්‍ය වැය ශීර්ෂයෙන් ඉතා විශාල මුදලක් වෙන් වන්නේ මධ්‍යසාර භාවිතය නිසා ඇති වන රෝග සඳහා ප්‍රතිකාර කිරීමටත් මත්පැන් පානය කොට සිදු කරගන්නා රිය අනතුරු සහ ගැටුම් වලට මැදිවන්නන්ට ප්‍රතිකාර කිරීමටත්ය. නමුත් ශ්‍රී ලංකාවේ අයවැය සකස් කිරීමේ දී රජයට ආදායම් ලැබෙන ප්‍රධාන මාර්ගයක් වන්නේ ද මධ්‍යසාර සහ දුම්වැටි මත පනවනු ලබන බදුය. ඉදින් ශ්‍රී ලංකාවේ මත්පැන් පෙරීම සහ ඉස්කාගාර පවත්වාගෙන යාම නීත්‍යානුකූලවේ. නීති විරෝධී වන්නේ ඒවා රජයට හොරෙන් බලපත්‍ර නොගෙන මත්පැන් පෙරුවහොත් පමණි.ඒ අපේ රටේ හොඳින් සිදුවන නරක ක්‍රියා සඳහා හොඳම උදාහරණයකි.

ඔබ නැසීගිය මහාචාර්ය නන්දසේන රත්නපාලයන් ලියූ ශ්‍රී ලංකාවේ ගණිකාවෝ නම් කෘතිය කියවා ඇත්නම් ඔබට තවත් උදාහරණයක් එයින් කියවා ගත හැක. ශ්‍රී ලංකාවේ නීතියෙනුත් සංස්කෘතියෙනුත් ගණිකා වෘත්තිය හෝ ගණිකාවන් වෙත යාම හෝ අනුමත නොකරයි. සාමාන්‍ය බසින් කිවහොත් එය නරක වැඩකි. නමුත් ඉතා ඉහල පෙළේ හෝටල් වල සිට මහමග දක්වා ඕනෑම ස්ථානයකදී ඔබට ගණිකාවක සොයාගැනීම අසීරු නොවනු ඇත. ඉතා සංවිධානාත්මකව හොඳින් සිදුවන තවත් නරක වැඩකි ගණිකා වෘත්තිය.

අල්ලස් ගැනීම මෙන්ම දීම ද අපේ රටේ නීති විරෝධී ක්‍රියවකි. නමුත් රැකියාවක් ලබාගැනීමේ සිට මරණ සහතිකයක් ලබාගැනීම හෝ රෝහලේ දී මියගිය සිය ඥාතියාගේ මළ සිරුර ලබා ගැනීම දක්වාම අල්ලස් දීමට සිදුවන සහ සිය කාර්යය ඉක්මනින් ඉටු කරවා ගැනීම සඳහා අල්ලස් දීමට කැමැත්තෙන්ම ඉදිරිපත්වන අවස්ථා කීයක් නම් දිනකට සිදුවනු ඇතිද? එයත් හොඳින් සිදුවන නරක ක්‍රියාවකි.

අසත්‍ය ප්‍රකාශ කිරීම ඉතා නරක වැඩකි. ඒ ගැන කිසිවෙකුත් මා සමග උරණ නොවනු ඇත. නමුත් කුඩා දරුවකු රවටා බත් කටක් කැවීමේ තැන සිට ඔහු පාසැලට ඇතුළු කිරීම දක්වාත්, ග්‍රාමෝදය මණ්ඩලයක සභාපති ධූරයේ සිට පාර්ලිමේන්තුවට මන්ත්‍රී වරුන් පත් කර ගැනීම දක්වාත් අසත්‍ය ඉතා ශූර ලෙස යොදා නොගැනෙන්නේද? ඒ හොඳින් කරන තවත් නරක වැඩකි. ඒ ගැන ප්‍රශ්ණ කළ හොත් අසත්‍ය ප්‍රකාශ කරන්නා නොයෙකුත් හේතු කියමින් සිය ක්‍රියාව සාධාරණීකරණය කරනු ඇත.

සොරකම් කිරීම තවත් එවැනි ඉතා නරක දෙයකි. නමුත් අපටත් හොරා අපේ බොහෝ දේ සොරකම් කරගත් බටහිරයෝ ඒවා එසේ කළේ ‍හොඳ චේතනාවෙන් යැයි කියති. ඒ සඳහා හොඳම උදාහරණය පසුගියදා පුවත් පත් වල පල විය. ඊජිප්තුවෙන් සොරාගෙන (විද්‍යාත්මක පර්යේෂණ මුවාවෙන්) ගිය පුරා වස්තු සමූහයක් නැවත ලබා දීම ප්‍රතික්ෂේප කළ ජර්මනිය කීවේ තමන් ඒවා ලබාගත්තේ නීත්‍යානුකූලව යැයි කියාය!

හොඳ දේවල් කරන ජනතාව පිළිගත් ක්‍රම වේද තිබේ. ශිෂ්ඨ ලෝකයා අනුමත කරන්නේ එවැනි ක්‍රම අනුව සිදු කරන ක්‍රියා පමණි. මෙහිදී ශිෂ්ඨ ලෝකයා ලෙස මා හැඳින්වූයේ සාමාන්‍ය සිවිල් සමාජයයි.

සොරෙකු සොරකම් කරද්දීම අල්ලා ගත් විට ඔහු පොලිසියට භාර දීම හොඳ වැඩකි. නමුත් එසේ භාරදීමට පෙර සොරාට බඩකට පුරා හොඳ හැටි ගුටිබැට දීම හැඳින්විය යුත්තේ නරකලෙස සිදු කළ හොඳ වැඩක් බවයි.

මර්වින් සිල්වා ගරු මන්ත්‍රීතුමාගේ ක්‍රියාව ද මා හඳුන්වන්නේ හොඳ වැඩක් නරක ක්‍රමයකට කිරීමක් ලෙසයි. අපේ රටේ මිනිසුන් රෝගීන් බවට පත් කරන, අපේ පවුල් සංස්ථාව කඩා බිඳ දමන "මත්පැන්" හෙවත් මධ්‍යසාර ලංකාවෙන් තුරන් කළ යුතුය. නමුත් ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කළයුතුය. ඒ සඳහා මත්පැන් හල් හිමියන්ට තර්ජනාංගුලිය එසවීමට වඩා කළයුතුව ඇත්තේ පාර්ලිමේන්තු පනතකින් සියළුම ආකාරයේ මධ්‍යසාර විකිණීම තහනම් කිරීමයි . මත්පැන් ප්‍රශ්නයක්ව ඇත්තේ කැළණිය මැතිවරණ බලප්‍රදේශයේ පමණක් නොවේ. එට රටටම පිළිලයකි. එනිසා එය ශ්‍රී ලංකා භූමි තලයෙන්ම තුරන් කළ යුතුය. ඒ සඳහා කළ හැකි හොඳම දේ හොඳම පිළිවෙලින් කිරීම රටටත් ආණ්ඩුවටත් මර්වින් සිල්වා මහතා වැනි අනෙකුත් සෑම ගරු මන්ත්‍රී තුමෙකුටම ආශිර්වාදයක් වනු ඇත. එසේ නැතිව ‍හොඳදේ නරකින් කිරීමට යාම ඉක්මනින්ම ලබා ඇති ජනප්‍රසාදය නැති කරගැනීමට හේතුවක් වීම වැළැක්විය නොහැක....




Monday, April 19, 2010

අළුත් අවුරුද්දේ අළුත් ආණ්ඩුව

මහ මැතිවරණය නිමවී දින කිහිපයක් ගෙවී ගොස් ඇති නමුත් ශ්‍රී ලාංකික අපි තවමත් අවසන් ප්‍රතිඵලය නොදැන සිටින්නෙමු. එයට හේතුව වන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය මැතිවරණ බල ප්‍රදේශයේත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කඹුරුපිඩ්ඩි බල ප්‍රදේශයේත් ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම ඊට හේතුවයි.
දැනට ලැබී ඇති ප්‍රතිඵල මත එක්සත් ජනතා නිදහස් සන්ධානය විශිෂ්ඨ ලෙස ජය ලබා ඇත. හෙට දිනයේ පැවැත්වෙන මැතිවරණයෙන් අනතුරුව සමස්ථ ප්‍රතිඵලය නිකුත් වනු ඇත. කෙසේ වෙතත් මෙවර මැතිවරණයෙන් ජනතාව ඉතා පැහැදිළි තීන්දුවක් ප්‍රකාශ කොට ඇති බව පෙනේ. එනම් තවදුරටත් අකාර්යක්ෂම දේශපාලනඥයන්ට ඔවුන් රැවටිය නොහැකි බවයි. බොහෝ දේශපාලන නිරීක්ෂකයන් පෙන්වාදුන් පරිදි ජනතාව මෙවර වඩාත් නිවැරදි තීරණය ගෙන ඇත. එය රටක් වශයෙන් අප ලබන ජයකි. මන්ද යත් දේශපාලනිකව සවිඥාණක ජනතාවක් යම් රටක පහළ වීම එරට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වීම පිළිබඳ සුභ පෙරනිමිත්තක් වීම නිසාය.
දැන් අපට අවශ්‍ය වන්නේ වැඩක් කළහැකි, තමන්ට පෙර රට ගැන සිතන දක්ෂ අමාත්‍ය මණ්ඩලයකි. එවැනි ඇමති මණ්ඩලයක් පත් කර ගැනීම කියන තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවන නමුත් ඇමති තනතුරු නොදිය යුතු පිරිස තේරීම නම් කජු කන්නාක් මෙන් පහසු වැඩකි. දැනට අපට අසන්නට ලැඛෙන කරුණු අනුව නම් ඇමති තනතුරු සංඛ්‍යාවෙහි පැහැදිළි අඩුවීමක් බලාපොරොත්තු විය හැකිය. එය එසේම විය යුතුය. එයට හේතුව නම් පසුගිය මහ මැතිවරණ සමයේත් ඊට පෙරත් රජයට එරෙහිව ඉදිරිපත් වූ ප්‍රධාන චෝදනාවක් වූයේ එම කරුන වීමයි.


අපේ විශාල ඇමති මණ්ඩලයට විසුළු කිරීම ඒ කාලයේ විදේශිකයින්ට විනෝදාංශයක් විය.

මම මෙහිදී මගේ පෞද්ගලික අත්දැකීමක් කියන්නෙමි. දිනක් මම රාත්‍රී ආහාරය ගැනීම සඳහා අම්පාර නගරයේ එක්තරා ප්‍රසිද්ධ හෝටලයකට ගියෙමි. ඒ දින වල උතුරු පළාතේ මානුෂික මෙහෙයුම් පැවැති අතර කංචිකුඩි ආරු වැනි නැගෙනහිර ඇතැම් ප්‍රදේශ වල සැගවී කොටි ක්‍රියාකාරකම් සිදුවිය. මා ආහාරගත් හෝටලය අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධාන වල ස්වේච්ඡා ‍සේවකයින් යැයි කියාගත් විදේශිකයින් ආහාර ගැනීමට නිතර ආ ගිය තැනකි. මා සිටි ස්ථානයට යාබදව ආහාර ගනිමින් සිටි විදේශික කණ්ඩායමක කථා බහ මගේ කනට අහම්බයෙන් වැටුණි. එහි වූ විදේශීකයින් පැමිණියේ ජාත්‍යන්තර රතු කුරුස සංගමයට අයත් ඩිෆෙන්ඩර් රථයකිනි. එහි සිටි එක් අයෙක් ඉංග්‍රීසි බසින් පැවසූයේ අපේ ඇමති මණ්ඩලයේ කෙතරම් ඇමතිවරුන් සිටිත් ද යත් බයිසිකල් වලටත් මෝටර් රථ වලටත් වෙනවෙනම ඇමතිවරු සිටින බවයි. ඔවුන් අවඥාවෙන් අපේ රට ගැන කථා කරද්දී මම මැඩගත් කෝපයෙන් සිටියේ වෙන කළ හැකි කිසිවක් නොවූ නිසාය.
පසුගිය කාලයේ ඉතා අකාර්යක්ෂම ඇමති වරුන් ලෙස ක්‍රියා කලත් පූර්ව ජන්මයකදී කළ යම් කුසල කර්මයක මහිමයක් ලෙස මෙවරද පාර්ලිමෙන්තුවට පිවිස සිටින ඇතැම් වැඩ බැරිදාසලා මෙවර නම් ඉවත් කළ යුතුමය. එසේ නොවන්නේ නම් ලැබූ ජය ඉතා ඉක්මනින්ම ආණ්ඩුවෙන් ගිලිහී යනු ඇත.
නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීමෙන් පසු පත් වන ආණ්ඩුවට තවත් බොහෝදේ කිරීමට ඉතිරිව ඇති බව එම ඇමතිවරුන් නිතර මෙනෙහි කළ යුතුය. අපි වසර 30 ක බිහිසුණු යුද්ධයකින් ඇති තරම් බැට කෑවෙමු. ඒ නිසාම ද්‍රවිඩ හා මුස්ලිම් ජනතාවටත් නැගෙනහිර ඌව උතුරු මැද සහ උතුරු පළාත් වලත් සිංහල ජනයාටත් සිදුවූ හානිය ඉමහත්ය. ඔවුහු යුද්ධයේ කුරිරු ප්‍රහාර වලට ලක්ව ලැබූ දරුණු තුවාල වලට ලක්ව සිටිති. ඔවුන් සිටින තත්ත්වය තේරුම් ගැනීමට නම් ඔවුන් අතර ජීවත් ව සිටිය යුතුය. යුද්ධයට පෙර ඔවුන් තුළ වූ බොහෝ සාරධර්ම ඔවුන් ලැබූ කටුක අත්දැකීම් සමග විනාශව යමින් ඇත. මෙම තත්ත්වය වෛරය සහ පළිගැනීම යන භයානක විෂ බීජ වලට සාරවත් කෙත් වතුය. මෙවර මහ මැතිවරණයට පෙර නැගෙනහිර පළාතේ සිංහල බහුතරයක් වෙසෙන ප්‍රදේශ වල අලවා තිබූ පෝස්ටරයකින් කියැවුනේ සිංහල කෙනෙක් පාර්ලිමෙන්තුවට යවා ගැනීමට ඡන්දය භාවිතා කරන ලෙසයි. මෙය තවත් ජාතිවාදී පෙළගැස්මක මූලික අංකුරදැයි මට සිතේ. නව රජය මෙම නව ප්‍රවණතා ගැන වහා අවධානය යොමු කළයුතුය.


රට සීග්‍ර සංවර්ධනයක් කරා මෙහෙයවීම මීළග අවශ්‍යතාවයයි. ඒ සඳහා අවශ්‍යයෙන්ම කළ යුතු කාර්යයන් වන්නේ රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමත් ඉහළම තනතුරෙන් පටන්ගෙන පහළට පැතිරී ඇති දූෂණ හා නාස්ති අවම කිරීමත්ය.


අවසන් වශයෙන් ඇල්ලේ ගුණවංශ හිමි යුද්ධය අවසාන වූ වහා කී යමක් ලියා තබමි. උන් වහන්සේ එක්තරා රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට සහභාගී වෙමින් වදාළේ රට ගොඩ නැගීම ගැන ජනාධිපතිතුමාගේ කැපවීම කෙරෙහි තමන් වහන්සේට කිසිදු සැකයක් නොවූවත් ඔහුගේ ගෝල බාලයින් ගැන තමන්ට කිසිම පැහැදීමක් නැති බවයි.



මහින්ද රාජපක්ෂ මහතා තම මීළග කැබිනට්ටුව තෝරන විට ඇල්ලේ ගුණවංශ ස්වාමීන්වහන්සේ සඳහන් කළ කරුනත් සැලකිල්ලට ගන්නේ නම් ලංකා ඉතිහාසයේ මහා මහින්ද ලෙස ඔහු ඉතිහාසගතවීම කිසිවෙකුටත් වැලැක්විය නොහැක...