Tuesday, March 16, 2010

අප නියෝජනය කළ යුත්තේ කවුද?

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මීලඟ පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයින් පත් කරගැනීම සඳහා දැන් අපට කාලය එළඹී ඇත. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි මෙවරද මැතිවරණය සමානුපාතික නියෝජන ක්‍රමය අනුවම සිදුවනු ඇත.
පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව අ‍ප නියෝජනය කරනු පිණිස නියෝජිතයින් පත් කරගන්නා මෙම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් අරුත් ගැන්වීමට නම් ඡන්ද දායකයා වඩාත් බුද්ධිමත්ව සිය ඡන්දය පාවිච්චි කළ යුතුය. එසේ නොකිරීම නිසා අපට සිදුවූ විනාශයේ තරම පසුගිය වසර 60 කට ආසන්න කාලය තුළ අපි මොනවට අත් වින් දෙමු.
පාර්ලිමේන්තුව විසිරුවා හරින ලද දිනයේ සිටම නාම යෝජනා ලබාගැනීමේ පොරයක් සහ විවිධ පක්ෂ සන්ධාන ඇති කරගැනීමේ උනන්දුවක් දක්නට ලැබිණි. බොහෝ දේශපාලනඥයින්ගේ හැසිරීමෙන් පසුගිය කාලයේ අපට පැහැදිළිවූ කරුණ නම් ඔවුන් ජනතා සේවයට කෙසේ වෙතත් ස්වයං සේවාව ගැන උනන්දු වන බවයි. මෙම කරුණ බොහෝ දේශපාලනඥයින් හට සත්‍ය වුවද ඒ අතර ජනතා සේවයට කැපවූ කිහිප දෙනෙක් හෝ සිටින බව සඳහන් ‍‍නොකළ‍‍‍‍හොත් එය අවංකව ‍‍‍දේශපාලනයේ යෙදෙන කිහිප දෙනාට කරන අගෞරවයකි.
අපේ රටේ ක්‍රියාත්මක වන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ශ්‍රී ලාංකික ඉතිහාසය විසින් පරිණාමය වූ එකක් නොවේ. එය අපට නිදහස ලබා දීම යනුවෙන් බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දුන් එක්තරා සිද්ධි දාමයක ප්‍රතිඵලයකි. මෙම තත්ත්වය ලංකාවේ පමණක් නොව යටත් විජිත හාම්පුතුන්ගේ නාමික නිදහස ලැබූ බොහෝ රටවල දක්නය ලැබෙන තත්ත්වයකි. මේ නිසා පාර්ලිමේන්තු නියෝජිතයා සහ මහ ජනයා අතර පරතරයක් ඇතිවී තිබේ. 1978 ව්‍යවස්ථාව මගින් හඳුන්වාදුන් සමානුපාතික නියෝජන ක්‍රමය නිසා මෙම පරතරය තවදුරටත් වැඩිවී ඇති බව පෙනෙන්නට තිබේ.
අපව නියෝජනය කරනු පිණිස රටේ උත්තරීතර ව්‍යවස්ථාදායකය වෙත තෝරා පත් කර ගන්නේ කුමන ආකාරයේ පුද්ගලයෙක්ද යන්න ඉතා බුද්ධිමත්ව ගතයුතු තීරණයකි.
පසුගිය පාර්ලිමේන්තුවේ සිදුවූ සිදුවීම් ගැන නැවත ආවර්ජනය කරද්දී අප ඇත්තෙන්ම නිවැරදි පුද්ගලයින් තෝරා පත් කරගත්තා දැයි නැවත සිතා බැලිය යුතුය. පසුගිය දිනෙක රූපවාහිනී නාලිකාවකට අදහස් දැක්වූ එක්තරා පුද්ගලයෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ව තදින් විවේචනය කරනු අසා සිටි මට සිතුනේ එම මන්ත්‍රී වරුන් පත් කොට ඇත්තේද අපම නොවේදැයි කියාය. පොරොන්දු මලු රැගෙන එන දේශපාලනඥයින් සහ පක්ෂ ප්‍රතික්ෂේප කිරීමට දැන් කාලය එළඹ තිබේ.
පසුගිය සමය පුරාම අපි රැකියාවක් ලබා ගැනීමටත්, පරිප්පු සීනි ආදිය ලාභයට ගැනීමටත් ඡන්දය පාවිච්චි කළෙමු. මා නම් සිතන්නේ අපේ දේශපාලනඥයින්ව නරක් කරන්නේ අපමය. රැකියාවක් ලබාගැනීමය හෝ විරුද්ධවාදියෙකුගෙන් පළිගැනීමට හෝ පළාතේ මන්ත්‍රීවරයා ලඟට යන්නේ අපමය. මන්ත්‍රීවරයා දුටු වහාම නැගී සිට බිය පක්ෂ පාතී භාවය පෙන්වීමෙන් ඔහුට නැති බලයක් ලබාදෙන්නේත් අපම නොවේද? මේ මැතිවර‍ණ සමයේදී ඔවුන් සැම ඔබ දුටුවිට නැගී සිට ඔබේ මනාපය දිනාගැනිමට කටයුතු කරන අතර මැතිවරණය නිමවූ වහාම ඔබ ඔවුන් ඉදිරියේ දනින් වැටෙන්නේ නැත්ද?

ඡන්දය පාවිච්චි කිරීමට පෙර ඔබ නුවණින් සිතා බැලිය යුතු වැදගත් දේ බොහෝය

ඔබ ඡන්දය දෙන තැනැත්තා/තැනැත්තිය දිගටම ඔබේ මැතිවරණ කොට්ඨාසයේ රැඳී සිටීවිද?

ඔහු /ඇය පසුගිය වතාවේ දුන් ‍පොරොන්දු ඉටු කොට තිබේද?

ඔහු/ ඇය ස්වකීය ප්‍රතිපත්ති අවංකව ඉදිරිපත් කරන්නේද?

රටේ සුභ සිද්ධිය උදෙසා ඔහු/ ඇය සිදුකොට ඇති කාර්ය භාරය කුමක්ද?

ඔහු/ ඇය පිළිබඳ දූෂණ හෝ අපරාධ චෝදනා පසුගිය පාර්ලිමේන්තුවේ තිබු‍නේද?

පසුගිය පාර්ලිමේන්තුවේ දී ඔහු /ඇය එක් වරක් වත් කථා කොට ඇත්ද?

ඔහු/ ඇය පාර්ලිමේන්තුව තුළ ඔහුගේත් ඔහුව පත්කර එවූ ජනතාවගේත් පාර්ලිමේන්තුව නම්වූ උත්තරීතර ආයතනයේත් ගෞරවය ආරක්ෂා වන පරිදි හැසිරුණෙද? කථා කළේද?

ඔහු/ ඇය තමන් දැරූ තනතුරු නිසා බැබළුණේ ද? නැතිනම් තමන් නිසා එම තනතුර බැබළුවේද?

රට වෙනුවෙන් සහ ජනතාව වෙනුවෙන් ඔහු/ ඇය ඉටු කර ඇති මෙහෙය කුමක් ද?

ඔහු/ ඇය රටට සහ ඔබේ ප්‍රදේශයට සේවයක් කිරීමට දක්ෂතා ඇත්තෙක් ද?

ඔහු/ ඇයට ආධාරකරන පුද්ගලයින් සමාජයට වැඩ දායී පුද්ගලයන් ද?

ඡන්ද පොළට ‍ගොස් ඡන්දය ලකුණු කරන විට මේ සියළු දේ ගැන අපි සැලකිලිමත් විය යුත්තෙමු. මන්ද අප සලකුණු කරන කතිරය අපේ මාතෘභූමියේ අනාගතය තීරණය කරන තීරණය වන බැවිනි.